ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් 
නිෂාම් කාරියප්පර්


 උතුර-නැගෙනහිර හැර සෙසු පළාත්වල මුස්ලිම් ජනතාවගේ ඉඩ අහුරලා


 මේ ඉදිරිපත් කරලා තියෙන අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය නිසා උතුර, නැගෙනහිර පළාත් දෙක හැරුණාම ලංකාවේ සෙසු පළාත්වල විසිරිලා ඉන්න මුස්ලිම් ජනතාවට තම නියෝජිතයන් පත් කරගැනීමට තියෙන අයිතිය පුදුම විදියට ඇහිරිලා තියෙනවා. නැත්තටම නැතිවෙලා තියෙනවා කිව්වොත් ඒක නිවැරැදියි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ විවිධ අදහස් දරන සුළු දේශපාලන පක්ෂවල නියෝජනය සහතික කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. විශේෂයෙන්ම පහළම මට්ටමින් දේශපාලන බලය බෙදා හදා ගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන පළාත් පාලන ආයතනවල සුළු පක්ෂ නියෝජනය සීමා කිරීම අනුමත කළ නොහැකියි. එහෙම වෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන ප්‍රහාරයක් හැටියටයි අපි දකින්නේ. මේ නිසා ඉදිරිපත් කරලා තියෙන මේ නව පළාත්  පාලන මැතිවරණ ක්‍රමයට අපි විරුද්ධයි.


 අපි කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන සංශෝධනයක් හරහා ලංකාවේ පවත්වන සියලුම මැතිවරණ ක්‍රමවලට බලපාන සංශෝධනයක් ඇතිකරන්න කියලා. විශේෂයෙන්ම අපි කියන්නේ ඉතාමත් සාධාරණ මැතිවරණ ක්‍රමයක් වෙත සමානුපාතික ක්‍රමය නිශ්චිත ප්‍රදේශයකට නියෝජිතයකු බැගින් තේරී පත්වෙන විදියට සංශෝධනය කරන්න කියලා. අපි මේ සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට බාර දීලා තියෙන්නේ. අපි කියන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමය රඳවා ගෙන එක ප්‍රදේශයකට ඒ ප්‍රදේශයේ ජන සංයුතිය නියෝජනය වෙන විදියට අපේක්ෂකයො තේරී පත්වෙන විදියෙ ක්‍රමයක් අවශ්‍යයි කියලා. ඒ වගේම තමයි ඒ ක්‍රමය පාර්ලිමේන්තු, පළාත් සභා පළාත් පාලන ආයතන කියන මැතිවරණ තුනටම එකසේ අදාළ විය යුතුයි. එහෙම නැතුව එක ඡන්දයකට එක විදියකුයි තව ඡන්දයකට තව විදියකුයි පාවිච්චි කරලා වැඩක් නෑ. 


අපි කියන්නේ අනුපාත ක්‍රමය මගින් පමණක් නියෝජිතයො තෝරාගත යුතුයි කියලා. මනාප ක්‍රමය නැතුව මේ අනුපාත ක්‍රමයෙන් පත්වෙන නියෝජිතයන් වගකිව යුතු නිශ්චිත ප්‍රදේශයක් වෙන් කිරීම සඳහා වන ක්‍රමවේදය තමයි අපි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවටයි ආණ්ඩුවටයි ඉදිරිපත් කළේ.

 

ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී 


නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මේ කියන විදිහට කරන්න ගියොත් ආපහු මුල ඉඳලා සීමා නිර්ණය කරන්න වෙනවා
සමානුපාතික මැතිවරණ ක්‍රමය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රමය මගින් තේරී පත්වෙන ජනතා නියෝජිතයන් ඉතාමත් අශීලාචාර තත්ත්වයට පත්වෙනවා. අනික තමයි අනුපාත ක්‍රමය යටතේ පත්වෙන ජනතා නියෝජිතයො නිශ්චිත ඡන්ද කොට්ඨාසයකට වගකියන්නත් නෑ. මේ කාරණා නිසා සාමනුපාතික ඡන්ද ක්‍රමය ඉතාම නරක ක්‍රමයක් කියලා අපි කියන්නේ නෑ. මේක හොඳ ඡන්ද ක්‍රමයක් වුණාට මනාප ක්‍රමය නිසා හැමවෙලේම ඉස්සරහට එන්නෙ යහමින් මුදල් වියදම් කරන්න හැකි අය විතරයි. 


ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි කියන සාකච්ඡාව දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා ඒක අත්හදා බැලීම පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය තුළින් පළමුව සිදුකළ යුතුයි කියන අදහස ඇතුව තමයි 2012 දී දිනේෂ්  ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් යුක්තව පාර්ලිමේන්තු කමිටුවක් පත් කළේ. අපිත් ඒ කමිටුවට අපේ යෝජනා ඉදිරිපත් කරලා පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධනවලට එකඟ වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් සුළු පක්ෂ කීපයක් ඒ වෙලාවෙ ඇතැම් කාරණාවලට විරෝධය පළ කළත් අවසාන සංශෝධනයට ඒ හැමෝගෙම එකඟතාවක් තිබුණා. ඒ සංශෝධනයෙන් යෝජනා කළේ සමානුපාතික හා කොට්ඨාස ක්‍රමයේ මිශ්‍රණයක්. කොට්ඨාස ක්‍රමය ශක්තිමත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ අනුව තමයි එදා සීයට හැත්තෑවක් කොට්ඨාස ක්‍රමය අනුවත් ඉතිරි සීයට තිහ අනුපාත ක්‍රමය අනුවත් අපේක්ෂකයො තෝරාගත යුතුයි කියන එකඟතාවට ආවෙ. ඒ වගේම තමයි යම්කිසි පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළෙ සීයට පහකට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා සුළු පක්ෂවලට අපේක්ෂකයෙක් ලැබෙන විදියටයි එදා මේ ක්‍රමය හැදුවේ. මේ එකඟතා මත තමයි මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු ආරම්භ කළේ. එහිදී බැසිල් රාජපක්ෂ තමන්ගෙ අවශ්‍යතාව පරිදි සීමා නිර්ණ කටයුතු කරන්න උත්සාහ කළා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම දුර්වල වෙන විදියට ඒ කටයුතු කරන්නයි බැසිල්ට අවශ්‍ය වුණේ. ඒකෙන් එජාපයට අසාධාරණයක් වුණ නිසා ඔවුන් ඊට විරෝධය මතු කළා. මේ සීමානිර්ණය කිරීමේ කටයුත්තට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒවා විභාග කර බලලා නිවැරදි කරන්න තමයි මේ ආණ්ඩුවෙන් අශෝක පීරිස් මහතාගේ මූලිකත්වයෙන් යුතු කමිටුව පත් කළේ.


ඒ කමිටුවෙ වාර්තාව විෂය භාර ඇමැතිවරයාට බාර දීලා තියෙනවා මේ වෙනකොට. දැන් ඒකෙ අඩුපාඩුත් නිවැරදි කරලා ගැසට් කරලා තියෙන්නෙ. සීමානිර්ණය කටයුත්ත අවසන් කළත් පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනතෙ අඩුපාඩු රැසක් තියෙනවා. ඒකෙ තියෙන නීතිමය ගැටලු 53 ක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වලා දීලා තියෙනවා. ඒවා නිවැරැදි විය යුත්තෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් මගින්. සියලු පක්ෂවලට සාධාරණ නියෝජනයක් මේ හරහා ලැබිය යුතුයි කියන මතයෙ ජාතික හෙළ උරුමය ඉන්නවා. කිසියම් දේශපාලන පක්ෂයක මතය එළියට දාන්න හෝ ඒ අයට නියෝජනයක් ලැබෙන එක වළක්වන්න හෝ කටයුතු නොකළ යුතුයි. ඒ සඳහා පුළුල් එකඟත්වයක් ඇති කරගත්ත එක තමයි දැන් මේ අවසාන අදියරට ඇවිත් තියෙන්නෙ. මෙතන තියෙන කනගාටුවට කරුණ තමයි ජවිපෙ ඇතුළු තවත් පක්ෂ ගණනක් කියන මේ අලුත් මැතිවරණ ක්‍රමයෙන් හඳුන්වල දීලා තියෙන අනුපාත ක්‍රමය පිළිගන්න බෑ කියන එක. ඒ අය කියන්නෙ හැට හතළිහ අනුපාතයට යන්න ඕන කියලා. ඒ කියන්නෙ කොට්ඨාස ක්‍රමයෙන් සීයට හැටකුත් අනුපාත ක්‍රමයෙන් සීයට හතළිහකුත් නියෝජිතයො තේරී පත්වෙන විදියෙ ක්‍රමයකට. මෙහෙම නැවත වෙනස් කරන්න ගියොත් ආපහු මුල ඉඳලා සීමා නිර්ණය කටයුතු පටන් ගන්න වෙනවා. අපිට පේන විදියට මේ අලුත් මැතිවරණ ක්‍රමය අනුව පළාත් පළාත් ආයතන මැතිවරණය පවත්වන එක වළක්වන්නයි සුළු පක්ෂ මේ යෝජනාව ගේන්නෙ.

 

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝජ් ගනේෂන්


කාරණා තුනක් නිසා අපි මේ ක්‍රමයට විරුද්ධයි


කාරණා තුනක් නිසා අපි මේ ඡන්ද ක්‍රමයට විරුද්ධයි. එක පළමුවෙනි එක තමයි මේ අලුත් ඡන්ද ක්‍රමය නිසා පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒකට අපි විරුද්ධයි. ඒ විදියට මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වුණහම  පළාත් පාලන ආයතනවල ගොඩනැගිලි ඇතුළු පහසුකම් වැඩිකරන්න වෙනවා. සභිකයො 50 ක් ඉන්න ප්‍රාදේශීය සභාවක් ගමු. මේ අලුත් ඡන්ද ක්‍රමය යටතේ ඒ සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවෙනවා. ඒ කියන්නෙ 100 ක් විතර වෙනවා. ඊළඟට එන ප්‍රශ්නෙ තමයි ඒ අයට ආසන පනවන්නෙ කොහොමද කියන එක. එක්කෝ තියෙන ගොඩනැගිලි කඩලා ඒවා ලොකු කරන්න ඕන. නැත්නම් සැසිවාරය උදේ හවස වෙන වෙනම තියන්න ඕන. එහෙමත් නැත්නම් එක මන්ත්‍රී කෙනෙක්ගෙ ඔඩොක්කුවෙ එක මන්ත්‍රී කෙනා බැගින් ඉන්දවන්න වෙනවා. මේවා කරන්න පුළුවන් දේවල් නෙවෙයිනෙ. ඒ නිසා අපි මේ අලුත් ක්‍රමයට විරුද්ධයි. අනිත් එක තමයි මේ අලුත් ක්‍රමය යටතේ මන්ත්‍රීවරු ගණන දෙගුණයකින් වැඩි වෙන එක ජනතාව මත පටවන බරක් විදියටයි අපි දකින්නෙ.


 අපි මේ අලුත් මැතිවරණ ක්‍රමයට විරුද්ධ වෙන්න බලපාන දෙවෙනි හේතුව තමයි පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වුණාට සුළු පක්ෂ නියෝජනය ඊට සාපේක්ෂව වැඩි නොවීම නිසා. සමස්තය වැඩිවෙන කොට සුළු පක්ෂවල නියෝජනයක් වැඩි වෙන්න ඕනනේ. ඒ වුණාට මෙතන වෙලා තියෙන්නෙ අපි වගේ පක්ෂ වලට තිබිච්ච නියෝජනයක් අඩුවෙලා තියෙන එක. මේකට හේතුව තමයි අලුත් මැතිවරණ ක්‍රමයෙන් සීයට හැත්තෑවක් කොට්ඨාස ක්‍රමය අනුවත් ඉතුරු සීයට තිහ අනුපාත ක්‍රමය අනුවත් නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩ සලසා තිබීම. අපි මේකට විරුද්ධ වුණහම විෂය බාර ඇමැතිවරයා කිව්වෙ පනත සම්මත කරන කොට ඒ අනුපාතය සීයට හැටක් (කොට්ඨාස ක්‍රමයෙන්) හතළිහත් (අනුපාත ක්‍රමයෙන්) පරතරයට ගේනවා කියලා. එහෙම කරනවා කියලා තමයි සුළු පක්ෂවල එකඟත්වය ලබා ගත්තෙ. නමුත් ඒක කළේ නෑ. ඊට අමතරව අලුත් සීමානිර්ණ වාර්තාවෙන් කරලා තියෙන වෙනස්කම් එක්ක අර කොට්ඨාස ක්‍රමයෙන් තෝරා ගන්න සීයට හැත්තෑව, 78 දක්වා වැඩි වෙලා තියෙනවා. අනුපාත ක්‍රමයෙන් තෝරා ගැනීමට යෝජනා කරපු සීයට තිහේ ප්‍රතිශතය 23 දක්වා අඩුවෙලා. මේක සුළු පක්ෂවලට කරන විශාල අසාධාරණයක්. අපිට මේකට එකඟ වෙන්න බෑ.


 මේ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ වැරදි පනස් ගාණක් තියෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා. ෆයිසර් මුස්තාපා විෂය බාර ඇමැතිතුමත් කියනවා මේ වැරදි ටික පාර්ලිමේන්තුව හරහා නිවැරැදි කරගත යුතුයි කියලා. නමුත් මම කිව්ව පළමු කරුණු දෙක පාර්ලිමේන්තුව මගින් වෙනස් කරන්න බෑ. ඒ කියන්නෙ සභික සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වෙන එකයි කොට්ඨාස අනුපාත ක්‍රම දෙක මගින් ජනතා නියෝජිතයන් තෝරා ගන්න සීයට හැත්තෑව, තිහ අනුපාතය හැට-හතළිහ කරන එකයි පාර්ලිමේන්තුවෙන් වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේ ගැටලු විසඳන්නෙ නැතුව ඡන්දයකට යන්න ඕන නම් මේ අලුත් පනත පැත්තකට දාලා පරණ ක්‍රමය අනුව ඡන්දයකට යමු කියලා. අපි ඡන්දයකට ලෑස්තියි. ඒ නිසා කාටවත් කියන්න බෑ අපි මේ කරන්නෙ ඡන්දය කල් දමා ගැනීමේ උපායක් කියලා. අපිත් කැමැතියි ඉක්මනට ඡන්දය තියනවට. ඡන්දය තිබ්බ පමණින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නෙ නැ. සාධාරණ නියෝජන ක්‍රමයක් මගින් ඡන්දය පැවැත්වුවොත් විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නෙ.

 

අලුත් ඡන්ද ක්‍රමයේ පරස්පරතා බොහොමයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී 
අනුර කුමාර දිසානායක


මේ සම්බන්ධයෙන් අප දකින ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා. එකක් තමයි සීමානිර්ණයේ ගැටලු. දෙවැනි කරුණ වෙන්නේ ඡන්ද ක්‍රමයේ ඇති ගැටලු සහගත බව. සීමා නිර්ණය සම්බන්ධව ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළත් මැතිවරණ ක්‍රමයේ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් අනුගමනය කරන්නේ නැහැ.


 සීමානිර්ණයෙන් පසුව පළාත් පාලන සංස්ථාපනය කිරීමේ ගැසට් එකක් ප්‍රකාශයට පත්කළ යුතුව තිබෙනවා. කොට්ඨාස මත පදනම්ව සභාවකට අදාළ වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගැසට් කළ යුතුව තිබෙන්නේ එම කරුණට අදාළවයි. ඒ වගේම 25% ක් කාන්තා නියෝජනයක් පිළිබඳවත් ආණ්ඩුව කරුණු දක්වා තිබෙනවා. ඒ නිසා කාන්තා නියෝජනය සහිතව මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගැසට් කළ යුතුව තිබෙනවා. නමුත් සකස් කොට තිබෙන නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට අනුව මන්ත්‍රීවරුන් ප්‍රමාණය නිශ්චිත නැහැ. උදාහරණයක් හැටියට කොට්ඨාස 30 ක් තිබෙන ප්‍රාදේශීය සභාවක ඉන් 30% ක් එනම් මන්ත්‍රීවරු 09 ක් සාමනුපාතික ක්‍රමයට පත්කළ යුතුව තිබෙනවා. එම මන්ත්‍රීධුර 09 ලැබෙන්නේ දිනන පක්ෂයේ ඡන්ද ප්‍රමාණය ඉවත්කොට  පරදින ලද පක්ෂවල ඡන්ද ප්‍රමාණය 5% ට අඩු නම් එම ඡන්දත් ඉවත්කොට ඉතිරිවන ඡන්ද ප්‍රමාණය 30% හෝ ඊට වඩා වැඩි නම් එම ඡන්ද ප්‍රමාණය මතයි. එම ඡන්ද ප්‍රමාණය 30% ට වඩා අඩුනම් තිබෙන ඡන්ද ප්‍රමානය මත මන්ත්‍රීවරු ප්‍රමාණය තීරණය වෙනවා. එම ඡන්ද ප්‍රමාණය 20% නම් (කොට්ඨාස 30 ක් තිබෙන සභාවකදී) සමානුපාතික මන්ත්‍රීවරුන් ප්‍රමාණය 06 යි. එනම් මන්ත්‍රීවරුන් ප්‍රමාණය ඡන්ද ප්‍රමාණය මත දෝලනය වෙනවා. 25% ක කාන්තා නියෝජනයකුත් ඇතුළු වෙනවා නම් සභාවේ මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගණනය කිරීම ඒ අනුව කළ යුතු වෙනවා. එනම් සභාවේ මන්ත්‍රීවරු නිශ්චිතව සඳහන් කළ නොහැකියි. එම නිසාම සභාවක මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගැසට් කළ නොහැකියි. නමුත් රටේ පවතින ක්‍රමයට අනුව මැතිවරණයකට පෙර මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගැසට් කළ යුතුව තිබෙනවා. නමුත් මෙම ඡන්ද ක්‍රමයේ ගැටලුව නිසා එය කළ නොහැකියි.


ඒ වගේම මෙම නව ඡන්ද ක්‍රමය අනුව ඡන්දය පැවැත්වීම සඳහා සංශෝධන 53 ක් ඇතුළත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශ කොට තිබුණා. එම සංශෝධන නොමැතිව ඡන්දය පැවැත්විය නොහැකියි. එම සංශෝධන ඇතුළත් කරනවා නම් මුලින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට යවා අනතුරුව පළාත් පාලන අධීක්ෂණ කාරක සභාව සම්මත කිරීමෙන් පසුව නැවතත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙම ක්‍රියාවලියට වැළැක්විය නොහැකි ලෙස විශාල කාලයක් ගතවෙනවා. නව කොට්ඨාස නිර්ණ කොමිසමට අනුව මුළු කොට්ඨාස සංඛ්‍යාව 5002 ක් වෙනවා. ඉන් 30% ක් සමානුපාතික නම් මන්ත්‍රීවරුන් 1501 ක් පත්කළ යුතුයි. 25% කාන්තා නියෝජනයක් ඇතිවීමට මන්ත්‍රීවරියන් 2168 ක් පත්කළ යුතුයි. ඒ අනුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8671 ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව දැන් සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට අමතර මන්ත්‍රීවරුන් 3423 කින් පළාත් පාලන නියෝජිතයන් ලෙස පත්වීමට නියමිතයි. එනම් 60% ක ඉහළ යාමක්. මේ වැඩිවීම නිසා සියලුම පළාත් පාලන ආයතනවල සභා ගර්භයේ ඉඩ මදි වෙනවා. ගොඩනැගිලි කඩලා නව ගොඩනැගිලි හදන්න වෙනවා. මෙය විශාල ගැටලුවක්.


ඒ වගේම අපේ රටේ බහු ආසන තිබෙනවා. ආසනයේ සිංහල ජන ප්‍රමාණය වැඩි නම් එම ආසනය නියෝජනය කිරීමට සිංහල මන්ත්‍රීවරයෙක් පත්වෙනවා. මුස්ලිම් ජන සංඛ්‍යාව වැඩි නම් මුස්ලිම් මන්ත්‍රීවරයෙක් පත්වෙනවා. නමුත් මෙම නව මැතිවරණ ක්‍රමයට අනුව බහු ආසන ක්‍රමයේ මුඛ්‍ය පරමාර්ථය බිඳ වැටෙනවා. ඒ අනුව බහු ආසනවලටත් බහුජන කොට්ඨාසය වෙනුවට වෙනත් ජන කොට්ඨාසයක් නියෝජිනය කරන මන්ත්‍රීවරයෙක් පත්වෙන්න පුළුවන්. එය සංශෝධනය විය යුතුයි.


ඒ වගේම මෙම ක්‍රමයට අනුව සමානුපාතිකව පත්වෙනවා යැයි කියන ප්‍රමාණය ගැටලු සහගතයි. කොට්ඨාස ප්‍රමාණයෙන් 30% ක් සමානුපාතිකව පත් වුණත් එම මන්ත්‍රීවරුන් ප්‍රමාණය සභාවෙන් 23% යි. ඒ අනුව කොට්ඨාස ක්‍රමයෙන් 77% ක් පත්වෙනවා. යම් පළාත් පාලන ආයතනයක් 51% ක ඡන්ද ප්‍රමාණයකින් දිනන පක්ෂයකට මන්ත්‍රීවරුන් මුළු සභාවෙන් 77% ක් ලැබෙනවා. 49% ක් ලබාගෙන පරාජය වන මුළු කණ්ඩායමට ලැබෙන්නේ මුළු සභාවෙන් 23% ක මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් පමණයි. ඒ නිසා එය අසාධාරණයි. 40% ක් ඡන්ද ලබාගෙන දිනන පක්ෂයකට වුවත් (ඡන්ද ප්‍රමාණය තුනට බෙදීමෙන් එසේ විය හැක.) සභාවෙන් 77% ක් මන්ත්‍රීවරුන් ලබාගත හැක. ලෝකයේ කොහේවත් මෙවැනි ඡන්ද ක්‍රමයක් නැහැ. මහින්ද රාජපක්ෂලාගේ බල වුවමනාව මතම බලහත්කාරය පාවිච්චි කරලා සකස් කරපු මැතිවරණ ක්‍රමයක් පමණයි. අපේ රටේ පාර්ලිමේන්තුවට ඒක ඡන්ද ක්‍රමයක්ද පළාත් සභාවට තවත් ඡන්ද ක්‍රමයක්ද පළාත් පාලන ආයතනවලට තවත් ඡන්ද ක්‍රමයක්ද වශයෙන් ඡන්ද පැවැත්විය යුතු නැහැ. එය විකාර සහගත දෙයක්. ඒ නිසා මෙම ඡන්ද ක්‍රමයේ විකෘති තත්ත්වය ඡන්ද පැවැත්වීමට බාධාවක් වී තිබෙනවා.


 සාමාන්‍ය පිළිගත් ක්‍රමයට අනුව නම් සමානුපාතික ප්‍රමානය 40% ක් වත් විය යුතුයි. 60%-40% අනුපාතයට බෙදුණොත් නව මැතිවරණ ක්‍රමයට  අනුව මුළු මන්ත්‍රීවරුන් ප්‍රමාණය 11,000 දක්වා පමණ ඉහළ යා හැකියි. අපේ රටේ පළාත් පාලන මන්ත්‍රීවරු තවදුරටත් වැඩිකළ යුතුද? නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ සාකච්ඡාව ඇතුළේ නව ඡන්ද ක්‍රමයක් සකස් කිරීමට මේ වන විට 90% කගේ පමණ එකඟතාවක් තිබෙනවා. ඡන්ද පත්‍රිකා එකක්ද? දෙකක්ද යන්නත්, දිනන පක්ෂයට බෝනස් කීයද යන්නත් ඡන්ද ගණන් කරන්නේ ජාතික වශයෙන්ද කොට්ඨාස ක්‍රමයටද යන්නත් කරුණු 03 පිළිබඳව පමණක් මේ වන විට එකඟතාවකට ඒමට බැරිවෙලා තිබෙනවා. නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුන සඳහාම භාවිත කළ යුතුව තිබෙනවා.
කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් මේ අවස්ථාවට පමණක් පැරණි ඡන්ද ක්‍රමය වලංගු වන පරිදි සංශෝධනයක් ගෙන ආ යුතුයි. නැතිනම් මෙම පළාත් පාලන මැතිවරණය කවදා පැවැත්වේදැයි කිසිවෙකුට පැවසිය නොහැකියි. මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ වුවමනාවක් තිබෙනවාද නැද්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි නමුත් මෙම තාක්ෂණික කරුණු බාධාවක් කරගෙන ආණ්ඩුවට මැතිවරණය කල් දැමීමට යොදාගන්න පුළුවන්ද?

සටහන උපුල් වික්‍රමසිංහ