IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


ආණ්ඩුවේ ඉතිරි වූ ශ්‍රීලනිප කණ්ඩායමේ ඉරණම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය අවුල් ජාලාවක් වී ඇත. රජයට සම්බන්ධ කණ්ඩායමත් දැන් කොටස් වශයෙන් භේදවෙන තත්ත්වයක් උදාවී ඇත. විශ්වාසභංගයට සහාය දුන් ඇමැතිවරු 16 දෙනාම ඉල්ලා අස්වීමත් සමඟ මේ අවුල් සහගත තත්ත්වය වඩාත් වෙනස් මුහුණුවරක් ගෙන ඇත.


දහසය දෙනාගේ කණ්ඩායම හා ජාතික රජයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අතරත් දැන් මතභේද ඉස්මතු වෙමින් පවතී.


දහසය දෙනාගේ කණ්ඩායම ප්‍රකාශ කර සිටින්නේ රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්‍ඩායම එක්සත් ජාතික පක්ෂයේ රජ ඉවත් විය යුතු බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇමැතීමට ලංඩන් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා එහි සිටම මේ මතභේද දුරු කිරීම සඳහා ක්‍රියා කරමින් සිටී.


ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර හා ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුනට ලංඩන් නුවරට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා දන්වා ඇත. ඒ පස්දෙනා වෙනුවෙන් චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන් ගිය බ්‍රහස්පතින්දා අලුයම ලංඩන් නුවර බලා පිටත්ව ගොස් සිටිති.


එහිදී ජනාධිපතිවරයා දහසයේ කණ්ඩායම වෙනුවෙන් එම මන්ත්‍රීවරු තිදෙනා සමග අතිශයින් පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


දැන ගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආණ්‍ඩුවෙන් ඉවත්වීමේ අදහසකින් නොසිටින බව කියති. 16 දෙනාගේ කණ්ඩායම ඉවත් වීමත් සමඟ ඔහුට ඉතිරිව සිටින්නේ මැති ඇමැතිවරු 10 දෙනෙකි. ජාතික රජයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට තරම් ඔහු බලවත්ව නොසිටී. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන 53 දෙනා එක් වූවත් බහුතරය ලබාගත නොහැකිය.
මේ අතර ජාතික රජය ඉදිරියටත් පවත්වනවාද යන්න පිළිබඳව සාකච්ඡා කර රජයට වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා කරන ලද නියමයට අනුව එම වාර්තාව හෙට (23) ඔහුට බාරදීමට නියමිතව ඇත.
සරත් අමුණුගම ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය ඇතුළු ඇමැතිවරු පස්දෙනෙක් ඇතුළත් වෙති. මෙහිදී ජාතික රජයෙන් ඉවත් විය යුතුද? යන්න හා රජයේ ඉදිරි කටයුතු ගෙනයාම පිළිබඳව වාර්තාවක් මෙම කමිටුව මගින් ජනාධිපතිවරයාට ලබාදෙනු ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්ත්වය දෙස විමසිලිමත්වීමේ දී දහසයේ කණ්ඩායම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මෙන්ම මෛත්‍රී පාර්ශ්වයේ පිරිසක් අතරද මත ගැටුම් උග්‍ර වී ඇති බව පෙනී යයි.
විශේෂයෙන් මෛත්‍රී පාර්ශ්වයේ මැති ඇමැතිවරු දැන් එකිනෙකාට දොස් පවරා ගැනීම එකමුතු බවට බරපතළ ප්‍රශ්නයක් වී ඇත. ජනාධිපති කණ්ඩායම හා 16 කණ්ඩායම අතර මත ගැටුම් දේශපාලන වෛරයක් බවට පත්වෙන තත්ත්වයක් උදා වී ඇති බවත් පෙනෙන්නට ඇත.


මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ අභියෝගාත්මක අවස්ථාවේදී ඔහු සමග සිටි මුල්ම පස්දෙනාගෙන් එක් අයෙක් වූයේ දුමින්ද දිසානායක මහතායි.


ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටින්නේ රට හදන්න නම් ජාතික ආණ්ඩුව ඉදිරියට යායුතු බවයි. 16 කණ්ඩායම ප්‍රකාශ කර සිටින්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. මේ පරස්පර විරෝධි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමනට බලවත් බාධකයක් වී ඇති බව සඳහන් වේ.


විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් පිරිසක් ප්‍රකාශ කර සිටින්නේ කඩාකප්පල්කාරී පිරිසක් පක්ෂය ගෙන තිබූ තීරණයට එරෙහිවූ බවත් ඒ කවුරුන්දැයි ළඟදීම තොරතුරු අනාවරණය කරනු ලබන බවත්ය. 16 කණ්ඩායමේ මෙම ප්‍රකාශය පිළිබඳව ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටින්නේ ඒ සම්බන්ධයෙන් දැනට වසා ගෙන සිටින කටවල් ඇරීමට සූදානම් බවයි.


මෙවැනි මතභේද දෙපාර්ශ්වය තුළ එන්න එන්නම වර්ධනය වෙන ස්වරූපයක් පවතී. පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙන දිනයක් මෙතෙක් තීන්දු කර නැත. මධ්‍යම කාරක සභාව රැස්වුණත් ජනාධිපතිවරයාගේ මතයට පිටින් තීන්දු තීරණවලට එළඹේවිද යන්න සැක සහිතය.


ජාතික රජයෙන් ඉවත් නොවන බව මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් 16 කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටිති. ජාතික රජයෙන් ඉවත්වෙන බව තීරණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු බලයෙන් ඉවත් වීමට සිදු වනු ඇත. එසේ වූවහොත් එක්සත් ජාතික පක්ෂය සුළුතර ඡන්දයෙන් පාලන බලය පවත්වනවා ඇත.


එවිට තුනෙන් දෙකක ඡන්දයක් ලැබිය යුතු යෝජනා ඉදිරිපත් නොකර සුළුතර ඡන්දයෙන් අනුමත කළ හැකි කරුණු පමණක් සම්මත කර ගනිමින් ඉතිරි වසර 1 1/2ක කාලය එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ සිටීමට සිදුවනු ඇත.


එසේ වුවහොත් ජනාධිපතිවරයා දැඩි අසීරුතාවකට පත්වීමට බොහෝදුරට ඉඩකඩ ඇතැයි විශ්වාසයක් පවතී.
විශ්වාසභංග යෝජනාවට සහාය දැක් වූ රජයේ පාර්ශ්වයේ සිටි 16 දෙනා සාදරයෙන් පිළිගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පොදු මතයක් ප්‍රකාශ කළත්, ඔවුන් සමග දීර්ඝකාලීන දේශපාලන ගමනක් යෑමට සූදානමක් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කීය.


තනතුරු අපේක්ෂාවෙන් රජයට සම්බන්ධ වී සිටි බවට චෝදනා ඉදිරිපත් වී ඇති ‘‘16 කණ්ඩායමේ’’ ඇතැම් අය එදා ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරමින් කතාකළ ආකාරය පිළිබඳව ඔවුන් දැඩි ලෙස පිළිකුල් කරනු ලබන බවද සඳහන් වේ.


එසේ කරන ලද ප්‍රකාශ ඇතුළත් කර පුවත්පත්වල පළවූ වාර්තා ඇතුළත් ලිපිගොනු සකසා ගෙන සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කීපදෙනෙක් සිටිති. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ. ‘‘නාමල් රාජපක්ෂගේ මුඛයත්, අධෝ මුඛයත් අතර දුර........, අප්පච්චි මළා ........... රාජපක්ෂ පවුලේ දූෂිතයො එකපෙළට හිරේ දාන්න ඕනෑ ........’’ ආදී ප්‍රකාශවලට ඔවුන්ට සමාවක් දිය නොහැකි බවයි.
මෙවැනි ප්‍රකාශ කරන ලද ‘‘16 කණ්ඩායමේ ’’ මන්ත්‍රී පිරිස සමග එක්ව ගමනක් යෑම දුෂ්කර බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසකගේ අදහස වී ඇත. ‘‘16 කණ්ඩායම’’ විපක්ෂයේ අසුන් ගැනීමට හේතු වූ කරුණු කීපයක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී පිරිසක් අවධාරණය කරනු ලබති. දේශපාලනය කරනු ලබන තම පුත්‍රයන්ගේ දේශපාලන අනාගතය නිවැරදිව තෝරා බේරා දීම, ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය ලැබීම, ජනතා අප්‍රසාදයෙන් ගැලවීම, ඉදිරි වසර 1 1/2ක කාලයේ ඇමැති ධුරය රැක ගනිමින් සිටිනවාට වඩා ඉන්පසුව ඉදිරි කාලය තුළ පැහැදිලි දේශපාලන වටපිටාවක් සකසා ගැනීම යනාදී කරුණු සඳහා මේ ‘‘16 කණ්ඩායම’’ දැන් සිටම සූදානම් වී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් අයගේ මතය වී ඇත.


16 කණ්ඩායමේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ගිය මහ මැතිවරණයෙන් පරාජය වී සිටින අය වෙන නිසා, ඉදිරි මැතිවරණයකදීත් ඔවුන් ජයග්‍රහණයක් ලබාවිද යන්න සැක සහිත බවත් ඔවුන්ගේ අදහස වී ඇතැයි දැන ගන්නට ඇත.

 

​මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගයෙන් යුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට 16 කණ්ඩායමේ බහුතරයක් දැඩි අප්‍රසාදය දක්වා ඇති බව කියති. මහින්ද රාජපක්ෂ රජයට බලය අහිමිවූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරීත්වය නිසා බව පවසන මේ පිරිස නව පක්ෂය යටතේ වූවත් ඔහුගේ අණසකට යටත් වීමට සිදුවනු ඇතැයි සැකයෙන් පසුවන බව කියති.


ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට මුල් කාලයේ පැවැති සාකච්ඡාවලදීත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයත් ප්‍රතික්ෂේප කරන බවයි.
දැනට ශ්‍රී ලංකා​ පොදුජන පෙරමුණ ආක්‍රමණය කරමින් සිටින බැසිල් රාජපක්ෂ මහතා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති තනතුරක් දරමින්, අනෙකුත් සියලු මැති ඇමැතිවරු පාලනය කිරීමට උත්සාහ ගත් බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ අදටත් චෝදනා කරති.


මේ අතර ශ්‍රීලනිපයේ රජයේ පාර්ශ්වයේ පිරිසක් තදබල ලෙසින් කියා සිටින්නේ, ජාතික රජයෙන් ඉවත් නොවී ඉදිරි දේශපාලන කටයුතු කළ යුතු බවයි.


ඒ සම්බන්ධයෙන් ඇමැති මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් සඳහන් කළ යුතුව ඇත.


‘‘ජනාධිපතිතුමාට ඉදිරි කාලයටත් ආණ්ඩුව ගෙන යන්න අවශ්‍යයි. එතුමා කියන්නේ අවුරුදු පහකට බලය ලැබී තිබෙන නිසා ඉදිරි කාලය සඳහාත් ආණ්ඩුව ගෙනියන බවයි. රට හදන්න ඇති වගකීමට සහාය දෙන්න කියල එතුමා ඉල්ලා සිටියා. අපි මේ තනතුරුවල රැඳිලා ඉන්නෙ ජනාධිපතිතුමාගෙ වචනෙත් එක්කයි අපිට ඕනෑම වෙලාවක මේ තනතුරු දාල යන්න පුළුවන්. අපි ඡන්දයෙන් දිනල ඇවිත් ඉන්නෙ’’ යනුවෙනි.


මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තනතුර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුරු සම්බන්ධයෙන් ද දැඩි විරෝධයක් පවතී. මෙම තනතුරු දෙක පූර්ණ වෙනසකට ලක් කළ යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් ඇති වූයේ ලේකම්වරු දෙදෙනා නිසා බවට චෝදනාවක් ඇත. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන් නම් කිරීම හා ලැයිස්තු සභිකයන් තෝරා ගැනීමේදී ඔවුන් ක්‍රියා කළ ආකාරය අප්‍රසාදයට පත්වී තිබෙන බවට ද චෝදනා ඇත.


පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ලේකම්වරුන් දෙදෙනා පිළිබඳව අප්‍රසාදයකින් කතා බහ කළත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් ලේකම්වරුන් කෙරෙහි දැඩි ප්‍රසාදයකින් පසුවන බවක් පෙනෙන්නට ඇතැයි වාර්තා වේ.


විවිධ අදහස්, එකිනෙකාට කර ගනු ලබන චෝදනා, විවේචන, පරස්පර විරෝධතාවන් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම අස්ථාවර හා අවිනිශ්චිත තත්ත්වයකට පත් වී තිබේ.

 

 

 

 

දයාසීලි ලියනගේ

 



අදහස් (0)

ආණ්ඩුවේ ඉතිරි වූ ශ්‍රීලනිප කණ්ඩායමේ ඉරණම

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

තුන් වතාවක් නම වෙනස් වී වමටත් දකුණටත් ගිය ආසනය
2025 ජනවාරි මස 07 168 0

1947 ප්‍රථම මහා මැතිවරණයේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමෙන් පැවැත්වූ අවසාන මැතිවරණය වූ (1977) දක්වා “තට්ටු මාරු ක්‍රමයට” වමටත්, දකුණටත් ජයග්‍රහණය ලබා දුන් අවස්ථා තු


ලෙනින්ගේ සයිබීරියානු පිටුවහල් ජීවිතය
2025 ජනවාරි මස 07 174 0

1897 පෙබරවාරි 13 වැනි දින ලෙනින්ට නැගෙනහිර සයිබීරියාවට අවුරුදු 3ක් පිටුවහල් කරහැරීමේ දණ්ඩනයක් පනවන ලදී.


ධූරයෙන් ඉවත් කළ මැති ඇමතිවරු
2025 ජනවාරි මස 06 266 0

ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහිලා සහ ඉටු කිරීමෙහිලා තමාට සහය දීම පිණිස තම මතය අනුව අවශ්‍ය වන ලේකම්වරයන් පත් කිරීමට ද, අමාත


මැති ඇමති ඉල්ලා අස්වීම් පුරාණයෙන්
2025 ජනවාරි මස 06 67 0

මැති ඇමති මන්ත්‍රීන් ඉල්ලා අස්වීම යනු ලෝක දේශපාලනයේ නවමු පුවතක් නොව නිතර ඇසෙන පුවතකි. යම් වරදක් අඩුපාඩු සිදුවූ විට එහි වගකීම බාරගනිමින් තමන් දැරූ ධූරය


සියල්ල සුද්ද කරන්න ක්ලීන් ශ්‍රී ලංකා
2025 ජනවාරි මස 06 58 0

“ලස්සන ලංකාවක්”‍ හදන්නට අප මතක ඇති කාලයේ පටන් සිහින දකිමින් සිටින්නෙමු. කලින් පරපුරත් එලෙස සිහින දකින්නට ඇත. පසු පරපුරත් සිහින දකිමින් සිටියි. ජාතික ජ


පොරොන්දුත් සමග කල්යන අලුත් ව්‍යවස්ථාව
2025 ජනවාරි මස 06 37 0

ලංකාව තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදූ රටක් ලෝකයේ තවත් තිබේදැයි සැක සහිතය. 1947 දී හැදූ ව්‍යවස්ථාව 1972 දක්වාම තිබුණේ එය බ්‍රිතාන්‍යයන් විසින් සකසා දී තිබූ න


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 158 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 537 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 283 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site