(හර්ෂණ තුෂාර සිල්වා)

‘‘රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොකර එලෙසම තබා ගනිමින් බලය බෙදීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.

විධායක ජනාධිපති ධුරය, මැතිවරණ ක‍්‍රමය, පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ක‍්‍රමවේදය, ස්ථාවර වූත් ශක්තිමත් වූත් පාර්ලිමේන්තුව සහ බලය බෙදීම යන කරුණු සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද, අග‍්‍රාමාත්‍යවරයා කීවේය.

ඉහත කරුණු රටේ අනාගතයට ඉතාම වැදගත් බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී දිගින් දිගටම සාකච්ඡා පවත්වන්නේ යැයි ද, කීවේය.       

කොළඹ - අරලියගහ මන්දිරයේ පැවැති දහහත්වැනි ඩඞ්ලි සේනානායක අනුස්මරණ දේශනයට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ අදහස් පළ කළේය. 

විධායක ජනාධිපති ධුරය පසුගිය වසර නවය තුළ ශක්තිමත් කිරීම නිසා පාර්ලිමේන්තුව අගාධයකට වැටුණු බවත්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීමෙන් පාර්ලිමේන්තුව බැහැර වූ බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

‘‘ඩඞ්ලි සේනානායක 1977 යුගයට පෙර සිටි දේශපාලකයකු වනවා. දැන් පවතින දේශපාලන ක‍්‍රමවේදය, එසේත් නැතිනම් සමාජ වෙළෙඳපොළ ක‍්‍රමයට පෙර මෙරට සිටි දේශපාලකයකු ද ලෙස හැඳින්විය හැකියි.

ඩඞ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තු ක‍්‍රමවේදය, පාර්ලිමේන්තු නායකත්වය කෙරෙහි විශ්වාසය තැබූ නායකයකු වූවා. විපක්ෂ නායක ලෙස සිටියදීත්, අග‍්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ පසුත් පාර්ලිමේන්තුවේදී මා ඔහු දැක තිබෙනවා. ඒ හැට දශකයේදීයි.

ඩඞ්ලි සේනානායක මහතා බොහෝ කාලයක් දේශපාලනයේ රැඳී සිටියා. ඔහු දේශපාලනයට එක්වූයේ 1930 දශකයේදීයි. ඩඩ්ලි සේනානායක මහතා 1952 සිට 1953 වෙන තෙක් කෙටි කාලයකට අගමැතිධුරය දැරුවා. අනතුරුව ඞී.එස් සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඩඞ්ලි සේනානායක 1952 දී අගමැති ධුරයට පත් වුණා.

වර්ෂ 1953 පැවැති මහ මැතිවරණයේදී ඔහු ජය ලබා නැවත අගමැති ධුරයට පත් වුණා. නායකත්වයේ වෙනසක් විය යුතු බව සඳහන් කරමින් ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ඔහු වසර කිහිපයක් දේශපාලනයෙන් ඉවත් වී සිටියා.

වර්ෂ 1956 පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ ආසන 8 ක් පමණයි. ඒ අවස්ථාවේදී ඩඞ්ලි සේනානායක මහතා නැවත දේශපාලනයට පිවිසියා. ජෝන් කොතලාවල මහතා නායකත්වයෙන් ඉවත් වුණා.

ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය තුළ විප්ලවයක් ඇති කළේ ඒ සමයේදීය. ඩඩ්ලි සේනානායක මහතා පක්ෂයේ නායකත්වයට පත් විය යුතු බව හැමෝගේම අදහස වුණා. වසර 1960 මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායක මහතා නැවත අගමැති ධුරයට පත් වුණා. ඩඞ්ලි සේනානායක මහතා වසර කිහිපයක් පිටත සිටිමින් පක්ෂය මෙහෙය වූවා.

වර්ෂ 1952 දී එක්සත් ජාතික පක්ෂය තුනෙන් දෙකක ජයක් ලැබීමේ පටන් එක්සත් ජාතික පක්ෂය ආ ගමනේදී ලංකාවේ දේශපාලනය බොහෝ වෙනස් වී තිබෙනවා. පනස් දෙකෙහි එක්සත් ජාතික පක්ෂයත් 1965 එක්සත් ජාතික පක්ෂයත් 1977 එක්සත් ජාතික පක්ෂයත් හැමවිටම වෙනස් වූවා.

ලංකාවේ දේශපාලනය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයත් වෙනස් වුණා. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දර්ශනය සකස් වීමට ඩඞ්ලි සේනානායක මහතාත් ජේ.ආර් ජයවර්ධන මහතාත්, විශාල බලපෑමක් කළා. ජර්මානු ආකෘතියට යමින් කළුතර ප‍්‍රකාශනය ඉදිරිපත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී - සමාජවාදී ක‍්‍රමවේදය හඳුන්වා දීමට මූලික වූයේ ඔවුන් දෙදෙනායි.

කාලයත් සමග සමහරුන් එයට ධනවාදය කීවා. සමහරුන් එය සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යනුවෙන් හැඳින්වූවා. එය මූලිකව ජර්මනියේ වෙළෙඳපොළ ආර්ථිකය, සුබ සාධන රාජ්‍යය හා පාර්ලිමේන්තුවාදයයි. එක්සත් ජාතික පක්ෂය යාවත් කාලීන කරන ලද්දේ එයයි. එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන දේශපාලන මතවාදයේ ආරම්භය එයයි. එහි ආරම්භය වූයේ 1965 වසරේදීය. 

මට ඩඞ්ලි සේනානායක මහතා මුණ ගැසී තිබෙනවා. මා දේශපාලනයට එක් වූයේ 70 දශකයේදීයි. එහෙත් මා හැටේ දශකයේ පමණ සිට පාර්ලිමේන්තුවට ගොස් එහි වෙන දේවල් බලා සිටියා. ඩඞ්ලි සේනානායක මහතා අපේ නිවසටත් පැමිණියා.

විපක්ෂ නායකවරයා ලෙස සිටියදී මෙන්ම අගමැතිවරයා ලෙස සිටියදී පවා ඔහු ඔහුගේ මෝටර් රථය පැදවූවා. ඔහුට ජගුවර් සහ ට‍්‍රම්ප් ෆෙලර් රථ දෙකක් තිබුණා. මගේ මවුපියන් හමුවෙන්න ඩඞ්ලි සේනානායක මහතා අපේ නිවසට පැමිණියා.

හැටේ සිට හැට පහ දක්වා ඩඞ්ලි සේනානායක මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා. ඒ කාලයේදී අගමැතිවරයා නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ සිටියේ නැහැ. බණ්ඩාරනායක මහත්මිය සිටියේ සෙනට් මණ්ඩලයේ. එහෙත් කි‍්‍රයාකාරකම් වූයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේයි. ඉන් වාසිය අත් වුණේ විපක්ෂයටයි. අණ පනත්වලදී පවා ජයග‍්‍රහණය හිමි වූයේ විපක්ෂයටයි. බොහෝ අවස්ථාවලදී ආණ්ඩුව පරාජයට පත් වුණා. ලංකා සම සමාජය සමඟ සම්බන්ධ වුණත් එදා ආණ්ඩුව ශක්තිමත් වුණේ නැහැ.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඒ කාලයේදී ලොකු කතා බහක් ඇති වුණා. ආණ්ඩුවේ ඇතැම් සීමාකාරී පනත් සම්මත කර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ කාලයේදී ආණ්ඩුවට එරෙහිව ලොකු විරෝධයක් මතු වුණා.

එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගෙන් පසු භික්ෂූන් වහන්සේලා එක් අරමුණක් වෙනුවෙන් එකට එක්වූවා. පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩුව එක් ඡන්දයකින් පරාජයට පත් වුණා. ඉන්පසු පැවැති මහ මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායක මහතා ජයග‍්‍රහණය කළා.

ඩඞ්ලි සේනානායක දේශපාලනයේ සිටි සමයේදී ජේ.ආර් ජයවර්ධන,  එන්.එම් පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, එස්.ඒ. වික‍්‍රමසිංහ, පීටර් කෙනමන්, චෙල්වනායගම්, වෛද්‍ය නාගනාදනන්, ජී.ජී. පොන්නම්බලම්, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ආදී සුවිශේෂී චරිත පාර්ලිමේන්තුවේ සිටියා. පිලිප් ගුණවර්ධන සහ ඔහුගේ සහෝදර රොබට් ගුණවර්ධන වැන්නන් එහි සිටියා. ටී.බී. ඉලංගරත්න තවත් හොඳ කථිකයකු වූවා. ඒ කාලයේ ඉතා සුවිශේෂී කථිකයන් රැසක් සිටියා. ලංකාවේ සුවිශේෂී නායකයන් එහි සිටියා. පක්ෂ දෙකෙහිම සුවිශේෂී පුද්ගලයන් සිටියා.

ඞී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක සහ ජෝන් කොතලාවල යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ දැක ගන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. මා පාර්ලිමේන්තුවට ගොස් විවාද බලාගෙන සිටියේ හැටේ දශකයේ සිටයි. ඒ කාලය ඉතාම රසවත් බව කිව යුතුයි.

ඩඞ්ලි සේනානායක මහතා සම්පූර්ණ ධුර කාලය දැරුවේ 1960 වසරේ සිට 1970 වසර දක්වායි.  ඊට පෙර සම්පූර්ණ ධුර කාලය අගමැති ධුරය දැරීමට ඩඞ්ලි සේනානායක මහතාට අවස්ථාව ලැබුණේ නැහැ. වසර 1965 දී ෆෙඩරල් පක්ෂයේ සහාය හිමි වුණා. නැවත 1970 දී අප පරාජයට පත් වුණා. අප නැවත ගොඩ ආවේ 1977 දීයි.

මා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණේ 1972 වසරේදීයි. ශිෂ්‍ය නායකයකු ලෙස ද මට ඩඞ්ලි සේනානායක මහතා මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. ඩඞ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තු ක‍්‍රමවේදය කෙරෙහි දැඩි ලෙස විශ්වාසය තැබුවා. ඒ සමයේදී තමයි, කැබිනට් ආණ්ඩුව පත් වුණේ. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය මත පදනම් වුණා.

එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය සහිතව ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරය සඳහා මූලික යෝජනාව ඉදිරිපත් කළා. ඩඞ්ලි සේනානායක මහතා විධායක ජනාධිපති ධුරය ප‍්‍රතික්ෂේප කළා. ඔහු ඒ අවස්ථාවේදී තිබූ ක‍්‍රමය අනුමත කළා.

හැත්තෑ දෙකෙහි ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය හා අගමැති ධුරය සම්බන්ධයෙන් ඩඞ්ලි සේනානායක මහතා ප‍්‍රශ්න කළා. අගමැතිවරයාට ජනාධිපතිවරයා පත් කිරීමටත්, ඉවත් කිරීමටත් හැකියාව ලැබුණා. නියාමන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න ඇති වුණා. මැතිවරණය නැතිව නායකයෙකු පත් කරන්න අවස්ථාවක් නැතිව ගියා. ජනාධිපතිවරයාට, අගමැතිවරයකු පත් කරන්න විදියක් තිබුණේ නැහැ. හැත්තෑ හතේ මැතිවරණයේදී එය වෙනස් වුණා.

කෙසේ නමුත් හැත්තෑ හතේ ද ලැබුණු හයෙන් පහක ජන වරමත් සමඟ නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කරනු ලැබුවා. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරය සුවිශේෂී අග‍්‍රාමාත්‍ය ධුරයක් යයි විශ්වාස කළා. පාර්ලිමේන්තුවේදී එක් අගමැතිවරයකු ලෙසත්, ජනාධිපති නිවසේ තවත් අගමැතිවරයකුත් යන අදහසක් ද ප‍්‍රකාශ වුණා.  ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එය යම් පමණක ස්ථාවරත්වයක් ගෙන ආවා.

විධායක ජනාධිපති ධුරය බි‍්‍රතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමවේදය, එහි ගුණාංග හා මූලධර්ම හා බැඳී තිබුණා. ජේ.ආර්. ජයවර්ධන හා පේ‍්‍රමදාස යන මහත්වරුන් ඒ ගුණාංග හා මූලධර්මවලින් බැඳී සිටියා. එහෙත් කාලයක් යද්දි වෙස්ට්මින්ස්ටර් මූලධර්ම අමතක කර දැමුවා.

චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය යටතේ මා අගමැතිධුරය දරන සමය වන තෙක් ජනාධිපති ධුරයේ බලතල වෙනසක් වුණේ නැහැ. වෙස්ට්මින්ස්ටර් මූලධර්ම අමතක කර දැමුවත් විධායක ජනාධිපති ධුරයේ වෙනසක් වුණේ නැහැ.

එහෙත් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කළා. බලතල වැඩි කළා.   පාර්ලිමේන්තුව ගණන් ගත්තේ නැහැ. රාජ්‍ය මුදල් පිළිබඳ වග කිව්වේ නැහැ. පාර්ලිමේන්තුවට වග කිව්වේ නැහැ. ඒ නිසා රට දැවැන්ත ණය උගුලක හිරවුණා. පාර්ලිමේන්තුවට කිසිදු ගෞරවයක් තිබුණේ නැහැ. පැවැති ආණ්ඩුව පාර්ලිමේන්තුව පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වුයේද නැහැ.

මේ නිසා වසර 2020 වනවිට අපට ගෙවන්න තිබෙන ණය කන්දරාව ටි‍්‍රලියන 4.2 ක් වූවා. රාජ්‍ය ණය ඉහළ ගියා. ණය සේවා පිරිවැය ඉහළ ගියා. රාජ්‍ය මූල්‍ය පාලනය පැවැතියේ නමට පමණයි. රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තු පාලනයෙන් තොර වීම ඊට ප‍්‍රධාන හේතුවයි.

අගවිනිසුරුවරිය ඉවත් කළා. නියමිත ක‍්‍රමවේදයෙන් තොරවයි ඇයව ඉවත් කළේ. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වු දේ අප දන්නවා. මේ සියල්ලම ඔබද දන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුව ස්ථාපිත කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ පාලනයට යටත් ආණ්ඩු ස්ථාපිත කරන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් යෝජනා තිබෙනවා. සාකච්ඡා පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තා ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනවා.  

විධායක ජනාධිපති ධුරයට හිමි වැඩිපුර බලය සම්බන්ධයෙන්ද සාකච්ඡා පවතිනවා. ඒ නිසාම මේ සම්බන්ධයෙන් හැමෝම කතා කරනවා. ඒ සම්බන්ධයෙන් සියලූ දෙනා අවධානය යොමු කරනවා. නව ව්‍යවස්ථාව අවශ්‍යමයි. ඊට පෙර අප 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. එහිදී විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කළා. එහි බලතල තවදුරටත් අඩු කළ යුතුයි.

පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කළ යුතුද? ව්‍යවස්ථා මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. අනු කමිටු හයක් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ඒ වාර්තා වලින් ආවරණය නොවූ කරුණු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. අවධානය යොමු කළ යුතුයි. සියල්ලට පසු අප අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

අප සැලකිල්ලක් දක්වන එක් කරුණක් වන්නේ විධායක ජනාධිපති ධුරයයි. පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ධුරයක් සහ ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතුයි. පාර්ලිමේන්තුවේ බලය වැඩි කළ යුතුයි. පාර්ලිමේන්තුවේ පාලනය වැඩි කළ යුතුයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව ඇතැම් පක්ෂ කියනවා. තවත් පක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බව කියනවා.

සෝල්බරි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැති ක‍්‍රමවේදයට යන්න බැරි ද කියා ඇතැම් අය අහනවා. ඒ කාලයේ පැවැති ක‍්‍රමවේදය වෙනස් වූවා. ඒ නිසා අප අලූත් ක‍්‍රමවේද දෙස බැලිය යුතුයි.

අපේ ව්‍යවස්ථාවේ බලය බෙදීම ගැන සඳහන්ව තිබෙනවා. රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොවන අයුරින් බලය බෙදීම ගැන අප අවධානය යොමු කරනවා. සියල්ල ගැන අප සාකච්ඡා කරනවා. මේ සම්බන්ධයෙන් සියලූ පාර්ශවවල අවධානය අද යොමු වෙලා.

රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොවන අයුරින්, එය වෙනස් නොකරමින් බලය බෙදිය යුතුයි. රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොකර උපරිම අයුරින් බලය බෙදන්න අප කටයුතු කරනවා. එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක හා ඩඞ්ලි සේනානායක යන මහත්වරුන් අගමැති ධුරය දරද්දි සම්පූර්ණ බලය පැවැතියේ කොළඹ-ආණ්ඩුව යටතේයි. රටේ අනෙකුත් සියලූ ආයතන ඔවුන්ගේ නියෝග කි‍්‍රයාත්මක කිරීම පමණයි සිදු වූයේ.

එහෙත් අද බලය බෙදී ගිහිල්ලා. ඒ නිසා අද බලය බෙදන්නේ කොහොමද? ඒ වගේම මධ්‍යම ආණ්ඩුව සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය කළ යුතුයි. ඒ අතරේ සම්බන්ධය මොකක්ද කියා තීරණය කළ යුතුයි.  බලය බෙදී යෑම ජාතික ප‍්‍රතිපත්තිවලදී තීරණය වෙන්නේ කොහොමද කියන දේ සාකච්ඡා කළ යුතුයි. මේ දේවල් ඉතා වැදගත් වනවා.

පාර්ලිමේන්තුව ස්ථාවර කිරීම අනෙක් කරුණයි. එය තීරණය වන්නේ ‘ෆස්ට් පාස්ට් ද පෝස්ට්’ ක‍්‍රමවේදයටයි. එනම් කේවල  සහ සමානුපාතික ක‍්‍රමයයි. එසේ නැතහොත් වැඩිම ඡුන්ද ගත් අය තේරීමයි. එසේ නැතිව පාර්ලිමේන්තුව ස්ථාවර කරන්න බැහැ.

ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය ප‍්‍රවර්ධනය කළ එක් හේතුවක් වූයේ විධායක ජනාධිපතිවරයා ඍජුවම තේරී පත්වීමයි. ඒ ඔස්සේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව මත පදනම් වීමයි. පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් තේරී පත් වුණේ සමානුපාතික ක‍්‍රමවේදයටයි. බහුතරය දිනා ගැනීම අවශ්‍යතාවක් වුණා. අවාසනාවකට අපට මෙවර බහුතර බලය ලැබුණේ නැහැ.

බහුතරයේදී ජයග‍්‍රාහී පක්ෂයට ප‍්‍රසාද ආසනයක් ලැබෙනවා. සමානුපාතික ක‍්‍රමය නියෝජනය වන සහ බහුතරය නැති පක්ෂයක් ආණ්ඩු පිහිටුවන ක‍්‍රමවේද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. ජර්මානු ක‍්‍රමවේදය, නවසීලන්ත ක‍්‍රමවේදය, ප‍්‍රසාද ආසන ආදී සම්බන්ධයෙන් අප අවධානය යොමු කර තිබෙනවා. සෝල්බරි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනවා.

පනස් හයේ සහ එක් දහස් නවසිය හැත්තෑවේ මැතිවරණ, ලංකාවේ ප‍්‍රබලතම පක්ෂ පරාජයට පත්වෙන අවස්ථා වගේම ප‍්‍රධාන පක්ෂ දෙකෙන් බැහැර පක්ෂ ඉදිරියට පැමිණෙන අවස්ථා පවතිනවා. මේ කරුණ ගැනද අප අවධානය යොමු කළා. මේ මොනයම් ක‍්‍රමයකින් වුවත් පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුතුයි. ඒ නිසා සුදුසුම ක‍්‍රමවේදය දෙස බැලිය යුතුයි.

ඉන් අනතුරුව විධායක ජනාධිපති ධුරය දෙස බැලිය යුතුයි. අපට අවශ්‍ය වන්නේ කොයි ආකාරයේ ජනාධිපති ක‍්‍රමවේදයක් ද? අපට කොයි ආකාරයේ ආණ්ඩුවක් ද තිබුණේ? ජනාධිපතිවරයාගේ බලතල මොනවාද? දහ නව වැනි සංශෝධනයෙන් විධායක බලතල අඩු කළාද? විධායක ජනාධිපති ධුරයේ බලතල  අඩු කරන්නේ කොහොමද? එහෙම නැතිනම් ශක්තිමත් ජනාධිපතිවරයකු සහිත පාර්ලිමේන්තු ක‍්‍රමවේදය අවශ්‍යද? එසේත් නැතිනම් අවශ්‍ය වන්නේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක වන 1972 පැවැති ජනාධිපති ධුරයක් ද?

ඒ වගේම කැබිනට් මණ්ඩලය ගැනත් සිතමු. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා කවු ද? පාර්ලිමේන්තුවට වග කියන්නේ කවුද? මේ දේවල් සම්බන්ධයෙන් අප සාකච්ඡා කරනවා. කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුවේ බලතල ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු බව සිහියේ තබා ගන්න.

අප පසුගිය වසර දෙකක කාලයේදී පාර්ලිමේන්තුව ශක්තිමත් කළා. එක්සත් රාජධානිය අනෙක් රටවල් දෙස බලන්න. රාජ්‍ය මූල්‍ය, අයවැය, ආදිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගකීමෙන් බැහැර නොකළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල, පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල ආදී දේවල් සම්බන්ධයෙන් අප සාකච්ඡා කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මහජන විවාදයක් පැවැත්විය යුතුයි.

වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමවේදය, ජර්මානු ක‍්‍රමවේදය, මේ සියල්ල සලකා බැලිය යුතුයි. අගමැතිවරයා ඍජුව පත් කිරීම ගැන ද සාකච්ඡා කරනවා. මෙවැනි වැදගත් කරුණු රැුසක් සම්බන්ධයෙන් අප සාකච්ඡා කරනවා. මේවා ඉතා වැදගත් වනවා. ජනාධිපතිවරයාගේ කාර්ය භාරය, අගමැතිවරයාගේ කාර්ය භාරය, කැබිනට් මණ්ඩලය, පළාත් සභාවල බලතල මේ දේවල් අපට මඟ හරින්න බැහැ.

අප රටේ වෙනසක් කළ යුතුයි. දැනට තිබෙන ක‍්‍රමයෙන් අපට ඉදිරියට යන්න බැහැ. අනාගතය අප තීරණය කළ යුතුයි. ජනතාවට වෙනසක් අවශ්‍යයි. ඒ විප්ලවකාරී වෙනස කළ යුතුයි. එය කළ හැකි බව මා විශ්වාස කරනවා. රටේ බහුතරයකට වෙනස අවශ්‍යයි.

රටේ මිනිස්සු පීඩනයෙන් ජීවත් වෙන්න කැමැති නැහැ. සුළු ආගම් මෙන්ම, බෞද්ධාගම ද ආරක්ෂා විය යුතුයි. එක්වරක් මල්වතු පාර්ශවයට ආණ්ඩුවෙන් දැඩි පීඩනයක් එල්ල වුණා. එසේ නොවිය යුතුයි. බුද්ධාගමේ එක් පාර්ශවයකට පමණක් නොව සමස්ත බුදු දහමටම නිදහස තිබිය යුතුයි.  ඒ නිසා අනෙකුත් ආගම් පමණක් නොව බුද්ධාගම ද ආරක්ෂා විය යුතුයි.

සෑම ආගමක්ම ඇදහීමට අයිතිය සහ නිදහස තිබිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, යුක්තිය සහ සහයෝගීත්වය ස්ථාපිත කළ යුතුයි යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. ඩඞ්ලි සේනානායක පදනමේ සභාපති බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු කටයුතු අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන්, සහ පදනමේ සාමාජික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුද අදහස් දැක්වූහ.

කතානායක කරු ජයසූරිය, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, නගර සැලැසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික ඒකබද්ධතා සහ ප‍්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධානී රෝසි සේනානායක  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.