IMG-LOGO

අගමැතිට එරෙහි විශ්වාසභංගය සැළසුම් කළේ මෙහෙමයි

යහපාලන ආණ්ඩුවට තරම් විශ්වාසභංග යෝජනා මෙරට පැවැති කිසිම ආණ්ඩුවකට ඉදිරිපත්ව නැත. 2015 වසරේ පත් වූ වත්මන් ආණ්ඩුවට එරෙහිව මේ වනවිට විශ්වාසභංග යෝජනා නවයක් පමණ ඉදිරිපත්ව තිබේ. ඇතැම්විට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට විරුද්ධව දෙතුන් වතාවක් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර තිබේ.   


මේ විශ්වාසභංග පෝළිමේ අලුත්ම විශ්වාසභංගය අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් පසුගිය බදාදා කතානායකවරයාට බාර දුන්නේය. විශේෂත්වයකි. මීට පෙර ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා මෙන් නොව මෙම විශ්වාසභංග යෝජනාවට රජය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ද අත්සන් කර ඇත. අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් මීට පෙරද විශ්වාසභංග යෝජනාවක්් කතානායකවරයාට බාරදුන් අතර එය මේ තරම් උද්වේගකර නොවීය.   


මෙවර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පළමු යෝජනාව ඉදිරිපත් වෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙනි. නිමිත්ත මහබැංකු බැඳුම්කර වංචාවය. සාකච්ඡාව ඇරඹෙන්නේ පළාත් පාලන මැතිවරණ සමයේදීය. මැතිවරණ උණුසුමින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ කතාබහ යටපත් විය.   


පළාත් පාලන මැතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අනපේක්‍ෂිත ජයග‍්‍රහණයෙන් ආණ්ඩුව කරන එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් දෙළොවක් අතර තනිවිය. ඒ පරාජයත් සමඟම යටපත්ව තිබූ එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද නැවැත අතු ඉතිලා වැඩුණි. අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව පාක්‍ෂිකයන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම අමාත්‍යවරුන් කඳවුරු බැඳගත්හ.   


ඒ පරිසරය තුළ අගමැතිවරයට එරෙහි විශ්වාසභංග යෝජනාවට නැවැත පණ ලැබුණි. එවර විශ්වාසභංගය පිළිබඳ යෝජනාව එන්නේ එක්සත් ජාතික පක්‍ෂයෙනි. ඒ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගෙනි. ඔහු වටා එක්සත් ජාතික මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ද  එක් වූහ. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන්ගෙන් ද එයට උත්තේජනයක් ලැබුණි. ඔවුහු ද අගමැතිවරයාට එරෙහි ලියැවිල්ලකට අත්සන් එකතු කළෝය.   


එහෙත් එක්සත් ජාතික පක්‍ෂය තුළින්ම ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව තවත් එක් යෝජනාවක් පමණක් බවට පත්වෙන ලකුණු පහළ වෙමින් තිබුණි. ඒ තුළ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කඩිනම් කළ යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කළේය. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් මෙරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ නිවසේ දෙතුන් වරක් රැස්වී සාකච්ඡා කළහ. ඒ කිසිදු සාකච්ඡාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී නොවීය. එහෙත් ඒ සෑම සාකච්ඡාවකටම හිටපු ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ලැබී තිබුණි.   


එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ගේ අස්සන් ද මෙම විශ්වාසභංග යෝජනාවට ලබාගත යුතු බවට ප‍්‍රසන්න රණතුංග හා මහින්ද යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරුන් යෝජනා කළහ. එසේ වුවහොත් ආණ්ඩුව යම් තිගැස්මකට පත් කළ හැකිවනු ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් කල්පනා කළහ. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කිරීම, චෝදනා පෙළ ගස්වමින් විශ්වාසභංග යෝජනාව සකස් කිරීම හා අත්සන් එකතු කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් පත් කෙරිණ.   


ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීම මහින්දානන්ද අලුත්ගමගේ හා ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරුන්ට භාර වූ අතර එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා කිරීම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට භාරවිය. කරුණු පෙළ ගස්වමින් විශ්වාසභංග යෝජනාව සකස් කිරීම උදය ගම්මන්පිල හා බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරුන්ට බාර වූ අතර, විශ්වාසභංග යෝජනාවට අත්සන් එකතු කිරීම ශෙහාන් සේමසිංහ හා මහින්දානන්ද අලුත්ගමගේට බාරවිය. අනෙක් මන්ත‍්‍රීවරුන් ද අඩු වැඩි වශයෙන් මේ කාර්යයයට සම්බන්ධ වූහ.   


 ඒ අනුව මහ බැංකු බැඳුම්කර වංචාවක් සිදුකිරීමේ කූට අරමුණින් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත්කර තමන් යටතට පවරා ගැනීම, ශ්‍රී ලාංකා පුරවැසියකු නොවූ ද අපකීර්තිමත් ඉතිහාසයක් ඇත්තාවූ ද බැඳියාවන් අතර ගැටුමක් ඇත්තාවූ ද අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට යෝජනා කිරීම, මෑත යුගයේ ලෝකයේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ඉතා පැහැදිලි ලෙස සම්බන්ධවීම ඇතුළු චෝදනා 14ක් ගොනු කරමින් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් විශ්වාසභංග යෝජනාව සකස් කළෝය.   


මුලින්ම විශ්වාසභංගයට ඇතුළත්වූයේ චෝදනා 13කි. එහෙත් විශ්වාසභංග යෝජනාව සකස්වෙන අවධියේ දී සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් නීතිය හා සාමය විෂයභාර ඇමැති වශයෙන් අග‍්‍රාමාත්‍යවරයා පත්විය. එමෙන්ම ඒ අවධියේ දී තෙල්දෙණිය ප‍්‍රදේශයේ සිංහල-මුස්ලිම් ගැටුමක් ඇතිවිය. එහෙත් එම සිද්ධිය වැළැක්වීමට පියවර නොගැනීම පිළිබඳ චෝදනාව ද එක් කරමින් චෝදනා 14ක් යටතේ විශ්වාසභංග යෝජනාව සකස් කෙරිණ.   


අනතුරුව පසුගිය සිකුරාදා, (16) වැනිදා සිට විශ්වාසභංග යෝජනාවට අත්සන් එකතු කිරීම සිදුවිය. ඒ අනුව ප‍්‍රථමයෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අත්සන් තැබීය. අනතුරුව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විවිධ ස්ථානවල දී විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූහ. අත්සන් ලේඛණය තිබුණේ ශෙහාන් සේමසිංහ මන්ත‍්‍රීවරයා ළඟය. අත්සන් ලබාගැනීමේ කටයුතුවලට යෑමේදී ඔහු තම ආරක්‍ෂකයකුවත් රැගෙන ගියේ නැත. අත්සන් ලබාගැනීමේ දී ඒ තරම්ම පරෙස්සම් විය.   

 

 

එදින බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාෙව් දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාට ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය පැවැත්විණි. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් එහිදීද විශ්වාසභංගයට අස්සන් ලබාගත්හ. එහෙත් හිටපු ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්‍ෂයට සහය දක්වන සිරිපාල ගම්ලත් හා රොෂාන් රණසිංහ මෙයට අත්සන් තැබුවේ නැත. ඒ ඔවුන් දෙදෙනා විදේශගතව සිටි බැවිනි. හිටපු ජනාධිපතිවරයා මෙයට අස්සන් තැබීමට සූදානමින් සිටිය ද ජාතික නායකයකු ලෙස ඔහුගේඅස්සන විශ්වාසභංග යෝජනාවක් වැනි ලියැවිල්ලකට සුදුසු නොවන බව එකාබද්ධ විපක්‍ෂයේ නායකයන් පෙන්වා දුන්හ. ඒ අනුව ඔහු අස්සන් තැබීමෙන් වැළකී සිටීමට තීරණය කළේය.   

විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාරදීමට එම අස්සන් ප‍්‍රමාණවත් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් තීරණය කළහ. නීතිමය ගැටලු හේතුවෙන් මෙයට අස්සන් නොතබන බවත් ඡන්දය විමසීමේ දී ඒකාබද්ධය විපක්‍ෂය සමඟ එක්ව ඡන්දය ප‍්‍රකාශ කරන බවත් ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් දැනුම් දී තිබේ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් ඒ තීරණයට එකඟවූයේ නැත. විශ්වාසභංග යෝ්ජනාව වඩාත් ප‍්‍රබල වීමට නම් අවම වශයෙන් ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක්වත් විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබිය යුතු බවට ඔවුන් කීය.   


එය අනවශ්‍ය බවත් අස්සනට වඩා ඡන්දය වඩාත් වටිනා බැවින් ඔවුන්ගේ සහය එවිට ලබාගැනීම වඩා වැදගත් බව හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් කීව ද ආණ්ඩුපක්‍ෂයෙන් අස්සන් ලබාගැනීම සම්බන්ධයෙන් තරුණ මන්ත‍්‍රීවරුන් යුහුසුළු වූහ. ඒ අනුව පසුගිය ඉරිදා (18 වැනිදා) ඉහත සඳහන් කළ ව්‍යාපාරිකයාගේ නිවසේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හමුවූහ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ඇතුළු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනක් ද එක් වූහ.   


අනතුරුව සඳුදා දිනයේ දී (19 වැනිදා) ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචි නිළමේ හා නිශාන්ත මුතුහෙට්ටිගම හා වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර්


ස්තාන් විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූහ. ඉන් එක්සත් ජාතික පක්‍ෂය යම් තරමකට කැළඹීමකට පත්විය. විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් පිරිස ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය ඉල්ලීමක් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒ සම්බන්ධයෙන් තවමත් මුනිවත රකී.   


මේ වෙනවිට විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාරදී ඇති අතර එය ලබන මස 4 වැනිදාට විවාදයට ගැනීමට තීන්දුවී තිබේ. තවත් සති එකහමාරකට ආසන්න කාලයක් ඇති බැවින් දේශපාලන පොරපිටියේ හැසීරීම කෙසේ වේදැයි දැන්ම අනාවැකි කිව නොහැකිය. කෙසේ වෙතත් එකක් කිව හැකිය. පෙර විශ්වාසභංග යෝජනා මෙන් නොව මේ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව සිටින්නේ හතරගාතයේ වැටිලාය.   


යහපාලන ආණ්ඩුවට උපතේදීම විශ්වාසය භංගවීමේ මාරාන්තික රෝගය වැළඳුණි. දැන් ඒ රෝගය ආණ්ඩුව නැමැති ශරීරයේ පැතිරීගොස් අවසන්ය. එහෙයින් නැවැත විශ්වාසය තහවුරු කර ගැනීම අතිශයින්ම අසීරුය. එහෙත් මේ මොහොතේදී විශ්වාසය තහවුරු කර නොගන්නේනම් ආණ්ඩුව ඉතාම අවදානම් තත්ත්වයකට පත්වනු ඇත. ඒ වගකීම ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ කර මතය.   

 

 

 

නාලක සංජීව දහනායක   

 



අදහස් (0)

අගමැතිට එරෙහි විශ්වාසභංගය සැළසුම් කළේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 123 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 666 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site