(අනුරාධපුර දයාරත්න ඇඹෝගම සහ අනුරාධපුර බී.පී. චතුරංග)

ආණ්ඩුවට කුමන විදියේ විවේචන චෝදනා තිබුණත් තම ප්‍රතිපත්තිය තුළ මුල්තැන දී තිබෙන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදවච්චියේදී ඉකුත් (04) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මැදවච්චිය බර්ටි ප්‍රේමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ  උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

මා ඉතාමත් සතුටුවෙනවා මැදවච්චිය ප්‍රදේශයට එන්න ලැබීම ගැන. මේ ප්‍රදේශයට පමණක් නොව අපේ රටේ ගොවි ආර්ථිකයටත් පාරිභෝගික ජනතාවටත් ඉතා වටිනා මධ්‍යස්ථානයක් වන මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම පිළිබඳවත් මා සතුටුවෙනවා. මේ ගොඩනැගිලිවල බොහෝ වැඩ අවසන් කරලා, තවත් වැඩ ඉතිරිව අවුරුදු 09ක ට වඩා වැඩි කාලයක් භාවිතයට නොගෙන තිබුණා. මේ දක්වා රජයේ මුදල් වැයකර ප්‍රයෝජනයක් නොගත් ව්‍යාපෘතියක් බවට පත්වෙලා තිබුණා.  

මේ තත්ත්වය තුළ තමයි මහඇමතිතුමා, දුමින්ද දිසානායක ඇමතිතුමා ඇතු`එ නිලධාරීන් සෑම කෙනෙක්ම මෙය රජය කළ යුතු ආයෝජනයක් වගේම ප්‍රදේශයේ මෙන්ම රටේ ජනතාවගේ සුබසිද්ධියට අවශ්‍ය සම්පතක් නිසා මුදල් ලබාදීලා අද විවෘත කරන්න කටයුතු සූදානම් කළේ. මෙවැනි ව්‍යාපෘතියක් වැඩ අවසන් නොකළ අවුරුදු නමයක් ප්‍රමාද වුණේ ඇයි කියන කාරණයත් සොයා බැලිය යුතු කාරණයක්. සංවර්ධනය පිළිබඳ විශාල වෙනසක් ඇතිවූවායි කියන යුගයේදී එවකට රජය මුදල් වෙන්කළේ යෝධ ව්‍යාපෘතිවලට. ගමේ ගොවියා, ගමේ ජනතාව, පොදු ජනතාවගේ ආර්ථිකය මේ රටේ ගොවියාගේ ජීවන තත්වය නංවාලීමේ ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවයක් ලබාදුන්නේ නැහැ.  

මේ රට අතීතයේ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය ලබාදී ආර්ථික සමෘද්ධියත්, ශ්‍රී විභූතියත් ළඟා කරගත් අද මේ රටේ ගොවි ජනතාවට තවමත් සිය ආර්ථික නිදහස නැහැ දුගීභාවය, අඩු ආදායම වගේම දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් නොමැතිකමෙන් අපේ රටේ ගොවිජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකයි සිටින්නේ. නමුත් අනුරාධපුර, පොළොන්නරු, රජරට ප්‍රදේශය පෙර රජ දවසත් ඒ වගේම ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවි ජනපද ව්‍යාපාරය පැවති සමයේත් මේ ප්‍රදේශය වගේම මුළු රටක වශයෙන් පැවැති බව අපි දන්නවා. කෘෂිකර්මාන්තය පදනම් කරගත් දියුණු ආර්ථිකයක් ඇති රටක්.

මා හිතවත් අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ නමින් මේ ආර්ථික මධ්‍යස්ථානය නම්කිරීම පිළිබඳව මා සතුටුවෙනවා. එතුමා දේශපාලනඥයෙක් විදියට කටයුතු කළ කාලයේ මේ ප්‍රදේශවලට ඉතාමත් හොඳ විශිෂ්ට සේවාවක් ඉටු කළා. රජරට පළාත ගත්විට ගෙවීගිය දශක කිහිපයේ ගොවි ආර්ථිකය ගොඩගන්න, ගොවිජනතාවගේ දුප්පත්කම නැතිකරන්න තිබෙන්නා වූ අභියෝග මොනවාද කියලා අපි හඳුනාගන්න අවශ්‍ය වෙනවා. වගාවට අවශ්‍ය ඉඩම් නිසිපරිදි ලබානොදීම, ලබාදී ඇති ඉඩම් නිසිපරිදි භාවිතා නොකිරීම, ගොවියාට අවශ්‍ය ජලය නිසිලෙස නොදීම, ජල කළමනාකරණයේ දී තිබෙන බොහෝ අඩුපාඩු, ගොවි නිෂ්පාදනයට හොඳ මිලක්, වෙළෙඳපොළක් නොමැතිවීම යනාදි කරුණු නිසා තමයි මූලික වශයෙන්ම ගොවි ආර්ථිකය දුර්වල වුණේ.  

එදාට වඩා අද ලෝකය වෙනස්. ඩී.එස්. සේනානායක මැතිතුමා ගොවි ජනපද ආරම්භ කළ යුගය, මෛත්‍රීපාල සේනානායක මැතිතුමා රජරට නායකයෙක් සහ විශිෂ්ට දේශපාලනඥයෙක් විදියට කටයුතු කළ ආකාරයට වඩා අද රට, ලෝකය වෙනස් වෙලා. අද අධිතාක්ෂණය සමග තමයි ජනතාව බද්ධ වෙලා සිටින්නේ. ගමේ, නිවසේ තිබෙන ජංගම දුරකථනයත්, පරිගණකය, රූපවාහිනිය, ගුවන්විදුලිය මගින් ඒ යුගයන්ට වඩා අද ජනතාව ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙලා තිබෙන්නේ. අද නව පරපුරට විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සැලසුම් සමග ඉදිරියට යාමේ ගමන්මග සකස් කළයුතු වෙනවා. ඒ සඳහා රජය කැපවෙලා සිටිනවා. රාජ්‍ය සේවයේ රැකියාවලට වඩා රටක් දියුණු වෙන්නත් තමාගේ දියුණුවටත් අවශ්‍ය වන්නේ ස්වශක්තියෙන් ගොඩනගාගන්නා ආර්ථිකයක් සැලසුම් කරගැනීමයි.

ඒ තුළින් අලුත් පරපුරට කෘෂිකර්මාන්තයේ වැදගත්කම පැහැදිලි කිරීම, තවත් පැත්තකින් උගත් තරුණ පිරිස්වලට කෘෂිකර්මාන්තයේ නව තාක්ෂණයත් සමග ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම. අලුත් උගත් තරුණයෙක් අද තම ජංගම දුරකථනයෙන් මැදවච්චියේ ඉඳලා කොළඹ වෙළෙඳපොළ හඳුනාගන්නවා වගේම අපේ අසල්වැසි රටවල්වල වෙළෙඳපොළ හඳුනාගන්න පු`එවන්කම තිබෙනවා. එය කළයුතු වෙනවා. එහිදී විවිධ ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් කොපමණද ආදිය සොයාගන්න අද ගෙදර ඉඳලා පුළුවන්.  

බොහෝ වෙලාවට අද වාණිජ ලෝකයේ විවිධ අක්‍රමිකතා, තිබෙනවා. ඒ නිසා තමයි මෙවැනි ව්‍යාපාරයකට එන කෙනෙක්ට වෙළෙඳපොළ හඳුනාගැනීම අවශ්‍ය වන්නේ.   

මේ ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාමර කිහිපයකට  මම ගියා. මම සතුටු වෙනවා හුඟාක් හිටියේ තරුණ අය. ඒ තරුණ පිරිස්වලට අපේ තාක්ෂණික දැනුම තිබෙන විශේෂඥයින් සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඒ තුළ තමයි මෙයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව ගොවිබිමේ ඉඳලා එළවළු ටික අරන් ඇවිත් කීයට හරි මෙතනට දීලා එහෙම නැත්නම් මෙතන ඉන්න අය කීයක් හරි ගොවියාට දීලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මෙතන ඉන්න ව්‍යාපාරික මහත්තුරු තරුණ පිරිස් ඒ අයට පුළුවන්කම තියෙන්න  ඕනෑ කොළඹ වෙළඳපොළ හඳුනාගන්න. ඒ කොළඹ වෙළඳපොළ හඳුනාගත්තාම ඔවුන් එක්ක කතා කරන්න, පුළුවන් තර්ක කරන්න පුළුවන් අද කොළඹ මිල තත්වය මේකයි, අපේ මිල තත්වය මේකයි, අපි බඩු ගෙනාවානම් ගෙන්නේ මේ විදිහටයි.

ඒ විදියට තමයි මේ ව්‍යාපාරික අංශවලට ප්‍රධාන වශයෙන්ම පුහුණුවෙන්න ඕනෑ. ඒ නිසා රජය මේ සඳහා පහසුකම් දෙනවා. මේ සඳහා සම්පත් දෙනවා. මුදල් වෙන් කරනවා. ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ  කෘෂි කර්මාන්තය තුළ එක්ක නව සමාජයක් මේ රටේ ගොඩ නැගෙන්න අවශ්‍යයි. සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ  යහපත් දේ රැක ගත යුතුයි වගේම  සම්ප්‍රදායික  කෘෂි කර්මාන්තයේ දී පැවති අදට නොගැළපෙන අයහපත් දේ අප විසින් බැහැර කළ යුතු වෙනවා.

මැදවච්චිය, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රමුඛ රජරට පළාතේ දශක කිහිපයක සිට තිබුණු ගොවි ජනතාවගේ ජල ගැටලුව අදත් තිබෙන මේ පළාතේ ජල ප්‍රශ්නය.

මේ ප්‍රදේශය නියෝජනය කරපු  මේ රටේ විශිෂ්ට දේශපාලනඥයෙකු වූ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එදා මහවැලි  සංවර්ධන ඇමතිවරයා විදියට මූලික පළවෙනි ශක්‍යයතා අධ්‍යයන කරලා, මොරගහකන්දෙන් නැත්නම් මහවැලි ගඟේ ජලය උතුරට ගෙන එන්න එදා ප්‍රධාන වශයෙන් මූලිකත්වය ගත්තා. එතුමාට කළින් ඊට නායකත්වය දුන්නේ පොළොන්නරුව  දිස්ත්‍රික්කය නියෝජනය කරපු එවක සිටි සී.පී. සිල්වා ඇමතිතුමා.
 
මෛත්‍රීපාල සේනානායක මැතිතුමා 1973, 1974 කාලේ ශක්‍යතා අධ්‍යයන කළේ මොරගහකන්ද ජලාශයේ වතුර මේ ප්‍රදේශවලට ගේන්න. උතුරට ගේන්න. රජරටට ගෙන්න. නමුත් දේශපාලන හේතූන් මත රජයන්වල වෙනස්වීම් සමග මූලික වශයෙන්ම 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් එදා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ව්‍යාපෘතිවල ප්‍රමුඛත්වය දුන්නේ කෘෂි කර්මාන්තයට වඩා විදුලිබල නිෂ්පාදනයට. විවෘත ආර්ථිකය තුළ කර්මාන්ත වර්ධනය සඳහා විදුලි බලය අවශ්‍ය නිසා කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, වික්ටෝරියා, මාදුරුඔය ජලාශ ප්‍රධාන වශයෙන් බිහිවුණේ විදුලි බල උත්පාදනයට.

ඒ ව්‍යාපෘතිවල දෙවෙනි අංශය තමයි කෘෂි කර්මාන්තය. නමුත් මහවැලි මහ සංවර්ධන සැලැස්මේ  කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වය දුන් ව්‍යාපෘතිය තමයි මොරගහකන්ද. සියයට 99 ක්ම  කෘෂි කර්මාන්තය සඳහා. විදුලි බල උත්පාදනයට තියෙන්නේ මෙගා වොට් 35, 36ක්. ඒ නිසා මේ ව්‍යාපෘති පිළිබඳව රජරට ජනතාවගේ ලොකු උනන්දුවක් තිබුණා. හැම ආණ්ඩුවක්ම උනන්දු වුණා. හැම ඡන්දයකදීම, මැතිවරණයකදීම කතා කළා. නමුත් ඒ කාර්යය ඉටුවුණේ නැහැ.

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධුරයට තරග කරපු වේලාවේ පොළොන්නරු ඡන්ද රැස්වීමට ඇවිත් මගෙන් ඇහුවා මේ ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද කියලා.  මම කිව්වා පළවෙනි ප්‍රශ්නය ගොවීන්ගේ ජලය ප්‍රශ්නය.  ඒ නිසා මොරගහකන්ද කරන්න ඕනෑ කියලා මම කිව්වා. එතුමිය වේදිකාවේ කතා කරන ගමන් කිව්වා අපි ඇවිත් මොරගහකන්ද කරනවා කියලා. නමුත් එතුමියගේ කාලේත් කෙරුණේ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු වේලාවේත් ඒ වගේම මගෙන් ඇහුවා පොළොන්නරුව, අනුරාධපුර මැතිවරණ ව්‍යාපාරයේ  අපි ජනතාවට කිව යුත්තේ මොනවද කියලා. ගොවීන්ගේ ජල ප්‍රශ්නය ඉතාමත් බලවත් ගැටලුව බව මා එහිදීත් කිව්වා.

2007 වසරේ දී ව්‍යාපෘතියට සතයක් වෙන් කළේ නැතුව අපි විශේෂයෙන් රජරට මැති ඇමතිවරු ඒ වේලාවේ ආණ්ඩුව  තුළ කරපු එක්තරා උද්ඝෝෂණයක් වගේම අරගලයක ප්‍රතිඵලයක්  හැටියට 2007 ජනවාරි 25 දා මුල් ගල් තිබ්බා මොරගහකන්ද කළුගග ව්‍යාපෘති ජලාශයට. 2007 ජනවාරි 25 මුල්ගල් තියලා පැය 48ට පස්සේ මාව ඇමතිකමෙන් අයින් කෙරුවා. මට වෙන අමාත්‍යාංශයක් දුන්නා. මන් කිව්වා නැත්නම් දවස් දෙකකට කලින් මුල්ගල් තියලා රජරටට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන්න කැපවුණු මම වෙන අමාත්‍යාංශයක් භාර ගන්න කැමති වුණේ නැහැ. මම නිකං පොළොන්නරු යනවා කියලා කිව්වා. නැවත මට මහවැලි අමාත්‍යාංශය දුන්නා. දුන්නාට සල්ලි දුන්නේ අමාත්‍යාංශයේ වැඩවලට. මොරගහකන්ද ජලාශයේ කටයුතු අවුරුදු පහක් යනකන් වැඩ කෙරුණේ  නැහැ. මුදල් හොයා ගත්තා. චීනය එක්ක කතා කළා. ජපානය එක්ක කතා කළා. ඒ ඔක්කොම කඩදාසි හදලා මම ඉහළට ඉදිරිපත් කළා. අවුරුදු පහක් යන කල් ඒ ඔක්කොම නැවතුණා. 2007 පටන් ගත්ත වැඬේ අඩු වශයෙන්  ඒ අවුරුද්දේ නැත්නම් 2008  ව්‍යාපෘතිය කරන්න පටන් ගත්තා නම් අද තමුන්නාන්සේලාට ජල හිඟයක් ඇති වෙන්නේ නැහැ.

මීට අවුරුදු පහකට කලින් 2012, 2013 මොරගහකන්දේ ජලය මේ ප්‍රදේශවලට එන්න තිබුණේ. ඒ විදිහේ අවුරුදු 05 ගතවෙලා, අමාත්‍යාංශ වෙනස් වෙලා අවසානයේ 2015 ජනවාරි මාසේ ජනාධිපතිවරණයට මම පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වුණහම මට සහයෝගය දුන්න මාව තෝරා ගත්ත එක්සත් ජාතික පක්ෂයත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සදහා එකතු වුණු මන්ත්‍රී කණ්ඩායම් අනෙක් දේශපාලන පක්ෂ ඒ සියලු සංවිධාන පක්ෂ 49 ක්. ඒ 49 ප්‍රධානීන් තමයි තීන්දු තීරණ ගත්තේ මැතිවරණය සහ ආණ්ඩුවක් හදලා කරන වැඩ. දින 100 වැඩසටහන. එතැනදී මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ජයග්‍රහණය කළාට පස්සේ ඔබතුමා භාර ගන්න අමාත්‍යාංශය මොනවාද කියලා.

ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන්ම තියෙනවා. මම කිව්වා මම කැමති අනෙක් අමාත්‍යාංශය මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. මම ඒ ඉල්ලීම කළේ එකම හේතුවක් නිසා. රජරට ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳන්න මේ මහවැලි ව්‍යාපාරය තුළ මොරගහකන්ද ජලාශය වැඩ ඉවර කරලා ජල ප්‍රශ්නය විසඳලා මේ ජනතාවට ජලය ලබාදෙනවා කියලා මගේ තිබුණු පරමාර්ථය.  

අපි ඒ ජයග්‍රහණය කරලා වැඩ කටයුතු කඩිනම් කළා. නිදා සිටි නිලධාරීන් වෙනස් කළා. අලුත් ඉංජිනේරුවරු දැම්මා. ආයතන වෙනස් කළා. වැඩ කාර්යක්ෂම කළා. ඒ අනුව තමයි මාස කිහිපයට කලින් මොරගහකන්දේ වේල්ලේ වැඩ අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ.  

කළුගඟ ජලාශයේ ඉඳලා මොරගහකන්ද ජලාශයට වතුර එන කිලෝමීටර් හත හමාරක උමගයක් තියෙනවා. අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ සඳහා මුදල් ලබා ගෙන තියෙනවා. දැන් ඒ වැඩ කටයුතු පටන් ගන්නවා. මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය තුළ අනුරාධපුර, පොළොන්නරුව ව්‍යාපෘතිවල කුරුණෑගලින් කොටසක වැව් 600 ප්‍රතිසංස්කරණය වෙනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්, පෙර රජදවස සිට තිබූ වැව්. තමුන්නාන්සේලා දකින්න ඇති මම සති දෙකකට කලින් ත්‍රිකුණාමලයේ ගිහින් වැව් 25 වැඩ කටයුතු අවසන් කරලා, විවෘත කරලා ආවා.  මොරගහකන්ද ජලාශයේ ජලය එන්නේ පොළොන්නරුවට, අනුරාධපුරයට  විතරක් නොවෙයි ත්‍රිකුණාමලයටත් යනවා. වයඹටත් කුරුණෑගලටත් ජලය යනවා.

මොරගහකන්දේ දැනට තිබෙන ජලය තාක්ෂණික විශේෂඥයින්ගේ උපදෙස් අනුව නිකුත් කරන්න බැහැ. ජලාශයේ වතුර පිරෙන්නට ඕනෑ. ජලාශයේ වතුර පිරිලා තමයි වේල්ලේ ශක්තිය, ප්‍රමිතිය හොඳයි කියලා ඉංජීනේරුවරු සෑහීමකට පත්වුණොත් තමයි වතුර දෙන්න පුඑවන්. වේල්ලේ වැඩ අවසන් කළාට වැස්ස ලැබුණේ නැහැ. වැස්ස ලැබිලා වැව පිරුණම මේ වතුර ප්‍රශ්නය විසඳෙනවා.

අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්කවල වැව්වල ප්‍රතිසංස්කරණයට මේ වනවිට ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රමුඛත්වය අරන් තියෙනවා.  

ජලය නොලැබුණු කුඹුරක ගොවියෙකුගේ පුතෙක් විදියට මේ ජල ප්‍රශ්නය මමත් අත්විඳ තිබෙනවා. තමුන්නාන්සේලාට මේ තියෙන ප්‍රශ්න ඉතාම සංවේදී විදියට දැනෙන කෙනෙක් මම. කුඹුර, නියරට මගේ ජීවිතයේ සම්බන්ධතාවයන් තියෙනවා. ආණ්ඩුවට මොන විදියේ විවේචන තිබුණත් චෝදනා තිබුණත් මගේ ප්‍රතිපත්තිය තුළ මම මූලිකත්වය දීලා තියෙන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමටයි. මේ කරන සංවර්ධන සැලසුම් එක්ක ආර්ථික හා සමාජීය ප්‍රශ්න විසඳීමේ පසුබිම ඇතිවෙයි කියලා මම විශ්වාස කරනවා.  

මම පසුගිය දිනවල ජලය නැති මේ දිස්ත්‍රික්කයේ ගම්මානවලට ගියා. පානීය ජල ප්‍රශ්නය, ආහාර හිඟය ආදී ප්‍රශ්න ගණනාවක් තිබුණා. මම එදා කොළඹට කතාකරලා කිව්වා මේ ප්‍රදේශවල ජනතාවට ආහාර ප්‍රශ්නයක් තියෙන නිසා වියළි ආහාර සලාකයක් ලබාදීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව ගිය අඟහරුවාදා අපි කැබිනට් මණ්ඩලයේදී තීරණය කළා ලක්ෂ 05 ක් වන ජලය නැතිකමින් පීඩාවට පත්වී සිටින ජනතාවට ආහාර සලාකයක් දෙන්න කියලා.

ගිය සතියේ ඉඳලා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සම්බන්ධ කරනවා ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට සහයක් වශයෙන්. මේ නියඟ තත්ත්වය තුළ ජනතාවගේ සුබසාධන කටයුතු අධීක්ෂණය සඳහා. හමුදාව යුද්ධ කරන්න විතරක් නෙවෙයි දක්ෂ. ජාතියේ ගෞරවය අපි ඔවුනට පුදකරන්නේ යුද ජයග්‍රහණයට ඔවුන් කළ කැපකිරීම් වගේම රට තුළ හදිසි ආපදා තත්ත්වයකදී වුව ද ඒවා සමනය කර ගැනීමට ත්‍රිවිධ හමුදාව පෙරමුණ ගන්නවා.

අපි විතරක් නෙවෙයි අසල්වැසි රටවලුත් ආපදා තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා. අසල්වැසි ඉන්දියාවෙත් කලාපයේ බොහෝ රටවලත් මේ අයහපත් කාලගුණික හා දේශගුණික තත්ත්වය තිබෙනවා.  

ඒ නිසා ස්වභාව ධර්මයාගේ අභියෝගය මුළුමහත් ලෝකයටම තිබෙන දෙයක්. මේ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි. අපේ ජීවිත කාලය තුළ නියං තත්ත්වයන් කීයකට අපි මුහුණ දී තිබෙනවාද? ගංවතුර කීයකට අපි මුහුණ දී තියෙනවාද? මට මතකයි 2012 උතුරු මැද පළාත් සභා ඡන්ද දිනවල මෙහි දැඩි නියඟයක් තිබුණා. රජය විදියට අපි තමුන්නාන්සේලා වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කරනවා.  

මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව නැවතත් සතුටුවෙනවා යැයි ජනාධිපතිවරයා කීවේය.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, මහඇමැති පේෂල ජයරත්න, පළාත් අමාත්‍යවරුන් වන සරත් ඉලංගසිංහ, සුසිල් ගුණරත්න, එම්. හේරත් බංඩා, පළාත් සභාවේ සභාපති ඩී.එම්. අමරතුංග යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.