ලංකාවේ අබිරහස් ස්ථාන

 

තුන්හිස්ගල සහ අලුගල් කන්ද

 

මීදුමෙන් වැසුණු පරිසරය

 

 

තුන්හිස්ගල කන්ද ඉහළට නැග ගත් පසු සවස් යාමය ළංවත්ම වූ නිසා අප කන්ද නැවත බැසීමට සිතාගත්තේ අඳුරට පෙර මහ කැලය මැදින් දූවිලි ඇල්ලට යා යුතු වූ හෙයිණි. කෙසේ හෝ එනසාල් වනය මැදින් සීරුවට අප පැමිණියේ කලින් වර අපගේ සගයන් කිහිප දෙනෙකු වැරදීමකින් රෑහැන කෙටු පතන ආසන්නයට ගිය නිසාවෙනි. 
  
මීදුම් සළු මගින් තුරු වදුලු අතර හිස්තැන් පුරවන විට එනසාල් අතු අප යන මග අහුරමින් තිබුණේ අපව තවත් එහි තියාගත්තාක් මෙනි. බොහෝ පිරිසක් කලින් කන්දට නැග්ග පස් පෙරළුනු මාර්ගය දැන් තවත් දුෂ්කරය. පඳුර පිටින්ම වැරෙන් අල්ලා නොගන්නට එනසාල් පෙර අතු මත යැපී පල්ලම් බැසීම අනතුරුදායක විය. කන්ද බසින විට ඉතා ඈතින් පැමිණෙන පිරිසව ද අපට පැහැදිලිව පෙනුණේ කුරු ශාක ව්‍යාප්තිය නිසාවෙනි. දුම්බර මිටියාවතේ හදවත බදු කොටසේ අහස් කුස සීරුවට හිරු රැස්වලට වනයට පතිත වීමට ඉඩදුන්නේ පෙර කතිකා කරගත්තාක් මෙනි. රෑ හැන කෙටුපතනටත් KMP වාඩියටත් පාර බෙදෙන ස්ථානයට පැමිණ අපි KMP වාඩිය දෙසට ගමන් කළෙමු. සිතියම්වලට අනුව දූවිලි ඇල්ලට යා හැකි පහසුම හා ළඟම මාර්ගය හේමචන්ද්‍ර වාඩිය හරහා වැටී තිබූ නිසාවෙනි.   


රැහැන කෙටු පතන යනු මීමුරේ දක්වා ගමන් කළ හැකි දුෂ්කර මාර්ගය වේ. දූවිලි ඇල්ලට හෝ තුන්හිස්ගල හෝ වමාරපුගල මීමුරේ සිට යනව නම් අනිවාර්යයෙන්ම රැහැන කෙටු පතනට පැමිණිය යුතුය බොහෝ කාලවලට මෙම පතනේ වන අලි රජ කරති. මෙය අඩකවයක ආකාරයට පැතිරුනු ඉතාමත් කුඩා පතනක් බව තුන්හිස්ගල මුදුනේදී අපි දුටුවෙමු. පතන මුළුමනින්ම මාන පඳුරු වලින් වැසී පවතියි. කළු ගඟේ උපත දෙන වමාරපුගල පිහිටියේ රැහැන කෙටු පතනට පසෙකිනි. කෙටියෙන් කිවහොත් තුන්හිස්ගල සහ වමාරපුගල මැද පිහිටි රැහැන කෙටුපතනට දකුණු දෙසින් මීමුරේ ගම සහ උතුරු දෙසින් දූවිලි ඇලි හා මල්කිරිගොඩ කපොල්ල දක්වා දිගු විවෘත අවකාශයක් පුරා දුව යයි.   


 කෙසේ හෝ අප KMP වාඩියට ප්‍රථම මීටර 100 කට කලින් ස්ථානයකින් වනයට ඇතුළු වීමට තීරණය කළේ GPS සිතියමට අනුවය. එම මග දිගේ මීටර් 400ක් පමණ ගිය පසු අපි නටබුන්ව ගිය වාඩියක් අසලට ආවෙමු. එය හේමචන්ද්‍ර වාඩිය ලෙස හඳුන්වයි. මෙම ස්ථානයට තුන්හිස්ගල පෙනෙනුයේ සිරිපා කන්ද ලෙසිනි. යන්තමින් නටබුන් අතර පිහිටි එක් බිත්තියක වූ ජනෙල් කවුළුවකින් තුන්හිස්ගල දෙස බැලූ විට මතකෙට ආවේ මගගිරිදඹ පෙනුමම විය. හේමචන්ද්‍ර වාඩිය යනු එනසාල් වගාව නිසා විනාශ වී ගිය ඉසව්වකි. මෙහි KMP වාඩියේ මෙන් කිසිදු ඉඩක් නොවෙයි. ගරා වැටුණු බිත්ති සහ ඇතුළත පඳුරු වැටී වනරොද ගිලගෙන හමාරය.   
පැය කාලක් පමණ අප එම ඉසව්ව විපරම් කළේ වන අලි ගැවසීම ගැන යම් හෝඩුවාවක් දැන ගැනීමටය. නමුත් වාසනාවකට එලෙස කිසිවක් අප දුටුවේ නැත. මෙතැන් සිට දූවිලි ඇල්ලට යාමට කිසිදු අඩි පාරක් හෝ දළ වශයෙන් මාර්ගය දන්නා කිසිවෙකු අප සමග නැත. එහෙයින් කල් තියාම අප GPS සිතියම් භාගත කරගෙන පැමිණියේ ඒ අනුව අපගේ නැවතුම් පොළට යාමටය. මෙම වනය ගැන කල්තියාම ගමේ පැරැන්නන්ගෙන් විස්තර අසා ගෙන ඊට සරිලන ලෙස සූද‌ානම්ව අපි පැමිණියෙමු.   


මන්ද මෙම වනරොද කොපමණ සුන්දරත්වයක් ඉසිලුව ද ඒ හා ප්‍රමාණයෙන්ම අනතුරින් ද බහුල විය. මිනිස් සම මත ස්පර්ශ වීමට නුසුදුසු විෂ සහිත මාඋස්සා ශාක පිළිබඳවත් බහුලව පවතින බඹර හා දෙබර කූඩු පිළිබඳවත්, පොළොන්, තෙලිස්සා වැනි සර්පයින් ඇතුළු සෙසු අනතුරුදායක දේ මෙහි පවතින හෙයිනි. එම නිසාම නඩය එකාමෙන් එක ළඟින් යාමටත් පය තැබීමේදී වඩාත් කල්පනාකාරීව යාමටත් ශබ්දය අවම ලෙස පවත්වාගෙන යාමටත් එකඟව සිටියෙමු. එම නිසාම අප සැමගේ ඇස්, කන්, මනස සහ පංච ඉන්ද්‍රියන්ම වනය සහ වනය තුළ පවතින ගුප්ත නිහැඬියාව වෙත යොමු කරගෙන සිටියෙමු.   


බඹරැල්ලේ සිට එන විට හමුවූ තෙත් බව මෙම ප්‍රදේශයේ දක්නට නොවීය. පොළව පුරා වැටුණු කොළ මඩ පැහැගැන් වී පය තබන විටත් ‘සරස්’ ගා හඬින් පොඩි වී යයි. මහරූස්ස ගස් කඳන් වටා අප දෙතුන් දෙනෙකු පමණ අත් අල්ලා සිටිය හැකි තරම් විශාල විය. ඈතින් ගල්කුට්ටි පෙනෙන්නේ නොසෙල් වී සිටින වල් අලි මෙනි. මහා පරිමාණයෙන් ශාක එක ළඟින් නොතිබූ නිසා බොහෝ විට යම් දුරකට වනය දැකගත හැකි විය.   
 පිටුපසින් පැමිණි අයගේ අවධානය නිසා ගස් මුදුනක තිබූ බඹර කූඩුවක් දැකගත හැකි විය. හීන්සීරුවේ ශබ්ද නොගා එම ඉසව්ව පැන යන විට වනය තුළ තිබූ පඳුරුමය ශාක වැඩි ඉසව්වකට යොමුවිණි. කෙසේ හෝ වන රොද පීර ගෙන සවස් යාමය පහුවන කණිසමේ හණි හණිකට පිය මැන්නේ රාත්‍රියට මෙම වනය අනතුරුවල තෝතැන්නක් වූ බැවිනි.මන්ද විෂඝෝර සර්පයින්, කොටියන් රජයන අඳුරේ අනතුරක් වුවහොත් පැය දහයක් යනතුරු කිසිදු මිනිස් වාසයකට ළඟා විය නොහැකි ඉසව්වක අප සිටි හෙයිනි.   


කෙසේ හෝ ඉදිරියෙන් නඩයේ සිවු දෙනෙකු ගිය අතර අනෙක් අය ඔවුන්ට මීටර දෙක තුනක් පමණ පිටුපසින් වූහ. විශේෂයෙන් ගස් උඩට නෙතු යොමාගෙන ගියේ බඹරු නිසාවෙන්මය. කෙසේ හෝ ගසක මුලක් අසල වැටී තිබුණු බඹර වදයක් ඉදිරියෙන් ගිය සිවුදෙනා දකිත්ම බඹරු ඔවුන්ට පහර දෙන්නට විය. සියල්ලෝම බිම දිගා වී විනාඩියක් පමණ සිටිය ද ඉදිරියෙන් ගිය දෙදෙනකු තරමක් දිවගොස් බිම දිගා වී තිබුණි. සෙස්සන්ට කෙසේ වුවත් ඉදිරියෙන් ගිය සිවුදෙනා බඹර ප්‍රහාර වලට ලක්වූහ. එක් අයෙකුට බඹරු හතර පස් දෙනෙකු පමණ විද තිබුණි. මද වේලාවක් එම ස්ථානයෙන් පිටත්ව වෙනත් ස්ථානයක නැවතී සුදුසු ප්‍රතිකාරයක් කොට ඔවුන් සමග නැවත වනයට අපි පිවිසුනෙමු.   


බඹර ප්‍රහාරය නිසා දුවගිය බැවින් අපගේ GPS මාර්ගයෙන් අප බැහැර වී තිබුණි. එහෙයින් නැවත එම මාර්ගයේ යාමට කන්දක් බැස තවත් කන්දක් නගින්නට සිදු විය. කළුවර වැටෙන්නට වූයෙන් අපි හනිකට ගමන ගියෙමු. අපගේ අරමුණ වූයේ දූවිලි ඇළ හරහා පැමිණෙන කළු ගඟට නැතහොත් දිය දහරට පිවිස එය දිගේ දූවිලි ඇල්ලේ සුන්දරතම දඩානය (Infinity Pool) වෙත යාමයි. අඳුර අපට හරස් විය. සවස 6 පසුවත්ම ඉහළ අහස අඩ අඳුරට පිවිසුන ද වනරොද තවත් කළුවර විය. එම නිසාම අපි විදුලි පන්දම් දල්වාගෙන ගමන් කළෙමු.   

 

හේමචන්ද්‍ර වාඩියට පෙනෙන තුන්හිස්ගල

 


විටෙක කඳු නගිමින් ඒවා රූටමින් පල්ලම් බසිමින්ද ගමන් කළෙමු. කටු ගස්වලට හීරුණු අතර එකා පිටුපස එකා පස් සහිත පල්ලම් බසින විට සෙස්සන්ගේ කමිස කලිසම් ඇතුළට ද පස් හා කොළ රොඩු පතිත වූහ. බෑගය ද කර දමා ගෙන විදුලි පන්දම් එළියෙන් කෑලි කපන අඳුරේම අපි GPS මඟපෙන්වීම මත දිය දහරාවට බැස ගත්තෙමු. වනයේ ගමන කෙසේ වෙතත් ගඟදියේ කළුවරේ යාම තවත් දුෂ්කර හා අනතුරුදායක බව අපි දැන සිටියෙමු. මන්ද ගල්කුට්ටි ලිස්සන සුළු වීම හා ගං දියේ ස්ථාන ගැඹුරු වීමයි. කෙසේ හෝ සියල්ලෝම දැඩි පරිස්සමෙන් අපි ගඟ දිගේ පහළට බැස්සෙමු.   


ඉන්දීය ජාතික මිතුරන් දෙදෙනකු ද අප සමඟ සිටි හෙයින් ඔවුන්ව ද වැඩියෙන් අවධානය දී දුෂ්කර කපොලු වලින් එතෙර කර ගන්නේ සියල්ලෝ තුළම සහයෝගය තිබූ හෙයිණි. සමහර ස්ථානවල වතුරට බැස එගොඩ වී ලිස්සන ගල් මත වාඩි වී තෙමී ගෙන අප කළුවරේ පහන් එළියෙන් ගමන් කළෙමු. දුම්බර වනයේ හරි මධ්‍යයේ කළුවරේ ගමන් කිරීම යනු මරුවා තුරුල්ලේ ගමන් කිරීමක් විය.   


රාත්‍රී 8 පසුවන විට අපි සියල්ලෝම Infinity Pool නම් වූ දූවිලි ඇලි ද‌ාමයේ ප්‍රධාන ඇල්ල අසලට පැමිණියෙමු. පසුව හණි හණිකට අපි කඳවුරු බැඳ ගත්තෙමු. රාත්‍රී 9 වන විට කඳවුරු බැද අවසන්ව අප ගෙන ගිය කුඩා ගෑස් ළිප් ආධාරයෙන් නූඩ්ල්ස් පිසගන්නට සූද‌ානම් වුනෙමු.  


බඹරැල්ලේ ලෙබනන් වත්තේ සිට KMP වාඩිය හරහා තුන්හිස්ගලට පැමිණ පසුව රැහැන කෙටු පතන ආසන්නයෙන් හේමචන්ද්‍ර වාඩිය හරහා බඹර ප්‍රහාර මැද දූවිලි ඇල්ලට එක් දිනකදී ළඟාවූ ප්‍රථම කණ්ඩායම අප විය. මන්ද සාමාන්‍යයෙන් ඇටන්වල හෝ රඹුක් ඔළුව යන පිටවලපතන ආශ්‍රිත සම්මත සංචාරක මාර්ග දෙකෙන් දූවිලි ඇල්ලට එ්මටත් දවසක් ගතවන නමුදු අප තුන්හිස්ගල නම් නකල්ස් වනයේ මීටර 1617 ක් උස සයවන කන්දත් නැග මෙතනට පැමිණියේ ජී.පී.එස්. මත වික්‍රමාන්විත ගමනකිනි. එම මතකය ආවර්ජනය කරමින් රාත්‍රී 12 වන විට අපි සියල්ලෝම නිදාගත්තෙමු.  

හේමචන්ද්‍ර වාඩිය

 


උණුසුම් කෝපි සුවඳින් මා ඇහැරෙන විට පිරිසක් ජලයට බැස නා ගනිමින් ද පිරිසක් පරිසරයේ ලස්සන විඳිමින් ද තවත් පිරිසක් කෝපි සාදමින් ද සිටියහ. අපි සියල්ලෝ එක්ව දූවිලි ඇළි මුදුනේ රැය ගෙවා තවත් ක්‍රියාදාම දවසකට හිරු උද‌ාව දැකගත්තෙමු. මෙම ඇල්ලේ මුදුනට ගොම්මානියා කන්ද, යකුන්​ගෙගල, කිරිගල්පොත්ත, සුදුගල, ලාහුමානාගල, මානිගල, රිවස්ටන්, පිටවන පතන සහ මල්කිරිගොඩ කපොල්ල දැක ගැනීමට හැකි විය. මෙම ගලේ එහා කෙළවරේ ඈතින් පිහිටියේ ගිනිකෙළියා පතනය. එම ප්‍රදේශයෙන් ගිය විට රණමුරේ ගමට යා හැකිය. දගර ගසා දැවැන්ත පල්ලමකින් බැස යන කළුගඟ පවා අපි දුටුවෙමු.  


කෙසේ හෝ උදෑසන ආහාර ගෙන පිළිවෙලින් ඉහළට පිහිටි දූවිලි ඇල්ල එනම් ඇල්ලට පිටුපස ගුහාවක් පිහිටි ඒ අරුම පුදුම සොබාදම් නිර්මාණයන් නරඹා ගෙන සන්සුන් ඇල්ල සහ සෙසු දූවිලි ඇලි නරඹමින් අප පහළ පිහිටි දුම්බර ඇල්ලට බැස ගත්තේ පැය 4 ක පමණ පල්ලම බැසීමකිනි. වනරොද එලෙසමය. ශාන්තය. නිහඬය. බඹර ප්‍රහාර වලට ලක්වූවන් තරමක් අමාරුවෙන් කැන්ද‌ාගෙන අප වැද්දා හේන අසලට පැමිණ රඹුක්ඔළුවට යන මාර්ගයට හැරුණෙමු. වැද්දා හේන යනු ඇටන්වලට හා රඹුක්ඔළුවට මග බෙදෙන ස්ථානයයි. මෙතැන් සිට හොඳ අඩි පාරක් ඇති බැවින් නොනැවතී පහසුවෙන් ගමන් ගත් අප සවස 4 වන විට රඹුක්ඔළුව ගම්මානයට පිවිසියෙමු. අතිශය දුෂ්කරව ගෙවූ දින දෙකක සුන්දර මතකයන් රාශියක් හිත දරාගෙන අප දුම්බර වනයට සමුදුන්නේ තවත් ක්‍රියාදාම චාරිකාවකට අප මෙහි පැමිණෙන බව පවසමිනි.  

 

 

 


සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු