ක්‍රි.ව. 1341 දී රාජකාරි නගරයක් බවට පත් ගම්පොළ පුරවරයට ඒ නම ලැබුණේ මහවැලි ගඟ අසල ඉදි කළ නිසාය. ගංගා + ශ්‍රී + පුර = ගඟසිරිපුර ලෙස ද ගඟ + පල = ගම්පොළ නමින් ව්‍යවහාරයට පත්විය. IV වන බුවනෙකබාහු රජු ගම්පොළ රාජධානියේ ප්‍රථම නරවරයාය. ඔහු තම රජ මැදුර තනාගත් ප්‍රදේශය අද හඳුන්වන්නේ සිංහාපිටිය නමිනි. එහෙත් එදා ඒ ප්‍රදේශය ගොඩගම නම් විය. සිංහල සන්දේශ සාහිත්‍යයේ ප්‍රථම සන්දේශය ගම්පොළ යුගයේ කවිශ්වර නම් කවියකු විසින් රචිත මයුර සන්දේශයයි. එහි ගම්පොළ රජ මැදුර පිළිබඳ වර්ණනාවක් ඇතුළත් ය. 


මයුරයා අම්බුළුවා කඩින් දෙවිනුවර බලා පිටත්ව යන්නේ ඒ එදා තිබූ මාර්ගය ඔස්සේය. මේ රජ මැදුර ගම්පොළ රාජධානි සමයේ නටබුන් විය. එගොඩගම රජ මැදුර තිබූ භූමියේ ගජසිංහ රූප කීපයක් ඉතිරිව තිබුණි. සෙසු ගල් ගඩොල් ආදිය ගම්වාසීන් විසින් ගෙන ගොස් තිබේ. මේ ප්‍රදේශය යළි ජනාවාසය වෙද්දී හැඳින් වුණේ “සිංහපිටිය” නමිනි. ඒ මෙහි තිබූ ගජසිංහ රූප නිසාවෙනි. 
මේ ගජසිංහ රූප අද එහි නැතත් එක් ගජසිංහ රූ යුවලක් මහනුවර ජාතික කෞතුකාගාරයට ගෙන ගොස් එහි ඉදිරිපස සවිකර තිබේ. තවත් එක් ගජසිංහ රූපයක් කොළඹ ජාතික කෞතුකාගාරයට ගෙනගොස් තිබේ. තව ගජසිංහ රුවක් වල්ලහගොඩ දේවාල භූමියේ දාගැබ බැඳීමේ දී යට කළ බව පැවසේ. වල්ලහගොඩ විහාරය හා දේවාලය ගම්පොළ යුගයේ සිට ප්‍රසිද්ධ ස්ථානයකි. වල්ලහගොඩ යන නම ලැබුණේ මේ අසල පර්වතයේ පැරණි කල භික්‍ෂු අාරණ්‍යවාසයක් පැවති නිසාය. වල්වාසගොඩ වල්ලහගොඩ නමින් ප්‍රකට විය. 

 

 


ගම්පොළ රජ කළ III වන වික්‍රමබාහු රජුගේ බිසව හෙනකඳ බිසෝ බණ්ඩාර නම් විය. මේ කාලයේ ඇය දේවත්වයට පත්ව තිබේ. ඇගේ උපත සම්බන්ධව ද විශ්වාස කළ නොහැකි ජනප්‍රවාද ගෙතී තිබේ. කෙසේ වෙතත් කලක් ඇම්බැක්කේ ප්‍රදේශයේ ඇය ජීවත්ව සිට පසුව කොත්මලේ ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී අභාවප්‍රාප්ත වූ ඇගේ දේහය කහට කොටයකින් සෑදූ දෙණක බහා මහවැලි ගඟේ පාකර හැර තිබේ. 
බහදෙණ ගම්පොළ අසල ප්‍රදේශයකට ගොඩගසා තිබේ. දැනට ආනුභාව ඇති මුස්ලිම් පල්ලියක් ඇත්තේ ද මේ ගොඩ ගැසූ ස්ථානයේය. සිංහල, මුස්ලිම් හැම මේ ස්ථානයේ පඬුරු දමා භාර හාර වෙති. කහට දෙණ ගොඩ ගැසූ ප්‍රදේශය කහටපිටිය නමින් ප්‍රසිද්ධ විය. 

 

ගම්පොළ රජ කළ III වැනි වික්‍රමබාහු රජුගේ බිසව හෙනකඳ බිසෝ බණ්ඩාර නම් වූවාය. මේ කාලයේ ඇය දේවත්වයට පත්ව තිබේ. ඇගේ උපත සම්බන්ධව ද විශ්වාස කළ නොහැකි ජනප්‍රවාද ගෙතී තිබේ. කෙසේ වෙතත් ඇය කලක් ඇම්බැක්කේ ප්‍රදේශයේ  ජීවත්ව සිට පසුව කොත්මලේ ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී අභාවප්‍රාප්ත වූ ඇගේ දේහය කහට කොටයකින් සෑදූ දෙණක බහා මහවැලි ගඟේ පාකර හැර තිබේ. 


හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ දේහය ආදාහනය කර ඇත්තේ දඹදෙණි සමයේ ප්‍රසිද්ධියක් උසුලන බෝතලාපිටියේ දීය. දඹදෙණි සමයේ දෙවන පරාක්‍රමබාහු රජු ගම්පොළ හරහා වැටී තිබූ ශ්‍රී පාද මාවත පිළිසකර කිරීමට දේව ප්‍රතිරාජ ඇමැතියා එවීය. ඔහු බෝතලයෙහි සේතුවක් (පාලමක්) බැඳ බෝධි රෝපණයක් කළේය. එම බෝධිය අද දක්වාත් පවතින අතර ප්‍රදේශය බෝතලාපිටිය නමින් ප්‍රසිද්ධ විය. පූජාවලියේ අවසාන පරිච්ඡේද දෙකේ එහි ඉතිහාස තොරතුරුවල මෙම බෝධි රෝපණය ගැන ද සඳහන් වේ. 
බෝතලාපිටියේ දී හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය ආදාහනය කරනු ලබන්නේ උනම්බුවේ නිලමේට දන්වන ලදුව පසුව එය වික්‍රමබාහු රජුට දැන්වීමෙන් පසුවය. දින පහක් පෙරහර පවත්වා ආදාහනය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එහි කුඩා දේවාලයක් ඉදිකරනු ලැබීය. මේ සිද්ධිය වාර්ෂිකව පෙරහර කොට මේ දක්වා සිහිපත් කරනු ලැබේ. 
ඇම්බැක්ක, ලංකාතිලක, ගඩලාදෙනිය, වල්වාසගොඩ, ගනේගොඩ යන දේවාලවල වාර්ෂික දිය කැපුම් උත්සවය පවත්වනු ලබන්නේ බෝතලාපිටිය අසල මහවැලි ගං ඉවුරේය. මෙහිදී විශේෂයෙන් ඇම්බැක්කේ දේවාලයෙන් පැමිණෙන දේවාල කපු මහත්වරු හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය සිහිපත් කිරීමට දියකපා කාංගං (කළුරෙදි) හා ඉස්පෝලියල් (හිස් වැසුම්) ඇතිව පැමිණෙති. එහිදී පළමුවෙන් දමන්නේ උනම්බුවේ රාළ පෙළපතේ කෙනෙකි. 
ගඩලාදෙණි විහාරය සය වන බුවනෙකබාහු රජු දවස ශීලවංස ධර්මකීර්ති සඟ රජ හිමියන් විසින් දකුණු ඉන්දියාවේ ගණේශ්වරාචාරී නම් ශිල්පියකු ප්‍රධාන ශිල්පීන් කණ්ඩායමක් ගෙන්වා ඉදි කරනු ලැබිණ. සම්පූර්ණ කළුගල් නිර්මාණයක් වූ මෙයට අවශ්‍ය කළුගල් දෙණිය නම් ස්ථානයෙන් ගෙන ආ බැවින් ගල්ආදෙණිය යයි ව්‍යවහාර වී පසුව එම ප්‍රදේශයම ගඩලාදෙණිය නම් විය. 


ගම්පොළ අද උලපනේ රජඇළ ඉතා පැරණි වාරි කර්මාන්තයකි. එහි ඔය මැද ගලක ක්‍රි.පූ. යුගයට අයත් ගෙවී ගිය බ්‍රාහ්මී සෙල් ලිපියක් ඇත. එසේම මේ වාරි කර්මාන්තය ගම්පොළ යුගයේ නැවත ප්‍රතිසංස්කරණය කරන විට කරවන ලද මෙතෙක් පළ නොවූ සෙල්ලිපියක් එම ගල්තලාවක පසට යට වී තිබේ. එසේම ගම්පොළ සමයට අයත් තවත් මෙතෙක් පළ නොවූ සෙල් ලිපියක් ගම්පොළ දොළුව ආසන්න ගොඩවෙල බෝධි ප්‍රාකාරයට යට වී පවතී. 
මහනුවර රජුගේ වී අටුවක් තිබූ ස්ථානය අද වීගුලවත්ත නමින් ප්‍රසිද්ධ විය. නුවර යුගයේ තවත් වී අටුවක් ගම්පොළ නාරංවිට අසල තිබුණි. මේ වී අටුව තිබූ ප්‍රදේශය අද අටුවේවත්ත නමින් හඳුන්වයි. එම අටුවේ අවශේෂ ශිලා කර්මාන්ත අටුවේ වත්ත ජනපදයේ නිවසකට යට වී පවතී. රජුගේ ගබඩා ගමක් තිබූ වෙල්යාය අද ගම්පොළවෙල නමින් හැඳින්වේ. 
මේ ගම අසල ඇරෑගොඩ ගමට ඒ නම ලැබුණේ අලින්ගේ උවදුරු නිසා මුල් ගම්වාසීන් ප්‍රදේශය අතහැර ගිය නිසාය. ඇර + ආ + ගොඩ = ඇරැගොඩ නමින් ප්‍රකට විය. මේ ගම නැවත මහනුවර යුගයේ සිට ජනාවාස විය. 

 

 


නියම්ගම්පාය විහාරය පිහිටි භූමිය අසල ප්‍රදේශය මරියාවත්ත නම් වූයේ ඉංග්‍රීසි පාලන යුගයේ මරියා නම් කතකගේ රබර් වත්තක් එහි තිබූ නිසාය. 
නුවර යුගයේ II රාජසිංහ නිරිඳු නාරං ගසකින් රිටක් කපා ගෙන ඔරුව පැද ගොඩවූ ප්‍රදේශය නාරංවිට නමින් ප්‍රසිද්ධ විය. මෙම ගම වඩාත් ප්‍රසිද්ධ වූයේ නාරංවිට සුමනසාර හිමියන් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මුලින් ඇරඹීම නිසාය. වග වලසුන්ගෙන් ගහණ වූ අනුරාධපුරයට ගොස් උන්වහන්සේ බර කරත්ත ආඹරාවක ලැගුම් ගෙන මේ මහා භාරදූර කාර්යය පටන් ගත්තේය. උන්වහන්සේ මුලින් පැවිදි වූයේ නාරංවිට පුරාණ විහාරයේ දීය. පසුව උඩුනුවර ගල්ලෙන්ගොල්ල විහාරයේ සිට තිබේ. ගල්ලෙන් සමූහයකින් යුතු ප්‍රදේශය ගල්ලෙන්ගොල්ල විය. 


අනුරාධපුර සමයට අයත් බිතුසිතුවම් දක්නට ලැබෙන හිඳගල විහාරස්ථානය පිහිටි භූමියට හිඳගල යන නම ලැබී ඇත්තේ එම පැරණි බිතු සිතුවම් ඇසුරිනි. එම චිත්‍ර අතර ශක්‍රයා බුදුරජුන්ව ඉන්දසාල ගුහාවේ දී හමුවීම තිබේ. ඉන්දසාර යන්න ඉද + සල වී පසුව ඉදගල/ හිදගල බවට පත්විය. මෙය සෙනරත් පරණවිතාන මහතා විසින් පෙන්වා දී තිබේ. 
ගම්පොළ අසල දුනුවානාගල නමින් හඳුන්වන පර්වතයට ඒ නම ලැබුණේ එකල ආරක්‍ෂාවට දුනුවායින් නවතා සිටි බැවිනි. පැරණි රජුගේ ආරක්ෂා ස්ථාන වූ මුරපොළවල් තිබූ ස්ථාන අද බොරලු මංකඩ අම්බුළුවාකඩ කළුවාහල්කඩ ආඬියාකඩවත ආදී නම්වලින් ප්‍රකටය. 

 


දර්ශනපති 
කොරළේගෙදර ආරියරත්න 
සංඝරාජපුර - වැලිවිට පහළගම