නිර්මාල්, වත්සලා හා විවාහ වී කුලියට නිවසක් ගෙන පදිංචි වන්නේ හබරාදුව ප්‍රදේශයේය. නිර්මාල් ලිපිකරුවකු වශයෙන් රැකියාවක නියුතුව සිටින අතර, ආර්ථිකය ශක්තිමත් කරගැනීමට බොහෝ වෙහෙස වන්නට වන නිසා ඔවුන් දරුවකු ගැන සිතුවේ නැත. මාසික කුලියක් නිවසට දුන් පසු එදිනෙද‌ා වියහියදම් පිරිමසා ගැනීමට සිදුවන්නේ ද නිර්මාල් ලබන වැටුපෙනි. විදුලි බිල්පත්, ජල බිල්පත්, ආහාර පාන, නිවසේ කුලී මුදල් මේ හැම දේම සඳහා වියදම් දැරීමට සිදුවීම නිසා නිර්මාල් උන්නේ බොහෝ කනගාටුවෙනි. කවද‌ාවත් ආර්ථිකය ගොඩනගා ගැනීමට නොහැකි වේයැයි සිතමින් නිර්මාල්, වත්සලා හා කතා බස් කරනුයේ එයට පිළියමක් කරනුයේ කෙසේද? යන්නය.   


මේ අතරතුරදී නිර්මාල්ගේ නැන්ද‌ා මියගිය පුවත දැනගන්නට ලැබුණු ඔවුහු එහි ගියහ. අවමංගල්‍ය වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණි. තමන්ගේ අතේ මිටේ මුදල් නොමැති නිසා ශ්‍රමයෙන් ඔහු තමන්ට හැකි අයුරින් අවමංගල්‍ය කටයුතුවලට උදව් කළේය. වත්සලාද වෙහෙස මහන්සි වී ඒ සඳහා උදව් කළාය. ඔවුන් කිහිප දිනක්ම නැන්ද‌ාගේ නිවසේ නතරව සිටියහ. තම බිරිඳ මියගිය පසු මෙම නිවසේ තනියම ජීවත් වීමට සිදුවන බැවින් උපාලි මාමා නිර්මාල්ට පැවසුවේ වත්සලා හා ඔහුට තමාගේ නිවසේ නතර වන ලෙසය.   


උපාලිගේ නිවසේ කාමර කිහිපයක්ම තිබුණි. තරමක විශාල නිවසක් වූ එහි ජීවත් වූයේ උපාලි හා ඔහුගේ බිරිඳ රෝහිණී පමණකි. වයස හැට හතක පුද්ගලයකු වූ උපාලි ජීවත් වූයේ තම වත්තෙන් ලැබෙන පොල්වල ආද‌ායමිනි.   


නිර්මාල්ටත් වත්සලාටත් උපාලි මාමාගේ ආරාධනය ඉමහත් සතුටට කරුණක් විය. තමන්ට ඉන්න හිටින්නට හරිහැටි ගෙයක් දොරක් නොමැති නිසා ආර්ථිකයෙන් මිරිකෙමින් සිටි ඔවුන්ට පිපාසයට දිය දෝතක් ලැබුණා හා සමාන විය. අවමංගල වැඩකටයුතු අවසන් වී හත් දවසේ බණටත් ද‌ානයටත් උපාලි මාමාගේ නිවසේ නතරව සිටි සැවොම පිටත් වූහ. නිර්මාල්ද වත්සලා සමඟින් පිටත් වීමට පෙර උපාලි මාමාට පැවසුවේ තවත් සති දෙකකින් තමන් මෙම නිවසේ නතර වීමට පැමිණීමට අදහස් කරන සිටින බවය.   


නිර්මාල් හා වත්සලා තමන්ගේ බඩු බාහිරාදිය ද රැගෙන උපාලි මාමාගේ නිවසේ නතර වීමට පැමිණියෝය. නිවස අස්පස් කර බඩු බාහිරාදියද පිළිවෙළට තැබීම වත්සලා අතින් සිදුවිය. පසුදින සිට ඔවුන් තිදෙනාට උයා පිහා නිවසට වී වැඩක් පළක් කිරීම වත්සලාගේ පුරුද්දක් විය. උපාලි මාමාද හවස් වරුවේ නිවසට පැමිණ ඔහුගේ කාමරයටම වී කාලය ගෙවයි. කෑම වේලාවට පමණක් කාමරයෙන් එළියට එන ඔහු කිසිවකුත් සමඟ කතා බහා නොකරන්නේය. ඒ ඔහුගේ හැටිය.   


නිර්මාල් හා උපාලි මාමා උදේ නිවසින් පිට වූ පසුව නිවසේ සෑම කාමරයක්ම අස්පස් කර දැමිය යුතු යැයි වත්සලාට සිතුණි. ඇය උපාලි මාමාගේ කාමරයට ගොස් එහි තිබූ කිලිටි ඇඳුම් හෝදන්නට දමා කාමරය අස්පස් කළාය. ඉන්පසු මියගිය රෝහිණී නැන්ද‌ාගේ කාමරය වෙත ගියාය. නැන්ද‌ාගේ මරණින් පසු එම කාමරය කිසිවකුත් පරිහරණය නොකළ නමුත් එය පාළුවට ගිය කාමරයක් නොවීය.   


වත්සලා කාමරයේ දොර ඇරගෙන එහි පිවිසියාය. පසුව ටික වේලාවක් නැන්ද‌ාගේ නිඳන ඇඳට වී කල්පනා කරන්නට වූවාය. ටික වේලාවක් එසේ සිටි ඇය කාමරයේ අස්සක් මුල්ලක් නෑරම කුණු දූවිලි පිස දමමින් කාමරය අතුගාන්නට පටන් ගත්තාය. ඇඳ යටට කොස්ස දමා අතුගාද්දී කොස්සේ යමක් වැදෙන සෙයක් දැනුණු බැවින් ඇය ඇඳ යටට නැමී බැලුවාය. එහි බෑගයක් විය. බෑගය ඇඳ යටින් එළියට ගත් වත්සලා බෑගයේ ගැටය ලිහා එහි ඇති දේ පිරික්සා බැලුවාය.   


පුදුමයකි! නොයෙක් ප්‍රමාණයන්ගෙන් යුත් තනපට කිහිපයක්ම එහි දක්නට ලැබුණි. ඒවා නැන්ද‌ාගේද නැද්ද යන්න ඇයට සිතාගැනීමට බැරිය. ඇය බෑගය ඇඳ යටට දැමුවාය. එහෙත් ඇගේ සිතට ඇති වූ කුකුස නැති වූයේ නැත. තනපටවලින් පිරුණු බෑගයක් ඇඳ යට තබාගැනීමට නැන්ද‌ාට අවශ්‍යතාවක් නැත. ඇයට අල්මාරියක් ඇත. එසේ වුවද ඒවා එකම ප්‍රමාණයේ ඒවා නොවීය. එසේ නම් කාගෙද මේවා? සමහරක් ඒවා අලුත් වාගේය. සමහරක් ඒවා පරණය. ඇය නොඉවසිල්ලෙන් පසුවූයේ නිර්මාල් පැමිණෙනතෙක්ය.   


“මොනවද මේ.. කොහෙන්ද මේවා?” වත්සලා නිර්මාල් ගෙට ඇතුළු වූ සැණින්ම තනපට සහිත බෑගය පෙන්වා ඇසීය. “මොනවද.. කෝ... මේ මොන ජරාවක්ද” බෑගය අතට අරන් බැලූ නිර්මාල් බෑගය බිමට අත්හැරීය. නිර්මාල්ගේ ක්‍රියාව දුටු වත්සලා එය නිර්මාල් විසින් කරන ලද්දක් නොවන බවට තීරණය කළාය. නිර්මාල් ද “කොහෙන්ද මේවා. කාගෙද මේවා” යන්නෙන් වත්සලාගෙන් ඇසුවේ ඔහු කිසිවක් නොදන්නා බව හඟවමින්ය.   
උපාලි මාමා මෙවැනි දෙයක් කිරීමට හේතුවක් නැත. නිර්මාල්ද ඒ යට ඇඳුම් කාගෙද යන්න නොදන්නා බවක් කියයි. දින දෙකක් ඉක්ම ගිය පසු වත්සලා නිවස අස්පස් කරද්දී මියගිය නැන්ද‌ාගේ කාමරයේ ඇති අල්මාරිය උඩ තවත් කාන්තා තනපට හා යට කලිසම් කිහිපයකින් යුත් බෑගයක් තිබිණි. වත්සලාට කිසිවක් තේරුම් ගැනීමට අපහසුය. “මේවා කොහෙන්ද එන්නේ. කව්ද ගෙනැවිත් තබන්නේ?” ඇයගේ මනස විකාරයෙන් ඔද්දල් වී ගියාය. එක් එක් ප්‍රමාණයේ යට කලිසම් හා තනපට විය. මේවා නැන්ද‌ාගේ බවට තීරණය කළ නොහැක්කේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වන බැවිනි.   


වත්සලා සෑම මොහොතකම කල්පනා කළේ මෙය කවුරුන් විසින් කරන ලද්දක් දැයි දැනගැනීමට තිබුණු වුවමනාවෙන්ය. උපාලි මාමාගෙන් මෙය ඇසීමට ද නොහැකිය. නිර්මාල් පැමිණි විට වත්සලා කීවේ සාස්තරයක් බැලීමට යා යුතු බවයි. සාස්තරයක් බැලීම සඳහා යාමට මෙය කරුණක් නොවන බවත්, එය තේරුමක් නොමැති බවත් නිර්මාල් පවසන්නට විය. එහෙත් මෙය කෙසේ හෝ විසඳ‌ාගත යුතු බව වත්සලා තරයේම කියා සිටි නිසා සාස්තරයක් බැලීමට යාම සඳහා නිර්මාල් එකඟ විය. පසුදින උදේම නිර්මාල් නිවසින් පිටත් වූ පසු වත්සලා ගේ දොර අතුගා වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කිරීමට පටන් ගත්තාය. එහිදී පඳුරක් යට බෑගයක් තිබෙනු දුටු ඇය එය ලිහා බැලුවාය.   


විස්මයකි ! එම බෑගයේ වූයේ ද තනපට කිහිපයකි. නොයෙක් මාදිලියන්ගෙන් හා නොයෙක් ප්‍රමාණයන්ගෙන් යුත් යට ඇඳුම් නිවස තුළත් වත්තේත් තිබීම වත්සලාට නම් සිතාගැනීමටවත් නොහැක. මෙය නම් භූතයෙකුගේම වැඩක් බව ඇයට හැඟුණි.   


සවස නිර්මාල් පැමිණි පසු ගමේ පේනබලන මෑණිකෙනෙකු වෙත ඔවුන් ගියෝය. වත්සලා කීප දිනක සිට තම නිවසේ සිදුවූ අමුතු සිදුවීම් මෑණියන් ඉදිරියේ පවසා සිටියාය. රුපියල් තුන්සිය හැටක මුදලක් බුලත් කොළයට තබා පේනය බලන තැන ඉදිරියේ ඇති මේසය මත තැබිණි.   


“තමුන්ලට දරුවො නැහැ නේද. මේ ගෑනු දැරිවිට කළුකුමාර බැල්ම වැටිලා තියෙනවා. මේක අයින් කළේ නැත්තන් කවද‌ාවත් දරුවන් ලැබෙන්නේ නැහැ. මේක ලේසි වෙන්නෙ නැහැ. කළුකුමාරයා තමයි මේවා කරන්නේ. පවුල් ප්‍රශ්න ඇති කරලා මේ කෙල්ලගේ ජීවිතේ ගන්න හදන්නේ” මෑණි පේනය බලා කීවාය.   

පේනය කියා අවසන් වූ පසු මෑණියෝ වත්සලාටත් නිර්මාල්ටත් පැවසුවේ තමන්ට පෙනුණු අන්දමට කළුකුමාර දෝෂය වත්සලාට දැඩිව බලපා ඇති බවයි. එය ඉවත් නොකළහොත් දරුණුවට බලපෑමට ඉඩ ඇති බව මෑණියෝ කීවාය. වත්සලා බියෙන් පසු වූවාය. නිර්මාල් පැවසුවේ දෝෂය අයින් කළ යුතු බවයි. ඔහු ඒ සඳහා උත්සුක වන බැව් දුටු වත්සලාට නිර්මාල් කෙරෙහි ඇයගේ යටි සිතෙහි තිබූ කුකුස තවදුරටත් පහවී ගියේය.   


කළුකුමාර දෝෂය කපා ඉවත් කිරීමට රුපියල් විසිපන්දහසක මුදලක් අවශ්‍ය බව මෑණියෝ කියා සිටි බැවින් මුදල් ලෑස්ති කරගත් ඔවුන් මෑණියන් නිවසට ගෙන්වා දෝෂය ඉවත් කිරීමට කටයුතු කෙරිණි. කළුකුමාර දෝෂය ඉවත් කළ මෑණියෝ වත්සලාගේ උදරය වටා යන්ත්‍රයක් පැළඳ වූවාය.


පේනය කියා අවසන් වූ පසු මෑණියෝ වත්සලාටත් නිර්මාල්ටත් පැවසුවේ තමන්ට පෙනුණු අන්දමට කළුකුමාර දෝෂය වත්සලාට දැඩිව බලපා ඇති බවයි. එය ඉවත් නොකළහොත් දරුණුවට බලපෑමට ඉඩ ඇති බව මෑණියෝ කීවාය. වත්සලා බියෙන් පසු වූවාය. නිර්මාල් පැවසුවේ දෝෂය අයින් කළ යුතු බවයි. ඔහු ඒ සඳහා උත්සුක වන බැව් දුටු වත්සලාට නිර්මාල් කෙරෙහි ඇයගේ යටි සිතෙහි තිබූ කුකුස තවදුරටත් පහවී ගියේය.   
කළුකුමාර දෝෂය කපා ඉවත් කිරීමට රුපියල් විසිපන්දහසක මුදලක් අවශ්‍ය බව මෑණියෝ කියා සිටි බැවින් මුදල් ලෑස්ති කරගත් ඔවුන් මෑණියන් නිවසට ගෙන්වා දෝෂය ඉවත් කිරීමට කටයුතු කෙරිණි. කළුකුමාර දෝෂය ඉවත් කළ මෑණියෝ වත්සලාගේ උදරය වටා යන්ත්‍රයක් පැළඳ වූවාය.   


හනුමා ගැන කියන විට අප කාටත් මතක්‌ වන්නේ අංජනම ගැනයි. හනුමා බන්ධන කළ අංජනම් එළිය බලා තමාගේ කරදර, සතුරු පීඩාවන්, අනවින, කොඩිවින, පමණක්‌ම නොව තමා හිතන කාරණාවන් හරි හැටි කියාදීමට මෙන්ම මිනිසාගේ දියුණුවට ආරක්‍ෂාවට භූමි ව්‍යාපාර ආරක්‍ෂාවට කටයුතු අංජනම් මගින් නිවැරදිව කියන්නට අංජනම් මෑණියන්ට හැකිය.   


විවිධ වූ අංජනම අතර මේ අංජනම සඳහා අවශ්‍ය වන්නේ නාගපාසානම්, ගලිස්‌, ගෝරෝචන, අමු කපුරු, සුදු පාසානම්, අංජන කැට, හිරියල්, රන්, වේළුන කහ ආදියයි. මේවා සමව ගෙන පස්‌තෙලින් අඹරා “ශ්‍රීරාම දිෂ්ටියෙන්” 108 වර මතුරා අඹරන ලද ගලෙහි එම බෙහෙත් ද්‍රව්‍ය තිබියදීම එය ළිප්ගල් තුනක්‌ මත බෙහෙත් යටට සිටින සේ හරවා තබන්නට අංජනම් මෑණියෝ කටයුතු කළාය.   


පසුව මිණි ඇට, හිරියල්, කහ, අංජන කැට, සුදු පාසානම්, කපුරු, ගලිස්‌, තුංබෝ අත්තන ඇට, පඹුරු මුල්, පල්මානික්‌කම් ආදී තවත් බෙහෙත් ද්‍රව්‍ය පස්‌තෙලින් අඹරා පන්දමක ඔතා එයින් පෙර ඇඹරූ බෙහෙත්වලට දුම් ඇල්ලීමෙන් අඳුනක්‌ නිර්මාණය කර ගන්නට මෑණියන්ට ගතවූයේ හෝරා කිහිපයකි. මන්ත්‍ර දිෂ්ටියෙන් මතුරමින් නැවත අඹරන්නට වූවාය. මෙම අඳුන් හෙප්පුවක බහා අවශ්‍ය වේලාවන්ට භාවිතයට ගත හැකි ආකාරයට ඇය සකස් කළාය.   


අපේ අංජනම් මෑණියන් සතුව විවිධ ආකාරයේ අංජනම් රාශියක් තිබේ. ඒ අනුව, පොළොව යට ඇති නිධන්, මැණික්‌ ආදී වස්‌තූන් පිළිබඳව දැන ගැනීමටද පාතාල අංජනම්ද, භූතාංජනම, සර්වාංජනම, යක්‍ෂ, ප්‍රේත, භූතාංජනම, හස්‌ථ අංජනම, නේත්‍ර අංජනම, දේවතා අංජනම, සූර්ය අංජනම, විෂ්ණු අංජනම ආදිය ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනී. මෙයින් බොහොමයක්‌ අයට පෙනෙන අංජනම සර්වාංජනමයි. මෙයින් සතුන්, යකුන්, භූතයින්, ප්‍රේතයින් පිළිබඳව දේවල් දැනගත හැකිය. මේ අතරින් භූත, දිව්‍ය, දේවතා, හස්‌ත, නේත්‍ර, සූර්ය, විෂ්ණු ආදී අංජනම් සියලුම ශුභ වැඩ සඳහා යොද‌ා ගන්නට අපේ අංජනම් මෑණියන්ට හැකියාවක් තිබෙන බව ඇය කියන්නට වූවාය.   
පළමුව පීරිසියක මන්ත්‍ර කරන ලද තෙල් හා දැළි ගෙන තවරා මල් අසුනක් හෝ තටුවක් මත හෝ මල් අසුනක්‌ තනා එහි හතර කොණ විලක්‌කු හතරක්‌ දල්වා යන්ත්‍රයක්‌ ඇඳ සුවඳ වර්ග, විභූති, සඳුන්, කුංකුමප්පු, සඳුන් කූරු, සාම්බ්‍රානි, කෙසෙල් ගෙඩි, උක්‌ගස්‌ ඇතුළු පලවැල, බුලත්, පුවක්‌, ගල් කන්ඩු, අග්ගලා, වඩේ, කිරිබත් පුද වශයෙන් තබා ජල ස්‌නානය කර පංච වර්ණ වස්‌ත්‍රයක්‌ ඇඳ ජප කර ගෙන කර ඉළු, අත, පළඳින්න. නිවසේ අංජනං තෛලය සමඟ තෙල් කුප්පියකට යන්ත්‍රය බහා නිවසේ ප්‍රධාන උළුවස්‌ස උඩින් එල්ලන්න ට අංජනම් මෑණියෝ ගෙදර මූලිකයාට අණ කළේය. ඒ හනුමන්තා කියනා පිරිදිය. අණවින කොඩිවින උඩට මතුවන, එහි සිය බල බිඳෙන, යක්‍ෂ, ප්‍රේත, අමනුෂ්‍ය දිෂ්ටි නිවසට තමාට නොවැදීමට මෙය ඉතා බලවත් සියල්ලම මේ අනුව දුරු වී යනු ඇති බව අංජනම් මෑණියෝ පැවසුවාය.   


“ඔන්න දැන් කළුකුමාර බැල්ම වැටෙන්නේ නැහැ. ඔය දැරිවි ආරක්ෂිතයි. ආයෙත් ඔය වගේ වැඩ වෙන්නෙ නැහැ. බය නැතුව ඉන්න” මෑණියෝ ඔවුන්ගේ සිත් සනසා පොරොන්දු වූ මුදල් ද රැගෙන පිටත් වූවාය.   
කිහිප දිනක් ඉක්ම ගිය අතරතුරදී වත්සලාගේ ඥ‌ාතිවරියක මියගිය පුවත දැනගන්නට ලැබුණු නිසා වත්සලා පමණක් මළගෙදර යාමට සිතාගත්තේ නිර්මාල් රැකියාවට යා යුතු නිසාය. එලෙස දින කීපයක් මළගෙදර සිටි වත්සලා නිවසට පැමිණ තම කාමරයට ගිය විට දක්නට ලැබුණේ ඇඳ උඩ තනපට කිහිපයක්ම විසිර තිබෙන අන්දමය. ඒවා ඇයගේ නොවීය.   


“මේ මොන ජරාවක්ද? වත්සලා ඒවා වත්තට ගෙන ගොස් ගිනි තැබුවාය. සවස රැකියාව නිමවී නිවසට පැමිණි නිර්මාල්ගෙන් ඒ බැව් විමසූ විට නිර්මාල් පැවසුවේ තමන් කිසිවක් නොදන්නා බවය. යළිත් වත්සලාට නිර්මාල් කෙරෙහි සැකයක් ඇතිවිය. මේ අතරතුර ගමේ කාන්තාවන් කිහිප දෙනෙක්ගේම යට ඇඳුම් නැති වන බවට කසුකුසුවක් පැතිර ගියහ. රාත්‍රී කාලයේ කිසිවකුත් ඇඳුම් එළියේ වැල්වල දැමුවේ නැත. එහෙත් අමතක වී හෝ යට ඇඳුමක් දෙකක් වැලක දමා තිබුණහොත් පසුද‌ා උදේ වන විට ඒවා වැල්වල නොවීය.   


දිනක් වත්සලා උදෑසන අවදි වී බලන විට නිර්මාල් ඇඳේ නොවීය. ඇය “නිර්මාල් නිර්මාල් ඔයා කොහේද” යනුවෙන් ඇමතුවත් ඔහු නිවසේ කොතැනකවත් නොවීය.   


වත්තේද නැත. ඇය පාර දෙසට නෙත් යොමා බලා සිටින විට එක් කාන්තාවක් දුවගෙන ආවේ “නංගියේ නංගියේ හරි වැඩේනේ ඔයාගේ මහත්තයා අපේ වැලේ තිබිලා මගේ යට ඇඳුමක් අරගන්නකොටම අපේ මහත්තයා එයාව අතටම අල්ල ගත්තා. ආන් ඉන්නවා. එන්න මාත් එක්ක” කියාගෙනය.


වත්සලා එම කාන්තාව සමඟ යනවිට නිර්මාල් ගස් බැඳ තිබුණි. නිර්මාල්ට කිහිප දෙනෙකුම හොඳටම ගුටිබැට දී තිබුණි. “ආ ආවද නංගි මොකද මේ මහත්තයා අනුන්ගේ යට ඇඳුම් හොරකම් කරන්නේ” අවඥ‌ා සහගතව එක් පුද්ගලයෙක් ඇයගෙන් ඇසීය. ලැජ්ජාවට පත් වූ වත්සලා “මොනවද මේ නිර්මාල් මොකද මේ” යනුවෙන් ඇසුවේ ඇයට පැවසීමට වෙනත් යමක් නොතිබූ නිසාය. “අපි මේකව පොලිසියට අල්ලලා දෙනවා. මූට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ ආයෙත් මේ වගේ ජරා වැඩ නොකරන්න” වත්සලාට පණිවුඩය කිවූ කාන්තාවගේ සැමියා පැවසුවේ තවත් පහරක් නිර්මාල්ට ගසමිනි.


“අනේ එපා පොලිසියට කියන්න. එයාව අත්හරින්න” වත්සලා පිංසෙණ්ඩු වුවත් කිසිවකුගෙන්වත් සහනයක් නොලැබුණි. නිර්මාල්ව පොලිසියට භාරදුන්හ. පොලිසියෙන් ප්‍රශ්න කරගෙන යද්දී නිර්මාල්ට ඇත්තේ මානසික රෝගයක් බව පොලිස් ස්ථානාධිපති තේරුම් ගත්තේය. ඔහු නිර්මාල්ව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කරන ලෙස දැනුම් දුන්නේය.   
වෛද්‍ය විද්‍යාකුලපති මහතා නිර්මාල් සමග බොහෝ වේලාවක් කතා කිරීමෙන් අනතුරුව නිර්මාල් කැමැත්තෙන්ම සියලු දේ වෛද්‍යවරයා හා පැවසීය. තමාට මෙම පුරුද්ද වයස අවුරුදු 17 සිටම තිබූ බවත් ගමේ කාන්තාවන්ගේ යට ඇඳුම් සොරා ගත්තේ තමන් බවත් ඔහු වෛද්‍ය විද්‍යාකුලපති මහතා හමුවේ කියා සිටියේය. මාස කීපයක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නිර්මාල්ගේ එම පුරුද්ද ඉවත් විය. එහි ඇතුළාන්තය වෛද්‍යවරයා මෙසේ පැහැදිලි කරදුණි.   


නිර්මාල්ට තිබුණේ අසම්මත ලිංගික චර්යාවකි. මෙලොව ජීවත් වන මිනිසුන් කායිකව මෙන්ම මානසිකව ද රෝගී වේ. එහිදී මොළයේ රසායනික වෙනස්වීම් මත ඇති වන උග්‍ර මානසික රෝගද මානසික හේතු මත ඇති වන සුළු මානසික රෝගද වේ. ඊට අමතරව අසම්මත ලිංගික චර්යාවන්ටද ඇතැම් අය ගොදුරු වෙති. ස්වාභාවයෙන් ස්ත්‍රියක හා පුරුෂයෙකු එක්වීමෙන් ලිංගික කාර්යය ඉටු කරගනී. නමුත් කලාතුරකින් ඇතැමෙක් අසම්මත ලිංගික චර්යාවන්ට හුරු වෙති. උද‌ාහරණයක් ලෙස ඇතැම්හු විරුද්ධ ලිංගික ඇසුරට වඩා සමලිංගික ඇසුරට වඩාත් ප්‍රියතාවක් දක්වති. ඇතැමෙක් සතුන් සමඟ එක්වීමට හුරුවේ. කලාතුරකින් කෙනෙකු මළමිනී සමඟ එක්වීමට හුරුවෙයි. ඇතැමුන් කුඩා ළමුන් සමඟ එක්වීමට ප්‍රිය කරති. සමහරෙක් වයසක අයවලුන් හා එක්වීමට ප්‍රිය කරයි. ඒ වගේම ඇතැමුන් විරුද්ධ ලිංගිකයාට වද දෙමින් (පරපීඩා කාමුකත්වය) ලිංගිකව එක්වීමට ප්‍රිය කරති. ඇතැමුන් තමන්ගේ සිරුරට වේදනාවක් ඇතිකර ගනිමින් (ස්වපීඩා කාමුකත්වය) සතුටු වේ. තවත් අයෙක් ලිංගික අවයව තව කෙනෙකුට පෙන්වීමෙන් (ප්‍රදර්ශන කාමුකත්වය) සතුටක් ලබයි. තවත් අයෙක් තවකෙකුගේ නිරුවත දැක සතුටු වේ. මේවා කිහිපයක් පමණි. මෙවැනි අසම්මත ලිංගික චර්යාවන් බොහෝමයක් ඇත.   


නිර්මාල් ද මෙවැනි ආකාරයේ එක්තරා ගැටලුවකට පත් වූ අයෙකි. ඔහු කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමෙන්, ළඟ තබා ගැනීමෙන්, ඇල්ලීමෙන් සතුටක් ලබයි. මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ම කාන්තා යට ඇඳුම් පමණක් නොවෙයි කාන්තා ඇඳුම්, මේස්, සපත්තු, කොණ්ඩ පටි, ලේන්සු ආදී දේ පවා ආශා කරන වස්තූන් වේ. නිර්මාල් කළේ ගෙවල්වලින් සොරකම් කරන තිසර පට හා යට කලිසම් නිවසේ හෝ වත්තේ තැනින් තැන සඟවා තබා අවශ්‍ය වෙලාවට ඒවා ගෙන සතුටු වීමයි. මොහු ඉතා සූක්‍ෂම ලෙස මේවා කර ඇත.   


සමාජයේ කලාතුරකින් මෙවැනි පුද්ගලයින් හමුවේ. ඔවුන් ස්වකැමැත්තෙන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ. බොහෝ විට ගුටිබැට කා පොලිසියට හසුවීමෙන් අනතුරුව මොවුන් ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබති. මොවුන්ගේ මෙම තත්ත්වයට ජානමය බලපෑම් තිබෙන බවට ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වුවද මේවා වෙනස් කළ හැකි තත්ත්වයන්ය. මේවාට චර්යාවාදී ප්‍රතිකාර හා එපා කරවීමේ ප්‍රතිකාර යොද‌ා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. නිර්මාල් වැනි අය සමාජයේ බොහෝ සිටිති. එවැනි අයට කළ යුත්තේ ගුටිබැට දීම දඬුවම් කිරීම නොව ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර සමාජගත කිරීම බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පැවසුවේය.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත