ඇමැති රාජිත උත්තර දෙයි

ජනාධිපතිවරණය සම්බන්ධ උණුසුම රළ නගමින් තිබේ. එහෙත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවමත් සැඟවුණු අමුත්තෙකු බවට පත්කර තිබේ. ඒ ඇයි? මේ ඒ සම්බන්ධයෙන් විමසමින් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි. 

සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න​ 


ප්‍රශ්නය - දැවැන්තම සන්ධානයක් ගොඩනගලා ප්‍රබලම අපේක්ෂකයෙක් දානවා කිව්වා. ඒත් තාම සන්ධානයක් නෑ. අපේක්ෂකයත් නෑ.   


පිළිතුර - මහා සන්ධානයක් ගොඩනැගෙනවා. නියම අපේක්ෂකයාත් නියමිත වේලාවට ඉදිරිපත් කරනවා.   


ප්‍රශ්නය - කවුද අපේක්ෂකයා?   


පිළිතුර - ඒ අපේක්ෂකයා කවුරු වුණත් ඒ අපේක්ෂකයා තමයි මීළඟ ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වෙන්නේ.   


ප්‍රශ්නය - ඔබ හම්බන්තොට දී කිව්වා ‘ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර’ සජිත් ප්‍රේමදාස ඉදිරියෙන්ම ඉන්නවා කියලා?   


පිළිතුර - නෑ. මම කිව්වේ ඉදිරියෙන්ම ඉන්නවා කියලා නොවෙයි. මම ඒ කතාව කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. මම කිව්වේ ‘ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයන් අතර ඉදිරියෙන් ඉන්න කෙනෙක්? කියලයි. ඒක මාධ්‍ය ලිව්වා ‘ඉදිරියෙන්ම ඉන්නවා’ කියලා. මම කිව්වේ ‘ප්‍රො ෆ්‍රන්ට්’ කියලයි.   

 

මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ වගේ ප්‍රබල අරගලයක් කළේ අපේක්ෂකත්වය ලබාගැනීමට. හැබැයි ඒ අරගලය එතුමා කළේ‍ පක්ෂය තුළ. පක්ෂයේ සංවිධාන තුළ. නැතිව එළියේ රැස්වීම් තියලා නොවෙයි. ඔහුට චන්ද්‍රිකා ජනාධිපතිනිය කොහොමටවත් අපේක්ෂකත්වය නොදෙන ස්ථාවරයේ තමයි හිටියේ. නමුත් ඔහු ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය කළේ පක්ෂය ඇතුළේ කරපු අරගලයක් තුළින්. ඔහුව යෝජනා කළේ පක්ෂයේ දිස්ත්‍රික් බලමණ්ඩලවල. එතැනින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්‍ඩලය, මධ්‍යම කාරක සභාව හරහා නම යෝජනා වෙලා. ස්ථිර වෙලා තමයි එතුමා ඉදිරියට ආවේ. එහෙම බලපෑමක් කරලා ඒ අපේක්ෂක සටන ජයග්‍රහණය කළා. එහෙම නැතිව එතුමා වෙනම රැස්වීම් තියාගෙන ගියේ නෑ අපේක්ෂකත්වය ඉල්ලාගෙන. මේ දෙකේ වෙනස හිතාගන්න.


ප්‍රශ්නය- ඔබ මේ කතාව කරන්නේ හම්බන්තොට හෝටලයකදී ඔබ හා සජිත් හමුවකින් පස්සේ?   


පිළිතුර - ඔව්! අපි ඒ උත්සවය කළේ එතුමගේ දිස්ත්‍රික්කයේ. ඒ නිසා මම එතුමට ආරාධනා කළා විශේෂ අමුත්තා හැටියට සහභාගි වෙන්න කියලා. එතුමත් ඇවිත් දීර්ඝ වෙලාවක් ඉඳලා රාත්‍රි භෝජන සංග්‍රයත් භුක්ති විඳලා ජනතාව එක්කත් කතා කර කර ඉඳලා තමයි ගියේ.   


ප්‍රශ්නය - මේ මොහොත වනවිටත් නිශ්චිත අපේක්ෂකයෙක් තෝරා ගැනීමට නොහැකි තරමට ඔබේ කඳවුර දුර්වල වුණේ? 

 
පිළිතුර - අපි තීරණය කළා අපේක්ෂකයා කලින්ම දාන්න ඕනෑ නෑ කියලා.   


ප්‍රශ්නය - ඒකට හේතුව?   


පිළිතුර - දැන් බලන්නකෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කිරීම ඉක්මන් වැඩියි කියලා හැමෝම කියනවා. අර එතුමට තිබුණ ප්‍රතිචාරය දැන් එන්න එන්නම අඩුවෙලා. ඒකට හේතුව ඒ වගේ අලුත් කෙනෙක් දැම්මාම ඒ අයට ඒක ස්ථාවරව පවත්වා ගෙන යන්න බැරි වෙනවා. ගිය පාර වු​ෙණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් කලින්ම ඉදිරිපත් කරලා තිබුණානම් ඔහුගේ දුර්වලතා මිනිස්සු හඳුනා ගන්නවා. නමුත් එතුමගේ දුර්වලතා ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තේ ජනාධිපති වුණාට පස්සෙයි. අපට වුණත් ඇතිවුණ තත්ත්වය එහෙමයි. මේකම තමයි අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් හුඟාක් කලින් ඉදිරිපත් කරන්න නරකයි. එහෙම වුනාම එයාගේ වැඩකරන ශෛලිය අනාවරණය වෙනවා. එතකොට ඡන්දය ළංවෙන කොට ඒක අවාසියි. දැන් ඒක තමයි ගෝඨාභය රාජපක්ෂට වෙලා තියෙන්නේ.   


ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් සජිත් ප්‍රේමදාස කියනවා ‘මම එනවා’ කියලා?   


පිළිතුර - මේ රටේ ප්‍රධාන පක්ෂවල කවදාවත් අපේක්ෂකයකුට මම එනවා කියලා බලහත්කාරයෙන් එන්න බෑ. අවසාන තීන්දුව තියෙන්නේ පක්ෂයේ ලේකම් අතේනේ. එයා මේ ලියකියවිලි අත්සන් කරන්න ඕනෑනේ. බලහත්කාරයෙන් ඇවිත් එහෙම ඉදිරිපත් වෙන්න බෑ. පක්ෂයේ අනුමැතිය ලැබිය යුතුමයි. ස්වාධීනව එනවානම් තමන්ට ඕනෑ විදියට ආ හැකියි. ඒ නිසා කාටවත් කියන්න බෑ මම එනවා කියලා.   


ප්‍රශ්නය - එජාපයේම ප්‍රබල කණ්ඩායමක් කියනවා ‘ගම ඉල්ලන්නේ සජිත්’ කියලා?   


පිළිතුර - ඔය කියන කණ්ඩායමේ තියෙන දුර්වලකම තමයි ඔවුන් ප්‍රචණ්ඩ තාලෙට ජනාධිපති අපේක්කෂත්වය ඉල්ලා සිටීම. මේ සියල්ල සිදුවිය යුත්තේ පක්ෂය ඇතුළේ. මම අහනවා මුළු ඉතිහාසයේම බලහත්කාරයෙන් අපේක්ෂකත්වය ගත්තේ මොන අපේක්ෂකයා ද කියලා. කවුරුවත් එහෙම අරගෙන නෑ අද වෙනතුරු අපේක්ෂකත්වය අරගෙන තියෙන්නෙම පක්ෂය ඇතුළේ කරපු සංවාදයක් තුළයි.   


මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ වගේ ප්‍රබල අරගලයක් කළේ අපේක්ෂකත්වය ලබාගැනීමට. හැබැයි ඒ අරගලය එතුමා කළේ‍ පක්ෂය තුළ. පක්ෂයේ සංවිධාන තුළ. නැතිව එළියේ රැස්වීම් තියලා නොවෙයි. ඔහුට චන්ද්‍රිකා ජනාධිපතිනිය කොහොමටවත් අපේක්ෂකත්වය නොදෙන ස්ථාවරයේ තමයි හිටියේ. නමුත් ඔහු ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය කළේ පක්ෂය ඇතුළේ කරපු අරගලයක් තුළින්. ඔහුව යෝජනා කළේ පක්ෂයේ දිස්ත්‍රික් බලමණ්ඩලවල. එතැනින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්‍ඩලය, මධ්‍යම කාරක සභාව හරහා නම යෝජනා වෙලා. ස්ථිර වෙලා තමයි එතුමා ඉදිරියට ආවේ. එහෙම බලපෑමක් කරලා ඒ අපේක්ෂක සටන ජයග්‍රහණය කළා. එහෙම නැතිව එතුමා වෙනම රැස්වීම් තියාගෙන ගියේ නෑ අපේක්ෂකත්වය ඉල්ලාගෙන. මේ දෙකේ වෙනස හිතාගන්න.   


ප්‍රශ්නය - පක්ෂය සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැත්නම් සටන් කරනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නෑ?   


පිළිතුර - මම පිළිගන්නවා. හැබැයි ඒ සටන කළ යුත්තේ පක්ෂයේ සංවිධාන ඇතුළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ ජනප්‍රියත්වය හදාගන්න පාද යාත්‍රා කළා. ඒක පක්ෂ යාන්ත්‍රණයෙන් එළියටම ගිහින් ඒක කළා. අපිත් ඒ සටනේ හිටියා. එහෙම කළේ‍ එතුමා අපේක්ෂකත්වය ලබාගන්න නොවෙයි. එහෙම සටන් කළාට කමක් නෑ. නමුත් ඒ මහින්ද රාජපක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා එවැනි සටන් කළේ නෑ. අපේක්ෂකත්වය ලබාගන්න දායක වුණා එතුමා මහ පාරේ කරපු සටන්.   


ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂට 2005දී අපේක්ෂකත්වය දෙන්නේ ඒ සඳහා යූඑන්පී විරෝධි ජනතාව අතර ඉල්ලුමක් තිබුණ නිසයි?   


පිළිතුර - ඒක හරි! ඒ ජනතාවගේ ඉල්ලීම ඔහු ප්‍රකාශ කළේ හන්දි ගානේ නොවෙයි. එහෙම නැතිව චන්ද්‍රිකා කුමාරතුංගට බැණ වදිමින් චන්ද්‍රිකා කුමාරතුංගට එරෙහිව වහසි බස් දොඩමින් චන්ද්‍රිකා කුමාරතුංගට තර්ජනය කරමින් නොවෙයි.   


ප්‍රශ්නය - ඔබ කියන්නේ සජිත්ගේ පාර්ශ්වයෙන් එහෙම වෙනවා කියලද? 

 
පිළිතුර - සමහර සාමාජිකයන් තමන්ගේ නොදැනුවත්කම නිසා කනිෂ්‍ඨ අය එවැනි කෙටි ක්‍රියාමාර්ග ගන්නවා අපේක්ෂකත්වය ගන්න. ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්තයාට ඒක හරිම අවාසියක්. සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙම හැසිරෙන්නේ නෑ. එතුමා හරිම නිශ්ශබ්දව ඉන්නවා.   

 


ප්‍රශ්නය - නිශ්ශබ්දව ඉන්නවා?   


පිළිතුර - ඔව්! එතුමා අර ​රැස්වීම්වලට ගියා විතරයි. එතුමාට මොකද මම හිතන්නේ ඒවාට සහභාගි නොවී ඉන්න බෑ. එතුමා වෙනුවෙන් ඒවා සංවිධානය කළාම එතුමාට බල කෙරෙනවා එතැනට යන්න. එහෙම නැත්නම් එතුමා යන්නෙත් නෑ. නමුත් අනෙකුත් අය කරන දේවල් දිහා බැලුවම. මම මේක සජිත් ප්‍රේමදාස මහත්තයා හමුවුණ වෙලාවේදී එතුමටත් කිව්වා. මලික් සමරවික්‍රම මහ්තතයාලටත් මම කිව්වා. කබීර් හෂීම් ඇමැතිතුමාටත් කිව්වා. ඒ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සියලු දෙනාම පිළිගත්තා. මේක වැරැදියි කියලා. තමන්ගේ නායකයාව බිත්තියට හේත්තු කරලා ‘මේක දීපං’ කියලා ගන්න ක්‍රමවේදයක් නෑ. ඒ නායකයත් එක්කම කතා කරලා තමයි මේක ගන්න වෙන්නේ. එහෙම තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක අපේක්ෂකත්වය මැතිනියගෙන් ගත්තේ. මහින්ද ගත්තෙත් එහෙමයි. මැතිනියගෙන් අගමැතිධූරය අරගෙන චන්ද්‍රිකා දිවුරුම් දීම පිටට නොපෙනුණාට ඇතුළේ ඒකට ලොකු වැඩපිළිවෙලක් ගෙනිච්චා.   


ප්‍රශ්නය- ඔබ කියපු කබීර් හෂීම්, මලික්, මංගල, රංජිත් මද්දුම බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයන් කියන්නෙත් සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කියලයි?   


පිළිතුර - ඔව්! ඔය ඔක්කොම ඉන්නේ සජිත් එක්ක. පක්ෂයේ විශාල සහයෝගයක් එතුමාට තියෙනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයකුත් නෑ.   


ප්‍රශ්නය - ඔබට ප්‍රශ්නයක් තියෙනවා?   


පිළිතුර - මට ප්‍රශ්නයකුත් නෑ. නමුත් මේවා කරන ක්‍රමවේදය තමයි වැරැදි. මේක වාඩිවෙලා සාකච්ඡා කරමින් බලපෑම පක්ෂය ඇතුළෙන් ගේන්න ඕනෑ.   


ප්‍රශ්නය - එජාපයට හැමදාමත් තියෙන ප්‍රශ්නය ජනහද හඳුනා ගැනීමට නොහැකි වීමයි?   


පිළිතුර - ඇත්තටම තියෙන්නේ ඕකේ අනික් පැත්ත. එක්සත් ජාතික පක්ෂය හරියටම ජන හද ගැස්ම හඳුනා ගත්ත නිසා තමයි රණසිංහ ප්‍රේමදාස වගේ සාංචිආරච්චි වත්තේ ඉපදුණු කම්කරු පංතියේ කෙනෙකුට ජනාධිපති ධූරයට යන්න පුළුවන් වුණේ. ඔහුට ඒ අවස්ථාව පුදන්නේ ලංකාවේ හොඳම ප්‍රභූ පැලැන්තියේ පවුලකින් ජනිත වුණ ජේ.ආර්. ජයවර්ධන. එවැනි ප්‍රභුවරුන් විශාල සංඛ්‍යාවක් එවකට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටියදීත් තමයි මේ කියන ඔහුගේ පන්තියට පරිබාහිර පුද්ගලයකුට මේ අවස්ථාව දුන්නේ. ඒ එක්කම හොඳට මතක තියාගන්න. ඒ වගේම එදා ප්‍රභූ පැලැන්තියෙන් ආපු රනිල් වික්‍රමසිංහලා එකතුවෙලා තමයි ඩී.බී. විජේතුංග කියන ගොවියාව ජනාධිපති මන්දිරයට එක්කරගෙන ගියේ. ඒ වගේම හොඳට මතක තියාගන්න ප්‍රභූ පංතියෙන් ආපු රනිල් වික්‍රමසිංහ හතර පාරක් අගමැතිධූරය දරපු පුද්ගලයකු වෙලත් ඒ සියල්ල තමන් ළඟ තියාගෙන පොළොන්නරුවේ ගොවියකුගේ පුතෙකු වෙච්ච මෛත්‍රීපාල සිරිසේනව රජ පුටුවේ වාඩි කරවන්නේ. මෙන්න මේක තමයි මේ පක්ෂයේ තියෙන විශේෂත්වය. මේ පක්ෂයට ධනපති අධිරාජ්‍යගැති කියලා කිව්වට මේ පක්ෂය තමයි නිර්ධන පංතියේ මිනිසුන්ට ජනාධිපති මන්දිරයේ දොර විවර කළේ. කෝ ඔය තාම කතාකරන මහලොකු ප්‍රගතිශීලි කියලා කියන මිනිස්සු... ඔය කොමියුනිස්ට් පක්ෂය සමසමාජ පක්ෂය ලජ්ජා වෙන්න ඕනෑ බෝඩ් ලෑලිවලටත් ලජ්ජයි තාමත් පවුල්වාදයෙන් මිදෙන්න බැරි වුණානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනකම්ම තාත්තාගෙන් අම්මට අම්මගෙන් දුවට - පුතාටත් දෙන්න උත්සහ කළා. දැන් පොහොට්ටුවේ මොකද්ද වෙන්නේ? මෙතැන අයියලගෙන් මල්ලිලාට, නැත්නම් වැඩිමල් අයියට, එහෙම නැත්නම් භාර්යාවට. ඒකෙන් පිටවෙන එක නමක් කියන්න.   


ප්‍රශ්නය - සජිත්ට එරෙහි වෙන්නේ අගමැති රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ඕනෑ නිසා?   


පිළිතුර - එතුමාට උවමනාවක් තියෙනවාට වඩා එතුමා එක්කත් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් කියනවා අපේක්ෂකත්වය ඔවුන්ට ලබාදිය යුතුයි කියලා. එතුමාට තියෙන සුදුසුකම් සජිත්ට නෑ. සජිත්ට තියෙන සුදුසුකම් එතුමාට නෑ. ඒ දෙන්නටම නැති සුදුසුකම් තියෙන තව කට්ටිය ඉන්නවා. ඒක තමයි මේ පක්ෂයේ තියෙන විශේෂත්වය. පක්ෂයේ නායකයෝ ගොඩ නැගීමට හැකියාව තියෙනවා. ඒකට ඉඩ දීලා තියෙනවා. ඒ නිසා නායකයෝ බිහිවෙලා තියෙනවා. එතුමා ඉන්නවා. සජිත් ඉන්නවා. එතකොට කරු ජයසූරිය ඉන්නවා.   


ප්‍රශ්නය - ඔබත් ඉන්නවා?   


පිළිතුර - ඔව්! මමත් ඉන්නවා. චම්පික ඉන්නවා. මේ ඔක්කෝම දෙනාට අවකාශයක් ලැබිලා තියෙනවා. ඉදිරියට එන්න. ඒවා කපලා කොටලා නෑනේ රනිල් වික්‍රමසිංහ, අපේ වැඩපිළිවෙළ අපි ගොඩනගනකොට ඒවා කැපුවෙ නෑනේ. චම්පිකව කැපුවේ නෑනේ. ඒ වගේ ඕනෑම කෙනෙකුට මේකේ ඉඩ තියෙනවා. හැබැයි ඒ අය දැනගන්න ඕනෑ ඒ අවකාශය තිබුණා කියලා ඒකේ අන්තිම පිම්ම කොහොමද පනින්නේ කියලා. 

 
ප්‍රශ්නය - සුළු ජාතික පක්ෂ පෙන්නලා ඒ පක්ෂවල සහයෝගය සජිත්ට නෑ කියලා අපේක්ෂකත්වය තමන් සතු කර ගැනීම නේද අගමැති රනිල්ගේ උපාය මාර්ගය?   


පිළිතුර - අනිත් පක්ෂ එහෙම තීන්දුවක නෑ. එයා දැම්මොත් අපි නෑ කියලා ඒ පක්ෂ කියන්නේ නැහැ. අපි ඔක්කොම අය අපේ ප්‍රතිවාදියාට එරෙහිව කඳවුරු බඳිනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් ඇති කර ගන්න එපා. මෙතැන කිසිම බෙදීමක් ඇති වෙන්නේ නෑ. අවසන් තීන්දුව ගන්නේ ඔක්කොම එකට එකතු වෙලා.   


ප්‍රශ්නය - එහෙමනම් කවුද සජිත් ප්‍රේමදාසට සුළු ජාතික පක්ෂවල සහාය නෑ කියන ප්‍රචාරය අරන් යන්නේ?   


පිළිතුර - එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක තමයි මේක හොඳට කතාකළ යුතුයි කියලා කියන්නේ. බදුල්ලේ හරි මාතර හරි රැස්වීම් තිබ්බා කියලා යාපනේ මිනිස්සු ඡන්දෙ දාන්න එන්නේ නැහැනේ. ඒ සියලු දෙනාත් එක්ක අපි කතාකළ යුතුයි. හරිද? සජිත් නම් හොඳම අපේක්ෂකයා සජිත්ගේ දුර්වල උතුර නම් ඒ හිඩැස අපට පුළුවන් පුරවන්න. රනිල් නම් බුද්ධිමතුන්ගේ ‘චොයිස් එක’ රනිල්ට තියෙන හිඩැස් පුරවන්න හැකියාව තියෙනවා අපිටත් අනික් කට්ටියටත්. ඒ විදියටයි තියෙන්නේ. හැබැයි මේක ඒකාබද්ධ වැඩපිළිවෙළක් වෙන්න ඕනෑ ජයග්‍රහණය කරන්න.   


ප්‍රශ්නය- සන්ධානයේ ව්‍යවස්ථාව තාම හදාගන්න බැරි වුණා? 

 
පිළිතුර - නෑ. පහුගිය අඟහරුවාදා රාත්‍රියේ සියලුම දෙනා ව්‍යවස්ථාවට එකඟතාව පළකළා. ඒ ප්‍රශ්නය ඉවරයි. ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම මටයි බාරදීලා තිබුණේ. ඒ අලුත් ව්‍යවස්ථාව මම තව දවස් දෙකකින් ඉදිරිපත් කරනවා.   


ප්‍රශ්නය - සන්ධානයේ ලිපිනයට ඔබේ පුත් චතුර සේනාරත්නගේ ගෙදර ලිපිනය දීම ගැනත් විශාල විරෝධයක් තිබුණා?  


පිළිතුර - එහෙම ඇඩ්‍රස්වලින් මේ වගේ ලොකු සන්ධාන හදන්නේ නැහැනේ. ඒක කාගේ හරි මෝඩ කතාවක්නේ. ගෙවල්වල ඇඩ්‍රස් නැතිවුණාට අපිට ඕනෑ තරම් ඇඩ්‍රස් තියෙනවා. ඔය කියන ඇඩ්‍රස් එක චතුරගේ නොවෙයි. ඒ ස්ථානය චතුරගේ තැනක් තමයි. ඒ ස්ථානයේ තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණයේදී ප්‍රධානම මෙහෙයුම් මධ්‍යස්ථානය වුණේ. ඒක අමුතු තැනක් නොවේ. ඒකයි ඒ ඇඩ්‍රස් එක දැම්මේ. අපි තවම සාකච්ඡා කරනවා මේ ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ ගන්නවද කියලා. ඒකත් තවම විවෘතව තියෙන්නේ. එදා ජයග්‍රහණය කරපු ස්ථානය - එදා ජයග්‍රහණය කරපු ලාංඡනය ගන්නවද කියලා. සාකච්ඡා කරනවා. මොකද ඒක දැන් මිනිසුන්ට පුරුදුයි. ඒතැන මිනිසුන් දස දහස් ගණනක් ආව ගිය තැන. ඒකයි එතැන යෝජනා කළේ. වෙන දෙයක් හින්දා නොවෙයි.  


ප්‍රශ්නය - අලුත් සන්ධානයේ ලේකම් ධූරය සජිත් පාර්ශ්වයට අවශ්‍යයි කියලත් යෝජනාවක් ආවා?  


පිළිතුර - ඒගොල්ලන්ගෙන් ආවේ ඒක එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යයි කියලා. අන්තිමට තීන්දු කළේ එක්සත් ජාතික පක්ෂය නම්කරන කෙනෙකුට දෙන්නයි.  


ප්‍රශ්නය - ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස කරු ජයසූරියගේ නමත් කියැවෙනවා. ඔහු ‘ෆොටෝ ෂූට්’ එකකුත් කළා?  


පිළිතුර - එතුමා ජනාධිපතිවරණයට ඉල්ලුවේ නැතිවුණත් එතුමට ෆොටෝ ෂූට් එකක් කරන්න වෙනවනේ. ජනාධිපතිවරණය සමග මහ මැතිවරණයක් එනවා. මේ ජනාධිපතිවරණයෙන් කවුරු දිනුවත් ක්ෂණික මහ මැතිවරණය පැවැත්වෙනවා. ඒ නිසා අපි ඔක්කොම ලෑස්ති වෙනවා කොයි මැතිවරණයටත්.  


ප්‍රශ්නය- කරු ජයසූරිය ඉල්ලා අස්වෙන්න සූදානම් කියලත් ප්‍රවෘත්ති පළවුණා?  


පිළිතුර - එතුමා කොහොමත් මැතිවරණයක් ආවොත් ඉල්ලා අස්වෙන්න ඕනෑ. එතුමත් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනෑනේ.  


ප්‍රශ්නය - ජනාධිපතිවරණය පවත්වයිද? දැන් ඒ ප්‍රශ්නයත් මතුවෙනවා?  


පිළිතුර - පැහැදිලිවම ජනාධිපතිවරණය පවත්වනවා.  

 

හොඳට මතක තියාගන්න ප්‍රභූ පංතියෙන් ආපු රනිල් වික්‍රමසිංහ හතර පාරක් අගමැතිධූරය දරපු පුද්ගලයකු වෙලත් ඒ සියල්ල තමන් ළඟ තියාගෙන පොළොන්නරුවේ ගොවියකුගේ පුතෙකු වෙච්ච මෛත්‍රීපාල සිරිසේනව රජ පුටුවේ වාඩි කරවන්නේ. මෙන්න මේක තමයි මේ පක්ෂයේ තියෙන විශේෂත්වය. මේ පක්ෂයට ධනපති අධිරාජ්‍යගැති කියලා කිව්වට මේ පක්ෂය තමයි නිර්ධන පංතියේ මිනිසුන්ට ජනාධිපති මන්දිරයේ දොර විවර කළේ. කෝ ඔය තාම කතාකරන මහලොකු ප්‍රගතිශීලි කියලා කියන මිනිස්සු... ඔය කොමියුනිස්ට් පක්ෂය සමසමාජ පක්ෂය ලජ්ජා වෙන්න ඕනෑ බෝඩ් ලෑලිවලටත් ලජ්ජයි තාමත් පවුල්වාදයෙන් මිදෙන්න බැරි වුණානේ.


ප්‍රශ්නය- අගමැති රනිල් ගිහින් ජනාධිපති මෛත්‍රීගෙන් සහාය ඉල්ලුවා ජනාධිපතිධූරය අහෝසි කරන්න?  


පිළිතුර - විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම අපේ අංක එකේ ප්‍රතිපත්තිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවට වාඩි වුණෙත් ඒකට. ඔය හැම ජනාධිපති කෙනෙක්ම පත්වුණේ ඒකට. කළේ නැති වුණාට හරිද? අපි ගිය පාර ආවේ ඒක කරන්නමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ඔය මොනවා කිව්වත් ඒකට විශාල මහන්සියක් වුණා. මේ 19 වැනි සංශෝධනය ගේන්න වැඩිම මහන්සියක් වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි. ඒ කාල පරිච්ජේදයේදී එතුමා කරපු කාර්ය භාරය අද්විතීයයි. එතුමා නරක් වුණේ පස්සේ. හරිද? අපිට ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න බැරිවුණා. අපි අදත් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නවා මේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි කියලා. එක්සත් ජාතික පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි එතුමා ක්‍රියා කරන්නේ.  


ප්‍රශ්නය- ඉතාම හදිසියේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කතා කරන්නේ ජනාධිපතිවරණයට තියෙන භය නිසා? 

 
පිළිතුර - නෑ. ඇත්තටම මේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න එකඟතාවක් ඇති කරගන්න පුළුවන් වුණොත් ජනාධිපතිවරණයට යන කෝටි ප්‍රකෝටි ධනය ඉතුරු කරගන්න පුළුවන්. මොකද වැඩේ තියෙන්නේ ඊළඟ පාර එන ජනාධිපතිට බලයක් නෑ. අඩු ගානේ ඔහුට අමාත්‍යංශයක්වත් නෑ. ඔහුට තියෙන්නේ ඇමැති මණ්ඩලයේ මූලාසනය විතරයි. මොකද 19 වැනි සංශෝධනයේ අන්තර්වාර අයිතිවාසිකම් කිහිපයක් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පිදුවා. මොකද කරපු කැප කිරීමට. ඒ වරප්‍රසාද එකක්වත් ඊළඟ ජනාධිපතිට නෑ. 2019 දී එන ජනාධිපතිට අමාත්‍යංශයක්වත් නෑ. ව්‍යවස්ථාවෙන් අයිතිය ලැබෙන්නේ ඇමැති මණ්ඩලයේ මූලාසනය ගන්න විතරයි.  


ප්‍රශ්නය - ආරක්ෂක අමාත්‍යංශය?  


පිළිතුර - නෑ. ඒ මේ එකක්වත් නෑ.  


ප්‍රශ්නය - එතකොට සේනාධිනායක හැටියට ත්‍රිවිධ හමුදාවට අණ දීමේ බලය?  


පිළිතුර - ඒකත් නෑ. සේනාධිනායක විදියට ඔහු ඉන්නවා. පරණ විදියට. විලියම් ගොපල්ලව හිටපු විදියට තමයි අනාගත ජනාධිපතිට ඉන්න වෙන්නේ.  


ප්‍රශ්නය - පළාත් සභා ඡන්දය ගැනත් මේ අතරේ කතාබහට ලක් වෙනවා?  


පිළිතුර - නෑ. එවැනි ඉඩකඩක් ලැබෙන්නේ නෑ. ජනාධිපතිතුමා ඒ ගැන සොයලා බලනවා. නමුත් ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, ඒක වෙන කාටවත් තීන්දු කරන්න බැහැ.  


ප්‍රශ්නය - ඇමැති සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කිරීම ගැන හොයන්න අගමැති රනිල් කොමිටියක් පත්කළා? 

 
පිළිතුර - ඔව්! ඒ චෝදනාව ප්‍රී කැබිනට් රැස්වීමේදී ඇමැතිවරයෙක් ඉදිරිපත් කළා. ඒ ඇමැතිතුමා ඇහුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිකම දරන්නේ අගමැතිතුමා. ඒ නිසා ඒ ඇමැතිතුමා ඇහුවා අගමැතිතුමාගෙන්, මේ සල්ලි වියදම් කරලා තියෙන්නේ අගමැතිතුමාගේ අවබෝධයෙන්ද කියලා.  


ප්‍රශ්නය- අගමැතිවරයාගේ පිළිතුර?  


පිළිතුර - අගමැතිතුමා කිව්වා එතුමා කිසිම දෙයක් දන්නේ නෑ කියලා. ඒ අනුව තමයි ඒ ගැන හොයන්න කමිටුවක් පත් කළේ.  


ප්‍රශ්නය - ඇමැති සජිත්ට එරෙහිව කොමිටියක් දැම්මා කියන්නේ ඇමැති සජිත්ට ගහන්න පටන් ගත්තා කියන එකද?  


පිළිතුර - නෑ. එහෙම ගහන්න අපි ඉඩ දෙන්නේ නෑ. කොහොමටවත්.  


ප්‍රශ්නය - රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහට විනය පරීක්ෂණ තියන්න යනවා. මැතිවරණයක් කටඋඩ තියාගෙන මෙහෙම කළාම ප්‍රශ්නයක් නැද්ද?  


පිළිතුර - ඕනෑම පක්ෂයක විනයක් කියලා දෙයක් තියෙන්න ඕනැනේ. ඒක එක්සත් ජාතික පක්ෂයට අයිති කටයුත්තක්. පක්ෂයක් තියා මොකක්වත් විනය නැතිව පවත්වාගෙන යන්න බෑ.  


ප්‍රශ්නය - ජනාධිපති අපේක්ෂකත්වය ගැන ඔබත් නොඉවසිලිමත්ව බලාගෙන හිටියා?  


පිළිතුර - අපි බලමු. කවුරු හිටියත් අපි අන්තිමට තෝරන්නේ හොඳම අපේක්ෂකයා. ඒ අපේක්ෂකයා ඒකාන්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න. ඔබ මගෙන් ඇහුවනේ චතුර පුතාගේ කාර්යාලය ගැන. ඒක ගත්තත් නැතත් මේ ජනාධිපතිවරණ සටන මෙහෙයවන ප්‍රධානම කාර්යාලය බවට ඒක පත් කරනවා. එතකොට බලාගන්න පුළුවන් කොයි කාර්යාලය ද ජයග්‍රහණය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ‍ කියලා.  


ප්‍රශ්නය - පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇවිත් ඉන්නවා?  


පිළිතුර - ඔව් අපි බලාපොරොත්තුවෙන් හිටපු අපේක්ෂකයා. අපිට පරාජය කරන්න පහසුම අපේක්ෂකයා. ඔහු ආපු එක, ඒ නිසා වඩාත්ම හොඳයි.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්