නෙතට රසඳුනක් වූ රිටි පන්න ධීවරයන්ගේ වසන්ත කාලය දැන් උදා වී ඇත. නෙරළු යාය (පොල්) සර සර ගා හඬ තලයි. කිරිසිදු වෙරළ කිරි ගඟුලක් සේ සිනා පළ කරයි. මුහුදු ලිහිණියෝ නිල් අහස පුරා පියාපත් සියපත් මෙන් විහිදා සැඩ සුළගේ පාවෙති. රිදීපාට මුහුද ධීවර ගීතයක රිද්මයට මුහුදු ජලයේ රස නිම්නාද කරමින් තොටිල්ලක දසුනක් ගෙන දේ. පෙර දින මසුන් මරන්නට ඈත දියඹට ගිය ධීවරයෝ සරු මසුන් අස්වනු රැගෙන වෙරළට එති. උදය අවදි වූ ධීවරයෝ දහවල් මසුන් මරන්නට ඔරු පාරුවල නැගී යති. ධීවර ගීතයක මිහිරියාව ඈත ධීවර ගම්මානවලින් නැඟ එයි. පෙළින් පෙළට බිලි පිති අත ඇතිව පැමිණෙන රිටි පන්නා ධීවරයන්ගේ දසුනින් තවත් සුළු නිමේෂයක දී මසුන් දැහැගන්නට මානා සිටින සුදුම සුදු කොකුන් සේ රිටට නැඟ සිටින්නා වූ රිටි පන්න ධීවරයන්ගේ දසුන සුන්දරය. 


නමුත් අපට සුන්දර වූ මේ දසුන් ධීවර කර්මාන්තයේ යෙදෙන රිටි පන්නා ධීවරයන්ගේ සන්තානයේ තිබෙනවා දැයි යන්න සැක සහිතය. මේ හැඩරුව හා දසුන් අප නෙතට රසඳුනක් සේ දිස්වන්නේ කොග්ගල මුහුදු වෙරළ තුළ තවත් එක් සුන්දර උදෑසනකය. 


හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කතළුව ධීවර තොටුපොළ ගල්බැමි යොදා සංවර්ධනය කරදෙන ලෙස ධීවර ජනතාව ඉල්ලා සිටිති. මේ බව සඳහන් කරමින් ඔවුන් පසුගිය සිකුරාදා උද්ඝෝෂණයක ද නිරත වූහ. 
ගාල්ල මාතර මාර්ගයේ ඵක් මංතීරුවක් වසා හබරාදුව කොග්ගල ධීවරයන් පිරිසක් උද්ඝෝෂණයක් කළ අතර පසුව ඵම පිරිස සාමකාමීව විසිර ගියහ. 2018.09.28 දින පෝස්ටර් බැනර්, නාමපුවරු එල්ලා ගෙන ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණය පුරා පැයක පමණ කාලයක් පැවැතිනි. මේ නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ විය. 


ඇයි මේ ධීවරයෝ වීථි බැහැලා, අප එහි යන විට අපට ඇතිවූයේ ප්‍රශ්නයකි. මෙයට හේතුව ප්‍රදේශයට ආරක්ෂිත ගල් වැටියක් සකස්කර දෙන අතරේ කොග්ගල ධීවර තොටුපොළ ආරක්ෂාකර දෙනමෙන් හා විනාශ වෙන තොටුපොළ ආරක්ෂා කර දෙනමෙන් ද තොටුපොළේ පහසුකම් ඉල්ලා සිටිමින් මෙම උද්ඝෝෂණය සිදු කළහ. 


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන (පොහොට්ටුව) දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී. පියසිරි, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී මණ්ඩලය ද විශාල ධීවර ජනතාවක්ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දැකිය හැකි විය. 


අදාළ මධ්‍යම ආණ්ඩුවේ ධීවර ඇමති හා පළාත් සභාවේ ධීවර ඇමතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කර පහසුකම් ලබාදෙන්නට කටයුතු කරන බැව් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසීමෙන් පසුව පිරිස සාමකාමීව විසිර ගියහ. 


කතළුව ධීවර තොටුපොළ දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප‍්‍රදායික පන්න යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා කතළුව, කොග්ගල, මෝදරගොඩ, කබලාන ආදී ගම්වල ධීවරයින් යොදාගත් ධීවර තොටුපොළකි. 
මෙය සුනාමි ව්‍යසනයෙන් පසුව එකී සාම්ප‍්‍රදායික බිලිපිති පන්නය (රිටි පන්නය) ඇතුළු කර්මාන්ත බොහොමයක් අඩපණ වී ඇත. මේ වන විට කතළුව ධීවර තොටුපොළෙන් පිටත එන්ජිම සහිත ෆයිබර් ග්ලාස් බෝටිටු 30 පමණ ධීවර වෘත්තියේ නියැලීම සඳහා දෛනිකව පිටත්වේ. මේ ධීවර තොටුපොළෙන් මාළු වෙළඳාමේ සිටින ධීවරයින්ද ඇතුළුව ධීවරයින් 250 කට අධික ප‍්‍රමාණයක් පහසුකම් ලබා ගන්නා බවද කතළුව ග‍්‍රාමීය ධීවර සංවිධානයේ සාමාජික​ෙයා් අප සමඟ පැවසූහ. 

 


කෙසේ වෙතත් කතළුව ධීවර තොටුපොළ රැකියාව සඳහා භාවිතා කළ හැකිවන්නේ වසරේ මාස 06 ක කාලයක් පමණක් වන අතර ඉතිරි මාස 06 ක කාල සීමාව පුරාවට මුහුද රළු වීම නිසාවෙන් එම ධීවරයන්ට තොටුපොළ තමන්ගේ ධීවර කටයුතුවලට භාවිතා කිරීමට නොහැකි වන අතර එම කාලයේදී ඔවුන් ගාල්ල සහ මිරිස්ස ධීවර වරායන් වෙත ඔවුන්ගේ ධීවර යාත‍්‍රා රැගෙන ගොස් එම ප‍්‍රදේශවල ධීවරයන්ගෙන් නොයෙකුත් හිරිහැර හා අඩන්තේට්ටම්වලටද ලක් වීමට සිදුව ඇති බව ඔව්හු පැවසූහ. 


මෙම හේතුව මත වාරකන් කාලයේදී කතළුව ධීවර තොටුපොළේ රැකියාව කරගත හැකි පරිදි සංවර්ධනය කර ගැනීම සඳහා ප‍්‍රදේශවාසී ධීවරයන් විසින් ඉල්ලීම් ගණනාවක් කර ඇති අතර සංවර්ධන කටයුතු සඳහා වන භූමිය මැනීම් කටයුතුද අවසන් කර ඇති බව ඔවුන් කියා සිටී. 


ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ කතළුව ධීවර තොටුපොළ දෙපසින් ගල් බැමි දෙකක් යොදා සකස් කොට මැදින් ධීවර බෝටිටු ඇතුලු කිරීමට හෝ පිටවීමට හැකි වන පරිදි කපොල්ලක් ආකාරයට සකස් කර දෙන ලෙසයි. එමගින් වාරකන් කාල සීමාවේදී ධීවර තොටුපොළට ඇතුළු වන සහ පිටවන යාත‍්‍රාවලට ස්වාභාවික ගල්පර මගින් සිදුවන හානිය අවම කරගත හැකි බවද ඔවුහු පවසති. 


ප‍්‍රදේශයේ ධීවරයන්ට දැඩි ලෙස බලපාන ගැටළුවක් වන මෙම ගැටලුව විසඳා දීම සඳහා අදාළ විෂය භාර අමාත්‍ය විජිතමුනි සොයිසා මැතිතුමගේ අවධානය යොමුකරන්නට සාකච්ජාවක් සිදු කළ බවත්, ඒ අනුව ඉදිරි පියවර ගන්නා බැව් හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නීතිඥ තාරක නානායක්කාර මහතා පවසයි. 


හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක තිසර ගුණසිංහ මහතා ද කීවේ හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ ධීවර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් සමඟ කතාකර විසඳුම් ලබාදෙන්නට ඉදිරියේ දී පියවර ගන්නා බවයි. 


ඒ එතුමන්ලාගේ කතාන්දරයයි. නමුත්, පනින රිලවුන්ට ඉනිමන් තැබීම කතාන්දරය මෙන් මෙහි සංවර්ධනයක් සිදුකරන්නට මහා පෙරහරින් විත් මුල්ගල්, තබා ලවුඩ්ස් පීකර් යකඩ කටවල්වලින් මහ හඬ නගා කී රට කරවූ හා කරවන ජනනායකයෝ කතළුව ධීවරයන්ගේ ප්‍රශ්නය මෙතෙක් විසඳන්නට කටයුතු කළ සෙයක් නැත. 


කොක්කු ගැන විවිධ කතාන්දර ඇත. සත්තකින්ම අප දන්නා පරිදි පොකුණක් අද්දරට වෙලා තනි කකුලෙන් හිටගෙන බකතපස් රකින කොක්කුන්ව අදටත් ඔය ගමේ ගොඩේ පැත්තක දැකගත හැකිය. මාළුවෙක් දැක්ක ගමන් ඔය සීලේ ඉවරයි. ඒත් මිනිස්සුත් ඔය තාලෙත් මාළු බාන හැටි දැකලා තියෙනවද? මේ පිරිසට කියන්නේ ‘‘රිටිපන්න ධීවරයෝ’’ ලෙසයි. ලොව මේ ආකාරයට ධීවර කර්මාන්තය කරන එකම රට ලංකාවයි. හබරාදුව මුහුදු වෙරළට පමණක් මෙය සීමා වී තිබීමද සුවිශේෂත්වයකි. 

 


මේක ලංකාවට ආවේණික මාළු බාන ක්‍රමයකි. දකුණු පළාතේ මුහුදු තීරය දිගේ මාතර පැත්තට යද්දී මේ දසුන දැකගන්න හැකිය. ගාල්ල, කොග්ගල, කතළුව, අහංගම, වැලිපැන්න, මිදිගම වගේ පැතිවල මේක සෑහෙන්න සුලභ දසුනකි. හැබැයි අවුරුද්දේ හැම කාලේ ම නෙවෙයි මැයි මාසයේ ඉඳන් දෙසැම්බර් වගේ වෙනකන්. 


 ‘‘රිටිපන්නය’’ හැදෙන්නේ නොගැඹුරු මුහුදේ සිරස් අතට සිටවන රිටකිනුයි, ඒකෙ තිරස් අතට සවි කරන දණ්ඩකිනුයි. ජල තලයේ ඉඳන් මීටර් දෙකක් විතර උඩින් බඳින මේ දණ්ඩ මාළු බාන කෙනාට සමබරව වාඩිවෙලා ඉන්න ඉඩ සලස්වනවා. කදුරු, කඩොල්, ඇට්ටෝනියා වගේ මුහුදු වතුරට ඔරොත්තු දෙන ලී වර්ගයක් ආධාරයෙන් තමයි මේක හදන වැඩේට හරියන්නේ. මේ කෙළින් අතට හිටවන ඉන්න ජල තලයේ ඉඳන් අඩි 8-10 උසින් යුක්ත වෙනවා. බිලී පිත්ත හැදෙන්නේ කිතුල් පිත්තෙන්. 


මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ වගේ රිටක් උඩ ඉඳගෙන මාළු බාන එකම නෙවෙයි. සාමාන්‍යයෙන් මාළු බානකොට ඇමක් පාවිච්චි වෙනවනේ. ගොඩක් වෙලාවට ඇම විදියට යොදාගන්නේ පණුවෝ, හාල්මැස්සෝ වගේ මාළු ජාති. ඒත් රිටිපන්න ක්‍රමේට මාළු බානකොට කොයිම විදියෙවත් ඇමක් භාවිතා වෙන්නේ නැහැ. නොගැඹුරු මුහුදේ මාළු අල්ලන ක්‍රමයක් විදියට තමයි මේක ජනප්‍රිය වී ඇත්තේ. 


රිටිපන්න ක්‍රමයට දිග ඉතිහාසයක් තියෙන බව කියවුණත්, ඒකෙ දින වකවානු ගැන හරි කතාවක් දැනගන්න ලැබෙන්නේ නැහැ. අප ධීවරයන් පවසන පරිදි මේක ඉස්සර රුවල් නැව්වලින් ලංකාවට ආව ධීවර කාර්මිකයන්ගෙන් අපේ මිනිස්සු ඉගෙනගත්ත දෙයක් බව අප සමග අදහස් දැක්වූ රිටි පන්නා ධීවරයෝ පැවැසූහ. 


මහත්තයට කියන්න ඔය ගන්දර හිටපු රාළහාමි කෙනෙක්‌ තමයි මේ වැඩේට මූලික වෙලා තියෙන්නේ. දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ මේ වැඩේ පටන් ගැනුණ බවත් පිරිසක් කියති. පරම්පරාගත ව මේ තාක්ෂණය අද ඉන්න පරපුරට ලැබුණු බවක් දැකිය හැකිය. 


ලොවක් හොරකම් කරන්නට මාන බලන නමුත් හොරකම් කරන්නට බැරි ව කුරුමානම් අල්ලන අරුම පුදුම රිටි පන්නා ඇම නැතුව මාළු බාන ශාත්ත්‍රය සූත්තරය දන්නේ මේ ගම්වල ධීවර රස්සාව කරන වැඩිහිටියෝ ය. එහි ගුරු මුෂ්ටිය ධීවර පුත්තු ද රැක ගන්නේ මුදලට නම් මේ සූත්තරය විකුණන්නේ නැති බව පසක් කරවමිණි. 


මේ බිලී කටුව හැදෙන හැටි ගැන මේ වෙලාවේ කතා නොකළොත්, ඒක ලොකු අඩුවක්. බිලී කටුවේ අච්චුව විදියට යොදා ගැනෙන්නේ දැලි පොත්තයි. දැලි පොත්ත කියන්නේ දැල්ලාගේ පිට වැහිලා තියෙන පොත්තට. දැල්ලා වයසෙන් වැඩෙද්දී උගේ ප්‍රමාණය විශාල වෙනවා. එතකොට මේ පිටපොත්ත හැලෙනවා. වෙරළට ගහගෙන එන දැලිපොතු එකතු කරගන්න රිටිපන්න ධීවරයන් මිරිදිය ජලයෙන් හෝදලා දුමේ දානවා. ඒකෙන් දැලිපොතු වේළෙනවා. සාමාන්‍යයෙන් සති තුනක් වගේ මේ විදියට දැලිපොතු දුමේ වේළීම සිදු කරන බව ධීවරයන්ගේ අදහසයි. 


මින් පසුව දැලිපොත්ත කෑලිවලට කපන එක. මේ කුඩා කැබලි ගල් ලෑල්ලක අතුල්ලලා මට්ටම් කරගැනීමක් කරනා බව ධීවරයෝ කියති. මැදගත්ත දැලිපොතු ගින්දරෙන් රත් කිරීමකුත් වෙනවා. මේක බිලීකටු අච්චුව බවට පත්වෙන්නේ ඉන්පස්සෙයි. මේ අච්චුවට රත් කරපු සුදු ඊයම් වත්කරලා විනාඩි පහකට වගේ පස්සේ අච්චුවෙන් ගලවලා ඉවත් කරනවා. මෙන්න මේක තමයි රිටිපන්නයෙදී පාවිච්චි වෙන ඊයම් බිලී කටුව වශයෙන් ධීවරයන් සකස් කර ගන්නේ. 


පසුව මිටි උදව් කරගෙන මේ බිලීකටු ඔප මට්ටම් කරලා පීරකින් ගෑමක් සිද්ධ කරනවා. මාළු රැවටෙන්නේ මෙන්න මේ ඔපේට. ඒ නිසා කොරබුරුවාල (කොග්ගල බෝල්ලා, කතළුවේ කොරබුරුවා) බෝල්ලෝ වගේ මාළු ලේසියෙන් ම අල්ලාගන්න ගන්නට මින් හැකිය. ඒ අල්ලගත්ත මාළුන් ව තමන්ගේ ළඟ තියෙන මල්ලට දාගන්නවා දැකගත හැකිය. 


මුහුදේ වඩදිය, බාදිය මට්ටම්වල හැටියට බිලීකටුවේ සයිස් එකත් වෙනස් වෙනවා. වඩදිය තියෙනවනම් භාවිතා කරන්නේ ලොකු බිලීකටුවක්. බාදිය නම් පොඩි බිලීකටුවක්. 


සත්තකින්ම මේ කිතුල් පිති ද උවමනා ​ෙවනවා. ළඟින් ළඟින් ගැට තියෙන කිතුල් පිත්තක් කියලා තමයි කියන්නේ. මේ පිත්ත පවනේ වේලලා ගින්නෙන් පුච්චන ගමන් සිරස් අතට සකස් කර ගනිති. ඉන් පසුව මේකට යොත (නූල) සම්බන්ධ කරනවා. යොත කියන්නේ බිලී පිත්තට සවි කරන ලණු පොටකට. ඉස්සර යොත විදියට පාවිච්චි වුණේ අන්නාසි ගස්වලින් ඉරාගන්න පොතු. මේ පොතුවලින් හදන කෙඳි එකට එකතු කරලා හදාගන්න ලණු කැරැල්ලක් මේ විදියට භාවිතා විය. නමුත් මේ වන විට අපේ තරුණ ධීවර මිත්‍රයෝ ද අලුත් ආකාරයට යොත සකස්කර ගන්නේ නවතම තාක්ෂණයද සමගිනි. 


මේවන විට සත්තකින්ම රිටිපන්න ධීවරයෝ යොත හදන්නේ ලෝකේ තියෙන හොඳ ම තංගුස් නූලකින්. මසුන්ට නොපෙනෙන තරමේ ඇහැට පෙන්නේ නැති තරමට සිහින් මේ තංගුස් නූල් වර්ගය ලංකාවේ ඇත්තේවත් නැහැ. මේ ධීවරයන්ට ඒ නූල් ලැබෙන්නේ රිටිපන්න ක්‍රමය ගැන කුතුහලයක්, කැමැත්තක් දක්වන විදේශිකයන්ගෙන්. ඔවුන්ට මෙය අමුතුම විස්මය ගෙනදෙන පන්නා ක්‍රමයකි. මේ ඇත්තෝ අපේ වෙනත් ශිල්ප ක්‍රම හොරකම් කරන්නට හැකි වුවත් පන්න ක්‍රමය හොරකම් කරන්ට තවමත් මාන බලති. 


සත්තකින්ම දැන් අපේ තරුණ තරුණියන් ඇත්තටම වෙනස්. කාලේ වෙනස් තාලේ දේ සොයා යන පට්ට ආතල් කොල්ලෝ එළ කිරි සුපිරි වැඩ කාරයෝ ය. ඒ නිසා රිටිපන්න ක්‍රමයටත් අලුත් තාක්ෂණයේ දේවල් එකතුවෙච්ච බවක් දැකිය හැකිය. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ දවස්වල මුහුදේ හිටවන රිටිපන්නයට යොදාගත්තේ ඇස්ටෝනියා ගහෙන් ගන්න රිටකුයි. ඒ වෙනුවට දැන් ගැල්වනයිස් කරපු බට පාවිච්චි වෙනවලු. මොකද සවි ශක්තියත් හොඳයි, මළකඩ කෑමත් අඩුයිනේ. මේ අතර පිරිසක් දෙස් විදෙස් සංචාරකයන්ට කර්මාන්තයේ පැටිකිරිය කියා දෙන්නේ සර සර ගා ඉංග්‍රිසි බසිනි. 


එදා බීඩියක් සුරුට්ටුවක් බුලත් විටකුත් හප හප බිලී බෑව රිටිපන්න ධීවරයෝ අද වෙද්දී පොඩි සංගීතයක් එහෙම අහගෙන ඒ වැඩේ කරන ආකාරයක් දැකිය හැකිය. මොකද එයාලා හැමෝම වගේ ළඟ මොබයිල් ෆෝන් පොකට් රේඩියෝ තියෙනවනේ. කොහොමත් මේක සෑහෙන්න ඉවසීමකින් කරන්න ඕනැ වැඩක්. ඒ නිසා ඒ වගේ දේවල්වල උදව් ගත්තට පාඩුවක් නැහැ. සංගීතය අසමින් මසුන් අල්ලන ක්‍රමය නම් අපේ කාලයේ තරුණ පිරිසට ඇත්තටම අලුත් දෙයක්. 


මේ රිටිපන්න ධීවරයන්ගෙන් ගුරුහරුකම් අහගෙන, ඒ දර්ශන පටිගත කරගෙන ගියත්, අදටත් මේ තාක්ෂණය උදව් කරගෙන එක මාළුවෙක් හෝ බාගන්න විදේශිකයන්ට පුළුවන් වෙලා නැහැ. චීන, ජපාන රටවල් පවා මේක උත්සහ කළත් එය ඔවුන් සතු කර ගන්නට හැකියාවක් මේ වනවිටත් ලැබී නොමැත. ඒත් වැඩක් වුණේ නැහැ. මේකෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ දෑතේ හැකියාවයි. අනාගත පරම්පරාවටත් දැක බලාගන්න පුළුවන් විදියට ඒක ආරක්ෂා කිරීම අපේ බලධාරීන් නිලධාරින් පාලකයෝ සතු යුතුකමකි. වගකීමකි.

 

 

ඇමට යොදාගන්නා ඇල්ලාගේ පොත්ත

 


ඉතිං හිරු සඳු වියැකී තවත් සුන්දර සැන්දෑවක් කොග්ගල මුහුදු වෙරළ තුළ දැකිය හැකිය. වෙරළත ඈත පාවෙන ධීවර ඔරු බෝට්ටු මසුන් සොයා ඈත මුහුදට ඇදේ. ධීවර ගීතයක රසය සමගින් රන්වන් වූ මුහුදු රළ රිද්මයකට ගී ගයනා වැනිය. 


රළ නැති නිදියන සුන්දර මුහුදු වෙරළ අසල එක රෑනට එක යායට රිටි පන්නා ධීවර කර්මාන්තයේ දෙනෙන ධීවරයෝ අදත් උදෙන්ම මසුන් ට ඇම දා බලා සිටිති. එය සුන්දර දසුනකි. නමුත් මෙය දියුණු කර අපේ ධීවරයන්ට සන්තානම් මෑණියන්ගේ ආශිර්වාදයෙන් අදක් හෙටක් අනාගතයක් ඇති කරන්නට මේ රටේ පාලනය කළ කිසිදු පාලකයෙක් කටයුතු කර නොමැත. සියල්ලෝම සිදු කළේ ධීවරයන්ට ඇම දීමක් පමණි. 


මාළු කෑල්ලක් දෙනවා වෙනුවට බිලී පිත්තක් දෙන්නට වගකිවයුතු ඇත්තෝ කටයුතු නොකර පාරම්බාති. රට වටේ ඇති මුහුද දෙස බලමින් අප පුවක් කෑලි මෙන් කුඩා මාළු කෑලි කන අතරේ මාළු, කරවල, උම්බලකඩ විදෙස් රටවලින් ගෙන්වන අමුතුම දිවයිනකි ශ්‍රී ලංකාව. 

 

 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත