මග වැරදුණු ජීවිතය යළි යහමඟට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන රැසක් ලංකාව පුරා පවතී. එයින් බහුතරයක් පෞද්ගලික ආයතනවලින් පාලනය වෙන අතර රාජ්‍ය ආයතන යටතේ පාලනය වෙන මධ්‍යස්ථාන ගණනාවක්ද තිබේ. පසුගිය වර අප කතා කළේ එයින් එක් මධ්‍යස්ථානයක් ලෙස ගත හැකි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පාලනය යටතේ පවතින තලංගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කාන්තාවකගේ අත්දැකීම්ය. මෙවර අප ඔබ සමග බෙදාගනු ලබන්නේ පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය මගින් පාලනය වෙන වැලිකන්ද, කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකුගේ අත්දැකීම්ය. 


කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අටසීයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබන අතර මාසිකව තවත් සීයක් එකසිය පනහක් පමණ එහි ප්‍රතිකාර පිණිස පැමිණේ. 2014 දක්වා අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනයට යොදාගත් කන්දකාඩුව හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන දැන් ත්‍රස්තවාදී යුද්ධය හා සමානවම රට විනාශ කරන රටේ අනාගත පරපුර විනාශ කරන මත්රකුසාට බිලිවූ තරුණයන් එයින් මුදවා ගැනීම සඳහා වෙන්කර තිබේ. ඒ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක හා නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශන ලියනගේ, අධ්‍යක්ෂක පුනරුත්ථාපන හා පශ්චාත් පුනරුත්ථාපන කර්නල් එම්. අසාද් ඉසඩීන් මහත්වරුන්ගේ අධීක්ෂණය හා කන්දකාඩුව හා සේනපුර මධ්‍යස්ථාන දෙකෙහි අධ්‍යක්ෂකවරුන් වන කර්නල් චමින්ද පැස්කුවල් හා ලුතිනන් කර්නල් විරාජ් විමලසේන මහත්වරුන්ගේ පරිපාලනය යටතේය. 


කන්දකාඩුව යනු වසරක කාලයක සිට වසර විස්සක් තිහක් වැනි දිර්ඝ කාලයක් දක්වා මතට ඇබ්බැහිව ජීවත් වූවන් පුනරුත්ථාපනයට අධිකරණ නියෝගයෙන් යොමු කරනු ලබන රැඳවියන් පුනරුත්ථාපනය කරන ආයතනයකි. කන්දකාඩුව සේනපුර මධ්‍යස්ථාන දෙක එකට ගත් විට කන්දකාඩුව යනු ඔවුන්ගේ ප්‍රාථමික පාසල වැනිය. එහිදී සිදු​ෙවන්නේ මතට ඇබ්බැහිවීම යළි සිදුනොවන සේ එහි පැමිණෙන රැඳවියන්ගේ මනස සකස් කිරීමය. ඒ සඳහා ඔවුන් මාස හයක කාලයක් ගනු ලබයි. කෘෂිකාර්මික, ක්‍රීඩා, භාවනා, සෞන්දර්යාත්මක වැඩසටහන් රැසක් මෙන්ම උපදේශන සේවා රැසක්ද ඒ වෙනුවෙන් සකස් කර තිබේ. මේ වැඩසටහන්වලින් තමන්ට යමක් එකතු වුණාද? මතට ඇබ්බැහි වූ කාලය තුළත් අද ගෙවන ජීවිතය තුළත් තමන් ලැබූ අත්දැකීම් මොනවාද? පුනරුත්ථාපන රැඳවියෙකු අප සමග දැක්වූ අදහස් අනුව මේ කතාව ලියවී තිබේ. 


ධනුෂ්ක මොණරාගල ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි තරුණයෙකි. අම්මයි, තාත්තයි, අය්යලා දෙන්නයි මල්ලියි සමග ධනුෂ්ක හැදුණේ වැඩුණේ සතුටෙනි. එහෙත් අය්යලා වගේ ඔහු ඉගෙනීමට උනන්දුවක් දැක්වූයේ නැත. පොඩි කාලේ සිටම ගෙදර වැඩිහිටියන්ට හොරෙන් සිගරැට් කොට උරන්න ඔහු පුරුදු විය. පාසලේ අට, නවය පංතිවල සිටියදී ධනුෂ්ක නරක යාළුවන්ගේ ඇසුර නිසා ගංජා භාවිතයට පුරුදු විය. ඒ නිසා පාසල් මගහැරගත් ධනුෂ්කට අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්වීමට හැකියාවක් ලැබුණේ නැත. 


ලොකු අය්යා ඉගෙන ගෙන ගෙදර බර කරට ගන්න පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඔහුගේත් පියාගේත් සොයා බැලීම නිසා පොඩි අය්යා වෛද්‍යවරයෙක් වෙන්න විශ්වවිද්‍යාලයට ගියේය. එහෙත් ධනුෂ්ක නොමගට වැටුණේය. ඔහු නිසි මගට ගැනීමේ උවමනාවෙන් දෙමාපියන් හා අය්යලා එක්ව ඔහු බෙල්වුඩ් සෞන්දර්ය පීඨයේ නැටුම් පාඨාමාලවකට ඇතුළත් කරනු ලැබිණ. එය හැදෑරු ඔහු නැටුම් කණ්ඩායමකට එක්ව මහනුවර පෙරහරේ පවා නටන්නට ගියේය. එයින් ඔහු සතුටක් ලැබූ අතර පරණ පුරුදුද යම් පමණකට අමතක කරන්නට ඔහුට හැකි විය. පසුව යුද හමුදාවේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමට එක්වීමටද ඔහුට අවස්ථාව ලැබිණ. ඒ බෙරවාදකයකු ලෙසය. ඒත් වසර තුනක් එහි සේවය කළ ධනුෂ්ක ඉන් ඉවත් විය. ඉන්පසුව ඔහුට රැකියාව ලැබුණේ කොළඹට නුදුරු ප්‍රදේශයක ටයර් කම්හලකය. 


මගේ ජීවිතේ වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය වුණේ මේ ටයර් කොම්පැණිය තමයි. 


ඒ ඇයි? 


“මම එතන හොඳට වැඩකරගෙන ගියා. ඒත් මේ හිටපු පරිසරයත් එක්ක ආපහු මට ගංජාවලට සෙට් වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් මම ඒකට ඕනවට වඩා සෙට් වුනේ නැහැ. මම හොඳින් රැකියාවත් කළා. මට එක අංශයක වැඩ බලාගන්න ඒ කියන්නේ සුපවයිසර් කෙනෙක් ලෙසත් උසස් වීම ලැබුණා. එහෙම ඉන්නකොට මට ඉහළින් හිටපු සර් දවසක් කතා කළා එයාගේ බෝඩිමට යන්න. ඒ සර් මාත් එක්ක ගොඩක් හිතවත්. ඒ නිසා මම ඒ බෝඩිමට ගියා. බෝඩිම කිව්වාට ඒක එයාට කොම්පැණියෙන් හම්බ වුණ නිල නිවාසයක්. ඒ ගිහින් ඉන්නකොට සර් කාටද කෝල් එකක් අරන් කෑලි තුනක් ගේන්න කියනවා මට ඇහුණා.” 


කෑලි තුනක්? 

 

කන්දනාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයන්

 

 


ඔව්. කෑලි තුනක්. මට ඒ වෙලාවේ ඒ තරම් ඒක මීටර් වුණේ නැහැ. අර කතා කරපු කෙනා කෑලි තුන ගෙනත් දෙනකොට තමයි මට වැඩේ තේරුණේ. 


ඒ කියන්නේ? 


ඒ තිබුණේ කුඩු. මම හිමීට මග හැරලා එළියට ගිහින් කෝල් එකක් අරන් එන්නම් කියලා යන්න හදනකොට සර් මාව අල්ල ගත්තා. 


බය වෙන්න දෙයක් නැහැ. ගංජාවලට වඩා පොඩි වෙනසයි. උරලා බලහන්කෝ ගංජා වගේද කියලා. එහෙම කියලා සර් මට බලෙන්ම වගේ උරන්න දුන්නා. ඊට පස්සේ මම ඒකට ටික ටික පුරුදු වුණා. සර් මට හැමදාම ටිකක් දෙනවා. 


සල්ලිවලටද නැත්නම් නිකම්ද? 


මෙහෙමයි, සර් මේවා දෙන්න පුරුදු කරගත්ත සෙට් එකක් හිටියා. ඒ අය ඇවිත් සර්ගෙන් බඩු ඉල්ලනවානේ. ඉතිං සර් ඒ අයට දෙන්න කොළඹින් බඩු ගේනවා. ඒ ගේන්න මුලින් මුලින් සර් එක්ක මමත් ගියා. ඊට පස්සේ මාවම යැව්වා. මම බිව්වේ ඒවායින් ලැබෙන කොමිස් එකෙන්. 


පඩිය වියදම් කළේම නැද්ද? 


නෑ. මුලින්ම එහෙම වුවමනාවක් වුණේ නැහැ. ඒත් ටික ටික මම ඒකට ඇබ්බැහි වෙන්න ගත්තාම මොන වැඩක්වත් කරන්න බැරිව කම්මැලි කමක් දැනෙන්න ගත්තා. ඒ වෙලාවට අරවා ඕනෙමයි. එතකොට පඩියත් වියදම් කරලා කුඩු ගැහුවා. ඊට පස්සේ වැඩ මගහැරෙන්න ගත්තාම අනෙක් සර්ලට තේරුණා මම මොනවා හරි දේකට ඇබ්බැහි වෙලා තමයි කියලා. ඒ පාර මට අවවාද කළා. ඒත් හරිගියේ නැහැනේ. අන්තිමට රස්සාවෙන් අයින් කරන තත්ත්වෙටම එද්දි මම්ම අයින් වෙලා ගමේ ආවා. 


ඊට පස්සේ වැඩේ අත්ඇරියද? 


මොන පිස්සුද මිස්? ඊට පස්සේ ගමේ ඉන්න ඒ ජාතියේ අයගේ බජාර් එකට වැටුණා. 


ඒවට සල්ලි? 


තාත්තා ගෙදර කඩයක් කළා. ඒකේ ලාච්චුවට බැස්සා. ඊට පස්සේ ලාච්චුවට ඉබ්බෝ දාලා තමයි කඩේ බේරගත්තේ. එහෙම වුණාට පස්සේ අපි ෆයිල් දැම්මා. 


ඒ කියන්නේ? 


අරවට මේවට ආධාර පිණිස කියලා තැන් තැන්වල ගිහින් මුදල් එකතු කළා. හොරකම් කළා. සල්ලි නැතිම අවස්ථාවල මිනිස්සු බය කරලා මංකොල්ල කෑවා. අන්තිමට මට හොරකම් නඩු තුනකුයි, මංකොල්ල නඩු දෙකකුයි වැටුණා. බන්ධනාගාර ගත වුණා. එතන තමයි හොඳටම කුඩු තියෙන්නේ. ඒ වුණාට එළියෙදි ලැබෙනවාට වඩා මිල වැඩියි. මට ඒවා ගන්න සල්ලි තිබුණේ නැහැ. මට ඇප දෙන්න ගෙදරින් ආවේ නැහැ. අය්යලා කියලා තිබුණා මාව හදන්න නම් පුනරුත්ථාපනයට යවන්න ඕනැ කියලා. මාත් ඒකට කැමති වුණා. ඇත්තටම මටත් මේක නතර කරගන්න බැරුව හිටියේ. 


ඇයි ඔයාට මේක නවත්තන්න ඕනැ කියලා හිතුණේ? 


මේක ගන්නකොට ආතල් තමයි. ඒත් ඒකටම විතරයිනේ හිත. ඒ නිසා හීනෙනුත් සික් එක. නැගිටින්නේ කුඩු හොයාගෙන. තේ බොන්නේ නැහැ. මූණකට හෝදන්නේ නැහැ. පිස්සු බල්ලා වගේ සල්ලි හොයන්නමයි දුවන්නේ. සල්ලි නොලැබුණාම අම්මා තාත්තාගේ දේවල්ද කියලා ගාණක් නැහැ. එයාලගේ රත්තරන් බඩු පවා හොරකම් කරලා උගස් තිබ්බා. යාළුවෙච්ච කෙල්ලෙක් හිටියා. එයා හැමදම කතා කරලා හම්බවෙන්න එන්න කියනවා. මම යන්නේ නැහැ. මම ලව් කළේ ඒකිට නෙවෙයි, කුඩුවලට. අන්තිමට මට ඒකත් නැති වුණා. 


උසාවියෙන් ඔයාව කන්දකාඩුවට දැම්මා? 


ඔව්. 


මෙතනින් මොනවද ඔයාට ලැබුණේ? 


පළවෙනි මාසේ අපිව වගාවලට යෙදෙව්වා. ක්‍රීඩා කෙරෙව්වා. සින්දු කියන්න යොමු කළා. තමන්ගේ හැකියාවන් අඳුන ගන්න අවස්ථාව හදලා දුන්නා. ඊට පස්සේ දෙවැනි මාසේ දේශන තිබ්බා. ඇත්තටම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලේ සර්ලා ඇවිත් කරපු දේශනවලින් තමයි මත්ද්‍රව්‍ය ගැන අපි හරියටම ඉගෙන ගත්තේ. සික් එක කියන්නේ මොකක්ද කියලා වෛද්‍යවරු අපිට ඉගැන්නුවා. 


අපි හිතාගෙන ඉන්න දේවල් ගොඩක් වැරදි බව මෙතනදී තේරුම් ගියා. මම ජීවිතේට හිතුවේ නැහැ විපස්සනා භාවනාව වගේ දෙයක් මට කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් විශ්වාස කරන්න මිස් මම දැන් හොඳට භාවනා කරනවා. මට දැන් හිත එක්තැන් කරගන්න පුළුවන්. ලබන මාසේ මම සේනපුර යනවා. එතනදී අපිට වෘත්තීය පුහුණුව දෙනවාලු. ඒකත් කරගෙන ගෙදර ගිහින් රස්සාවක් කරගෙන හොඳින් ජීවත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. 

 


(මෙම කතාවේ ඇතුළත් නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න) 

 

 

සටහන හා ඡායාරූප - 
මුදිතා දයානන්ද