ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ 

  • කරන්න ගිය දේවලින් එතරම් ප්‍රයෝජනයක් වුණා කියලා මමත් හිතන්නේ නෑ
  • දැනට නම් මම ඉන්නේ මෙවර ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියන ස්ථාවරයේ
  • 2015දී අපි භාරදුන්න භාණ්ඩාගාරය නෙවෙයි අපිට ආයේ ලැබුණේ 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ සිටියේය. ඔහු හදිසියේම ඇමෙරිකාවට ගියේ ඇයි? මත බේදයක් නිසාද? ආණ්ඩුවේ පැවැත්ම කෙබඳුද? මහ මැතිවරණයේ බලාපොරොත්තු මොනවාද? මේ ඒ ගැන විමසමින් ඒ මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

 ප්‍රශ්නය - ඔබ මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ හිටියේ. රටින් ගියේ ඉන්න බැරි තරමට ප්‍රශ්න උග්‍ර වෙච්ච නිසාද? 


පිළිතුර - නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මගෙන් ගිය ආණ්ඩුව ගත්ත ලොකුම පළිය තමයි මගෙන් මගේ දරුවොයි නෝනයි වෙන් කරපු එක මට අධිකරණයෙන් යම් සහනයක් දුන්නා දෙවරක් ගිහින් එන්න. ඒත් එහෙම ගියාමත් මට කරදර කළා. නමුත් මේ පාර හිතේ සැහැල්ලුවෙන් යන්න අවස්ථාව ලැබුණා. මාස දෙකකට ආසන්න කාලයක් මම මේපාර හිටියා. වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. හිතේ සතුටෙන් හිටියා. පහුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව මට දුන්න ලොකුම තෑග්ග මේක තමයි කියලයි මම හිතන්නේ. 


 ප්‍රශ්නය - ඇමෙරිකන් පුරවැසි භාවය ඉවත් කර ගැනීමක් ඒ ගිය ගමනේ එක් අරමුණක්ද? 


පිළිතුර - ඒක අයින් කර ගන්න එහෙම යන්නම අවශ්‍යම නෑ. මෙහෙ තානාපති කාර්යාලයට තමයි ඒ ලියකියවිලි බාර දෙන්න ඕනෑ. එහෙදි අයින් කර ගන්න බෑ. ඉන්න රටේදී තමයි ඒ රාජකාරී කටයුතු කරගන්න ඕනෑ. 

 

මාස දෙකට ආසන්න කාලය තුළ මම ලංකාවේ නොහිටියට මම කරපු සමීක්ෂණවලින් පේනවා අපේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය. හැම ගමකම තිබුණට වඩා ලොකු වර්ධනයක් තමයි පෙන්නුම් කරන්නේ.


 ප්‍රශ්නය - ඔබ දැනටමත් ඒ පියවර අරගෙන? මොකද ඡන්දයට බොහොම කිට්ටුයි? 


පිළිතුර - අදට දැනට තියෙන තත්ත්වය අනුව මම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නෑ. ඒක කාලය අනුව තීන්දු වෙයි. දැනටනම් ඉන්නේ ඡන්දෙට ඉල්ලන්නේ නෑ කියන ස්ථාවරයෙයි. 


 ප්‍රශ්නය- ඔබට අනුව පාර්ලිමේන්තුව කවදා විසුරුවයිද? 


පිළිතුර - මට අනුව නම් මාර්තු 1 වැනිදායින් පස්සේ. ඒ කියන්නේ මාර්තු 2-3 වෙනකොට ඒක සිද්ධ වෙයි. නීත්‍යානුකූලව කරන්න පුළුවන් පළමුවැනි දවසෙම කරනවා. 


 ප්‍රශ්නය - ඕනෑ නම් සැප්තැම්බර් වෙනකම් මේ පාර්ලිමේන්තුවට යන්න පුළුවන්? 


පිළිතුර - ඒකනම් කොහොමටවත් වෙන්නේ නෑ. දැන් රටේ වැඩ ඔක්කොම ඇනහිටලා තියෙන්නේ. 


 ප්‍රශ්නය - සංවර්ධන වැඩ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නෑ.....? 


පිළිතුර - තුනෙන් දෙක නොවෙයි බහුතරය අවශ්‍යයි. තාම අයවැයක් නෑනේ. අනික් එක 19 වැනි සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුවට යම් ආකාරයක බලයක් ලැබුණා. ඒ අනුව අනිවාර්​ය​ෙ‌යන්ම ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාදායක බලයක් සමගයි ගමන් කරන්න ඕනෑ. 

 ප්‍රශ්නය - සමහරු නම් කියන්නේ තුනෙන් දෙකේ බලයක් ඕනෑ කියලයි. 


පිළිතුර - තුනෙන් දෙකේ බලය ගැන නම් මගේ අදහසක් නෑ. නමුත් 113ක් අවශ්‍යයි. 113ක් නෑනේ ඇත්තටම අද. 


 ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ අගමැති වෙනකොට ඔහුට හිටියේ මන්ත්‍රීවරු 42යි. 


පිළිතුර - ඒ වුණාට අපේ ඔක්කොම ටික ගත්තනේ, මෛත්‍රීපාල සිරිසේන මුළු පක්ෂයත් එක්කම ගත්තනේ. කී දෙනාද එතැනට නොගියේ. ශ්‍රී ලංකා එක හිටියා, දෙමළ සන්ධානය හිටියා, ජවිපෙ හිටියා. ඒ වෙලාවේ ඔය ඔක්කොම සහයෝගය දුන්නනේ. ඒ නිසානේ ඔය 19 සම්මත වුණේ. 


 ප්‍රශ්නය 19 වැනි සංශෝධනය අහෝසි කරන්න යන්නේ නැවතත් පවුල් පාලනය ස්ථාපිත කරන්න? 


පිළිතුර - 19 අහෝසි කරන්නේ..... ඕක ගෙනාවෙම දුෂ්‍ට චේතනාවෙන්. 19 සංශෝධනයේ හොඳ ඒවා තියෙන්න පුළුවනි. හැබැයි දුෂ්‍ට චේතනාවෙන් ගෙනාවේ. අනික තමයි ඒක නිසා 78 ව්‍යවස්ථාවෙන් ජේ.ආර්. ජයවර්ධන 72 ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වූ ස්ථාවරත්වය කියන එක සම්පූර්ණයෙන් බිඳ වැට්ටුවා. ව්‍යවස්ථාවක තියෙනවනේ ප්‍රධාන කුලුනු. 19න් ඒ කුලුනු ඔක්කොම බිඳ වැටුණා. රට අරාජික වෙන්න ඉඩ තියෙනවා. 


 ප්‍රශ්නය - ආණ්ඩුවට මාස දෙක හමාරයි. ජනප්‍රියත්වය වේගයෙන් පිරිහිලා යනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? 


පිළිතුර - භෞතිකව පහුගිය මාස දෙකට ආසන්න කාලය තුළ මම ලංකාවේ නොහිටියට මම කරපු සමීක්ෂණවලින් පේනවා අපේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය. හැම ගමකම තිබුණට වඩා ලොකු වර්ධනයක් තමයි පෙන්නුම් කරන්නේ. පොඩි පසුබෑමක් තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ අඩුව නිදහස් දිනයේ ජනාධිපතිතුමාගේ හා රජයේ ක්‍රියා කලාපය නිසා ඉතා ඉහළට නැගලා තියෙනවා. සියලු ලිබරල්වාදීන් පවා බොහොම අගය කරනවා. මම හිතන්නේ ඒක ශ්‍රේෂ්‍ඨ කතාවක්. 


 ප්‍රශ්නය - කතානම් මොනවද? වැඩයි ඕනෑ? 


පිළිතුර - ඒක තමයි මම මේ කියන්නේ. මීට පෙර ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට දීපු උපදේශය බලන්න. සාධාරණ හේතු නොවේනම් වෙනත් හේතු මත කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න එපා කියලා එතුමා උපදෙස් දුන්නා. නෙල්සන් මැන්ඩෙලාට වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සම්මානයක් දිය යුතුයි. මොකද මම වින්දිතයෙක් හැටියට මම දන්නවා අත්අඩංගුවට ගැනීම දඬුවමක් ලෙස කරන එකේ තියෙන භයානකකම. ඒක මොනතරම් සාපරාධයක්ද? ඒක එහෙම කරන්න එපා කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨද? පහුගිය ආණ්ඩුව ඉස්සෙල්ලාම කළේ‍ අත්අඩංගුවට ගැනීමයි. රිමාන්ඩ් කිරීම දඬුවමක් හැටියටයි ක්‍රියාත්මක කළේ. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම්, ප්‍රජා අයිතිය පිළිබඳව ජනාධිපතිතුමා නිදහස් උත්සවයේ දී කරපු කතාව. ජනතාවට හිරිහැර කරන නීතිරීති අඩු කිරීම, මං හිතන්නේ මම හිටපු ආර්ථික සංවර්ධන කටයුතු ඇමැති ඒ වගේම විපක්ෂයේ ඉඳලා තියෙනවා. ඒ නිසා මම දන්නවා ව්‍යාපාරිකයන්ට සාමාන්‍ය ජන ජීවිතයට ලොකුම බාධාව වෙලා තියෙන්නේ අනවශ්‍ය නීතිරීති. ඒවා අඩු කරන්න කියලා ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ඉතාම වැදගත්. 


 ප්‍රශ්නය - ඔය වගේ ප්‍රකාශවලින් ද දැන් ඉස්සරහට යන්න බලන්නේ? 


පිළිතුර - මෙහෙමයි. ආණ්ඩුවේ ජනප්‍රියතාව වැඩිවෙලා තියෙනවා කියලා මම කිව්වනේ. එහෙම වැඩි වෙලා තියෙන්නේ කරපු ඒවට වැඩියෙන් නොකරපු ඒවට. ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් පින්තූර නොගහපු නිසා ජනතාව සතුටුයි. මුදලත් ඉතුරුයි. නිදහස් උත්සවයේ පැරෂුට් දර්ශන නැතිවීම, ආබාධිත සෙබළුන්ට හිරිහැර වෙන නිසා ඔවුන් ප්‍රදර්ශනය නොකිරීම ගැන අගය කරන පිරිස් වැඩියි. ඇමැති මණ්ඩලය 30ක් කරන්න පුළුවන්කම තිබියදී 15 දෙනෙකුට සීමා කිරීම ගැන ජනතාව හුඟාක්ම කැමතියි. 


 ප්‍රශ්නය - බදු අඩුකළා. ඒත් ජනතාවට දැනෙන සහනයක් නෑ. එහෙම වුණේ? 


පිළිතුර - ඔව්! කරන්න ගිය දේවල්වලින් ඒතරම් ප්‍රයෝජනයක් වුණා කියලා මමත් හිතන්නේ නෑ. ඔබ කියපු විදියට එක පාරටම බදු අඩු කිරීමෙන් ජනතාවට සතුටක් තාම නෑ. ඒ වගේම පෝර නිකම්දීම තුළ ඇතිවෙච්ච හිඟය ආදිය නිසා ඒකේ වාසිය ගන්න බැරි වුණා. ඒ නිසා කරපු දේවල්වලට වැඩියෙන් නොකරපු දේවල්වලින් තමයි ජනප්‍රියත්වය වැඩිවෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා සමහර ආයතනවලට ගිය එක ගන්න. සමහර රජයේ ආයනවල තිබුණු හදාගන්න පුළුවන් වැරැදි නිවැරැදි වුණා. යම් යම් ප්‍රශ්නත් ඇති වෙනවා. උදාහරණයක් විදියට....... ආගමන විගමන දෙපාර්තමේන්තුව ළඟ පාරේ වාහන නවත්වනකොට ඒකට මුදලක් එකතු කරගෙන ජීවත් වෙච්ච පිරිසක් හිටියා. ඒ අය මැතිවරණයේදී අපට හුඟාක් උදව් කරපු පිරිස්. දැන් ඒක නවත්වලා තියෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි අර පිරිසගේ ජීවිකාව එක පාරටම නතරවෙලා තියෙනවා. ඒ විදියේ රැකියා කරන අය විශාල වශයෙන් එනවා. එයාර්පෝර්ට් එකේ හිටපු ඒ වගේ කට්ටිය අයින් කරලා තියෙනවා. ඒවා හොඳ වැඩ..... ඒ වගේම කෝච්චිවල කුරුම්බා විකුණපු ඉස්සෝ වඩේ විකුණපු අය හිටියා. අපි ඒ අයට නිල ඇඳුමක් දීලා විධිමත් කරන්න ඕනෑ. එහෙම නැතිව අරක ක්‍රියාත්මක කරන්න ගියාම ප්‍රශ්න මතු වෙනවා. 


 ප්‍රශ්නය - මේ තීන්දු තීරණ ගන්නේ සාමූහිකව සාකච්ඡා කරලා නොවෙයිද? 


පිළිතුර - සමහර ඒවා, බොහෝ ඒවා සාකච්ඡා කරලා ගන්නේ. නමුත් ඒ වගේම ජනාධිපතිතුමාට අගමැතිතුමාට වගේම අපේ ඇමැතිවරුන්ට අත්දැකීම් තියෙනවා. මොකද ජනාධිපතිතුමා ඔතැනට ආවේ නිකම්ම නොවෙයි. එයාට ඔය වගේ දේවල් කරලා හොඳට පුරුදුයි. එයා තැනකට ගියාම ඉගෙන ගන්නවා වගේම එයාට උගන්වන්නත් පුළුවන්. මම එයාර්පෝර්ට් එකෙන් එළියට එනකොට මට ලොකු වෙනසක් දැනුණා. බොහොම කාර්යක්ෂම ලෙස එතැන වැඩ කෙරෙන බව පෙනුණා. ජනාධිපතිතුමා උපදෙස් දීලා ඊට පස්සේ ඒක පසුවිපරම් කරනවා. හුඟ දෙනෙක් ඒක මගෙත් එක්කත් කියනවා. මගෙත් එක්ක කෙනෙක් කිව්වා ඉස්සර සැලසුමක් අනුමත කර ගන්න අපි යූඩී එක පස්සෙන් යන්න ඕනෑ. එයා ලොකු ව්‍යාපාරිකයෙක්. එයා කියනවා දැන් මම යූඩී එකෙන් ලියුමක් ආවා. ඔබ අයැදුම්පතක් දාලා තියෙනවා. ඒක තවම අනුමත නොවුණු බවක් පේනවා. කරුණාකර ඇවිල්ලා අදාළ නිලධාරීන් හමු වෙන්න කියලා. ඒ ව්‍යාපාරිකයා කියනවා මෙහෙම දෙයක් ඉතිහාසයේ වෙලා නෑ කියලා. කිසිම මුදලක් වැය නොකර කරන්න පුළුවන් විශාල වැඩකොටසක් මේ රටේ තියෙනවා. අනික් ඒවා කරන්න ඔබ දන්නවා අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් නෑ. අයවැයක් නෑ. තියෙන ආයතනත් සමහර ඒවා ඒ අයගේ පාලනය යටතේ තියෙන්නේ. විශේෂයෙන්ම ඔය කොමිසන් සභා එහෙම. ඒවා ටික කර ගන්න මැතිවරණයකට යන්න ඕනෑ. ඒහෙම බාධා හා සීමා මැද්දේ මේ කරලා තියෙන දේවල් ප්‍රමාණවත්. කොරෝනා වෛරසයට අදාළව රජය ගත්ත ක්‍රියා මාර්ගය ඇත්ත වශයෙන්ම පැසසිය යුතුයි. 


 ප්‍රශ්නය - ජනතාව සතුටෙන් හිටියට ඇමැතිවරුන් ඉන්නේ අසතුටෙන්. 


පිළිතුර - ඇයි දෙයියනේ එහෙම වෙන්නේ? 


 ප්‍රශ්නය - සභාපතිලා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කරලා එවන්නේ ජනාධිපතිවරයාගේ කමිටුවකින්? 


පිළිතුර - ඒක මේ හැමදාම කෙරිච්ච දෙයක්. අද ඊයේ සිට කරපු දෙයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ ඉන්නකොටත් කළා. රනිල් වික්‍රමසිංහත් කළා. මෛත්‍රීපාලත් කළා. ඒ කාලේ කෙළින්ම ජනාධිපතිවරයා තමයි පත්වීම් කළේ. ඒක ජනාධිපතිතුමා වෙන කණ්ඩායමකට බාර දුන්නා. මම දන්නවා.... දේශපාලනය පැත්තෙන් බැලුවත් පක්ෂයක් හැටියට මම කතා කළොත් අපට ඒ කාලේ ඩාර්ලි පාරේ මූලස්ථානයත් තිබුණා. 2005දී අපිට එතැන වැඩ කරන්න දුන්නේ නෑ. අපි අරලියගහ මන්දිරයේ කළේ. ඒ දෙපාරට අපිට මේ වගේ උදව් උපකාර ලැබුණේ නෑ. ඇමැතිවරුන් කිහිප දෙනකු එක්ක කතා කළාම වැඩ කළේ නැති වුණාට නම් ලැයිස්තු හදනකොට ඒ කට්ටියගේ කට්ටිය තමයි දාලා තියෙන්නේ. 


 ප්‍රශ්නය - සමහර තැන්වල ඇමැතිවරයා දන්නෙත් නෑ. සභාපතිලා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් පත් කරලා එවලා.......? 


පිළිතුර - ඔව්! ඉතින් ඒක එහෙම තමයි. එදත් කළේ එහෙම තමයි ජනාධිපතිවරණයක්නේ තිබ්බේ. ඒ ඡන්දෙදි මිනිස්සු ඡන්දය දුන්නේ ජනාධිපතිවරයාට. එතකොට යම් යම් පුද්ගලයන් දානවානම් ඒ අයිතිය තියෙන්නේ ජනාධිපතිතුමාට. 


 ප්‍රශ්නය - පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ එහෙනම් ඒක වෙනස් වෙයි? 


පිළිතුර - ඔව්. ඔව්. එහෙම වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේක අලුත් දෙයක් නොවෙයි. හැමදාම කරපු දෙයක්. මම දන්නවනේ හොඳටම. රනිල් වික්‍රමසිංහත් කොමිටියක් දාලා තිබුණා. මෛත්‍රීපාලත් දාලා තිබුණා. දින 52 ආණ්‍ඩුවේදීත් අපේ සමහර ඇමැතිවරු පත් කරපුවා වෙනස් කළා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබාර ගන්න යනකොට මමත් කතා කරලා පී.බි. ජයසුන්දරටත් කතා කරලා වහාම ඒක නැවැත්තුවා. 


 ප්‍රශ්නය - උදේ පත් කරනවා.... හවස අස් කරනවා.... ඒක විහිළුවක් වෙලා. 


පිළිතුර - ඒවා එහෙම තමයි. එයා වැරැද්දක් කරනවා නම් හරි වැරැද්දක් මතු වුණොත් හරි එහෙම පියවර ගන්න ඕනෑ. ජනතාව ඕක තමයි ඉල්ලුවේ. 


 ප්‍රශ්නය - ණය වාරිකයේ පොලිය පමණක් තියෙනවා. ඩොලර් කෝටි 5000ක් ගෙවන්න. සල්ලි හොයන මැජික් එකක් තියෙනවද? 


පිළිතුර - ඇත්තටම. මම ඒ පැත්ත ගැන ඒතරම් සතුටු නෑ. අපේ සමහර අය හිතාගෙන ඉන්නේ 2015දී අපි බාරදුන්න රටයි භාණ්ඩාගාරයයි ඒ ආර්ථිකයයි තමයි අපට යළිත් ලැබුණේ කියලා. නෑ. ඒක විනාශ කරලා ආර්ථිකය කඩා වට්ටලා. භාණ්ඩාගාරය හිස් කරලා පුස් ගෙඩියක් තමයි අපට ලැබුණේ. ඒක නිසා අරවා මේවා කරන්න ඉස්සෙල්ලා ඔය වගේ ප්‍රශ්න ගැන අවබෝධයකින් කටයුතු කරන්න ඕනෑ කියලා තමයි මගේ පෞද්ගලික අදහස. 


 ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ කොහොමද මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කියලයි. 


පිළිතුර - අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවනේ. ඒක ක්‍රියාත්මක කළානම් හරි. හැබැයි ඒක ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමුඛතාවය දිය යුතු දේ ගැන කල්පනා කරන්න ඕනෑ. ඒවාගේ අනුපිළිවෙල මාරු කළොත් බෑ. පළමු ගියරයට දාන්නේ නැතිව හතර වැනි ගියරයට දාලා වාහනය අද්දන්න බෑනේ. ඒ නිසා පළමුව කළ යුතු දේ කරලා තමයි දෙවනුව කළ යුතු දේ කරන්න ඕනෑ. මේක මේ මගේ මතය. 


 ප්‍රශ්නය - මහ මැතිවරණයට යන්නේ කොහොමද? පොහොට්ටුවෙන්ද සන්ධානයකින්ද? 


පිළිතුර - ඒකත් ඉතින් කල්පනා කරන්න ඕනෑ. අපි හැමදාම සන්ධානයකින්නේ ගියේ. සන්ධානය කොයි ආකාර විය යුතුද කියන එක අපි ඔක්කොම එකතුවෙලා සාකච්ඡා කළ යුතුයි. 


 ප්‍රශ්නය - සමහරු කියනවා පොහොට්ටුවෙන් පමණයි කියලා. ඒත් සමහරු කියනවා පොහොට්ටුවෙන් බෑ කියලා. 


පිළිතුර - පොහොට්ටුවෙන් බැහැ කියලා නම් මට කවුරුවත් කිව්වේ නෑ. 


 ප්‍රශ්නය - ඔවුන් කියන්නේ පොදු ලකුණකින් යන්න ඕනෑ කියලයි. 


පිළිතුර - ඒක හරි. ඒක ගැන කිසිම විවාදයක් නෑ. ඒක ගැන නොවෙයි සමහර ඒවා තියෙනවා සමහර තැන් තියෙනවා. උදාහරණයක් විදියට ජාතික ආණ්ඩුවක් හදන්න 149ක් ගත්තත් බෑ එකම පක්ෂයකින් ඉදිරිපත් වුණොත්. තුනෙන් දෙකේ බලයක් ගන්නවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. 


 ප්‍රශ්නය - ඔබේ ගණන් බැලීමට අනුව මන්ත්‍රීධුර කීයක් පොහොට්ටුව ලැබෙයිද? 


පිළිතුර - පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව මන්ත්‍රීධුර 130-135ක් විතර තමයි බලාපොරොත්තු වෙන්නේ. එදා මමනේ මුළු මැතිවරණ යාන්ත්‍රණයම මෙහෙයැව්වේ. නමුත් දැන් මට තාම තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිය විතරයි. එතකොට මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ මගේ පක්ෂය වෙනුවෙන්. එතකොට මම මගේ මන්ත්‍රී සංඛ්‍යාව මේ මැතිවරණයේදී වැඩි කරගන්න උත්සාහ කරනවා. නමුත් සාකච්ඡා කරලා හොඳ තැනකට ආවොත් වඩාත්ම හොඳ ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඒ නිසා එක පැත්තකට බරවෙලා බලන්නේ නැතිව හොඳ විදියට බලන්න ඕනෑ. 


 ප්‍රශ්නය - ඒ ගොඩනැගෙන සන්ධානයේ සම සභාපතිත්වය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දිය යුතුයි කියලත් කියනවා? 


පිළිතුර - ඒ යෝජනාවත් සලකා බලලා ගැළපෙනවද නැද්ද කියලා බලමු. 


 ප්‍රශ්නය - නමුත් පොහොට්ටුවේ ඇතැමුන් කියනවා ‘දෙන්නෙම නෑ’ කියලා. 


පිළිතුර - ඒකත් සලකා බලන්න ඕනෑ. 


 ප්‍රශ්නය - ඔබත් සමග මෙහෙම දේශපාලනය ගැන කතා කරනකොට ඡන්දෙට ඇවිත් දිනලා ඉස්සර වගේ ක්‍රියාකාරී දේශපාලනයට එන්න ආශාවක් ඇති වෙන්නේ නැද්ද? 


පිළිතුර - පුද්ගලයෙක් හැටියට ඔබ කියන විදියට එහෙම වෙන්නත් පුළුවන්. මම ඉතින් කොහොමත් ඡන්දෙට අපේ පක්ෂය මාර්ගයෙන් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ගෝඨාභය රාජපක්ෂ වුණාට යම් හෙයකින් අපිත් ඉදිරිපත් වුණා වගේ තමයි. මහින්ද අගමැතිතුමත් ඉදිරිපත් වුණා වගේ තමයි. හැම ගමකම ඉන්න අපේ පාක්ෂිකයෝ නායකයෝ ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් ගිහින් ඡන්දය ගත්ත අය ඉන්නවා. ජාතික බලවේග අපිත් ගත්තා. හාමුදුරුවරු ගිහින් කිව්වා රට වෙනුවෙන් මගේ වචනෙට ඡන්දෙ දෙන්න කියලා. කියපු හාමුදුරුවරු හිටියා. ඒ නිසා ඡන්දයට මම නිල වශයෙන් නාම යෝජනා නොදුන්නට මම ඉදිරිපත් වෙනවා.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්