​සෞඛ්‍ය බලධාරීන්ගේම සංඛ්‍යාලේඛනවලට අනුව මෙම වසරේ පළමු මාස 6 ඇතුළත වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය 70,000 ඉක්මවා යන අතර මරණ සංඛ්‍යව 215කි. ඒ අනුව මෙම වසරේ ඩෙංගු පැතිරීමේ ප්‍රමාණය සහ තීව්‍රතාවය පසුගිය වසරට වඩා දෙගුණයකින් වැඩි වනු ඇත. එහෙත් මීට වසර 5කට පෙර සංඛ්‍යාලේඛන සමඟ සැසඳීමේදී රෝගයේ පැතිරීමට සාපේක්ෂව මරණ ප්‍රතිශතය අඩුවී ඇත. එම ප්‍රතිශතය 1% සිට 0.3% දක්වා අඩුවී ඇත. ඩෙංගු ප්‍රතිකාර සඳහා විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීම සහ ප්‍රතිකාරවල ගුණාත්මක මට්ටම ඉහළයාම ඊට හේතු විය හැක. එහෙත් වසංගත තත්ත්වයක් පාලනය කිරීමේදී බරපතළ ගැටලුවක් මතු වී තිබෙන බව පැහැදිලිව පෙනේ. ඒ ආකාරයට වසංගත තත්ත්වය වසරක් පාසා දෙගුණ වෙමින් පවතින්නේ ඩෙංගු පාලනය සඳහා බොහෝ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් හඳුන්වාදී තිබිදීය. එම වැඩසටහන් සඳහා යොදවන සම්පත් ප්‍රමාණය ද ඉහළ මට්ටමක පවතින බව පෙනේ.   

 

 

අද වනවිට ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් බොහෝ දුරට “සිරස්” වැඩසටහනක් බවට පත් වී ඇත. එනම් ඉහළ සිට පහළට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ ඒ සඳහාම වෙන් වූ විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ. එම වැඩසටහන තුළ වාහකයා පැතිරීම අාවේක්ෂණය කිරීම, රෝගය පැතිරීම ආවේක්ෂණය සහ සිතියම්ගත කිරීම සඳහා ජාතික මට්ටමින් පරිගණක මෘදුකාංගයක් ද භාවිතා වේ. එහෙත් රෝගය සීග්‍රයෙන් පැතිරයාම ආරම්භ වනවිටම ක්ෂණිකව ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍යවන දැඩි පරිපාලන ක්‍රියාමාර්ග සහිත යාන්ත්‍රණයක් සකස් වී නැත. එසේම දින 3, දින 5 හෝ 7 වශයෙන් විශේෂ වැඩසටහන් දියත් වුවද බිම් මට්මමේදී පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් මහජන සහභාගීත්වය “සහභාගීත්ව වැඩසටහනක්” ලෙස සහිත ස්ථිර යාන්ත්‍රණ සකස් වී නැත. එම නිසා එම වැඩසටහන මහජන සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ථානගත වෙන්නේ නැත. ඊට පහසුකම් සැලසීම සඳහා බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් රාශියක් සිටියත් මහජන සහභාගීත්ව ප්‍රවේශයට ප්‍රමුඛතාවය ලැබී නැත.   


කෙසේ වෙතත් මීගමුව සහ අයි.ඩී.එච්. වැනි රෝහල් ආශ්‍රිතව යම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉහළ කැපවීම නිසා ඉහළ ගුණාත්මක මට්ටමක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථාන බිහි වුවද එම ප්‍රවේශය අනෙකුත් ද්විතීක රෝහල් දක්වා වර්ධනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් වී ඇත. අඩු තරමින් එම විශේෂ මධ්‍යස්ථාන සතු දැනුම් පද්ධතිය සහ හැකියාවන් සමස්ත සෞඛ්‍ය සේවකයින් අතරට ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නැත. එසේම සමස්තයක් ලෙස පෞද්ගලික සහ රජයේ රෝහල් සහ වෛද්‍යවරුන් මගින් ලබාදෙන ප්‍රතිකාර සේවා සහ මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සඳහා මහජන සෞඛ්‍ය අංශ විසින් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස්කොට නැත.   


එදා මැලේරියාව මර්දනය කිරීම සඳහා මැලේරියා මර්දන ව්‍යාපාරය ‘සිරස්’ වැඩසටහනක් ලෙස ස්ථාපිත කිරීමට සිදුවූයේ අද මෙන් බිම් මට්ටමේ දියුණු මහජන සෞඛ්‍ය සේවා ජාලයක් නොතිබූ නිසාය. නමුත් අද ඉතා පහසුවෙන් බිම් මට්ටමේදී “තිරස්” වැඩසටහනක් ලෙස මහජන සෞඛ්‍ය සේවකයින් සහ මහජනතාව සහ පළාත් පාලන ආයතන වැනි අනෙකුත් වගකිවයුතු ආයතන ඒකාබද්ධ කෙරෙන කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කළ හැක. එසේ නොකිරීමේ ‘වරද’ එසේම තිබියදී රෝගීන් ආවේක්ෂණය කිරීමට අදාළව අද තවත් ඉතා බරපතළ වරදක් සිදුවේ. ඒ ඩෙංගු වයිරසය සහ වාහකයා අතර සම්බන්ධය පාලනය කිරීම සඳහා රෝගියාගේ හැසිරීම පාලනය කිරීමට ප්‍රමුඛතාවයක් ලබානොදීමය. එසේ රෝගියා සහ වාහකයා අතර සම්බන්ධය වැළැක්වීම ප්‍රතිකාරවල කොටසක් සේම රෝගය පැතිරීම අාවේක්ෂණය කිරීමට අදාළ ප්‍රබල මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකමකි. නමුත් ඒ සඳහා කරනු ලබන මැදිහත්වීම ඉතා පුදුම සහගත ලෙස අවම මට්ටමක පවතී. එයට හේතුව ලෙස දැකිය හැක්කේ සියලු වැඩසටහන්වල අවධානය වාහකයා බෝවීම වැළැක්වීම සඳහා පමණක් යොමු වීමය.   


යම් රෝහල්වල එසේ ඩෙංගු රෝගීන් නිදැල්ලේ පසුවීම නිසා සෞඛ්‍ය සේවකයින් විශාල පිරිසකට රෝගය බෝවීමට හේතු වී ඇත. එම තත්ත්වය තුළ වෙනත් රෝග සඳහා නේවාසික ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා මහජනයා පත්ව අැත.

උදාහරණයක් ලෙස වයඹ පළාතේ ප්‍රධාන රෝහලක වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් සේවකයින් 50කට ආසන්න පිරිසකට ඩෙංගු රෝගය බෝවීමෙන් පසුව ද එම රෝහලේ බලධාරීන්ට මෙම සරල වසංගත රෝග මූලධර්මය තේරුම් ගොස් නැත. ඩෙංගු රෝගීන්ට මදුරු දැල් ලබාදීම, ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වෙන ඇඳුම් අැඳීම සහ ශරීරයේ විවෘත ප්‍රදේශවල මදුරුවන් පළවාහැරීම සඳහා යොදා ගන්නා බෙහෙත් වර්ග ආලේප කිරීම වැනි මදුරු නාශකවල ගිල්වූ මදුරු දැල් භාවිතා කිරීම පියවරවලින් කිසිදු පියවරක් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට එම රෝහල් බලධාරීන් අසමත් වී ඇත.   


ඒ පිළිබඳව යම් රෝගීන් විසින් ප්‍රශ්න කිරීමේදී ඊට විවිධ පිළිතුරු ලබාදීමට වගකිවයුත්තන් ඉදිරිපත් වී ඇත. යම් බලධාරීන්ට අනුව එසේ මදුරු දැල් යට රෝගීන් තබා ගැනීම හෙදියන්ට කරදරයක්ය. තවත් අයට අනුව එසේ රෝගියා සහ මදුරුවා අතර සම්බන්ධය වැළැක්වීම ඩෙංගු පාලනයේදී වැදගත් උපායමාර්ගයක් නොවේ. වසංගත රෝග පාලනය කිරීමේ මූලධර්මය වටහා ගැනීමට සඳහා වෛද්‍ය විද්‍යාව හැදෑරීම අවශ්‍යම නොවේ. උසස් පෙළ විද්‍යා සිසු සිසුවියන්ට පවා ඒවායේ වැදගත්කම වටහාගත හැක. උදාහරණයක් ලෙස සහ උපකල්පනයක් ලෙස ඩෙංගු මදුරුවන් විසින් සමස්ත ජනතාවට දෂ්ඨ නොකරන්නේ නම් සතියකට පසු සමස්ත රටේම නව ඩෙංගු රෝගීන් දක්නට නොලැබේ. එසේම මදුරුවන් විසින් සියලු ඩෙංගු රෝගීන්ට දෂ්ඨ කිරීම නවත්වන්නේ නම් සති 5කට පසු නව ඩෙංගු රෝගීන් දක්නට නොලැබෙනු ඇත. ඩෙංගු බෝකරන ඊඩිස් මදුරුවා සැබෑ ලෙසම ඩෙංගු මදුරුවෙක් වන්නේ ඩෙංගු රෝගියෙක්ට දශ්ඨ කිරීමෙන් පසුව වයිරසය එම මදුරුවාගේ ශරීරයට ඇතුළත්වීමෙන් පසුව පමණි.   


ඉහත දැක්වූ පැහැදිලි කිරීම අනුව ඩෙංගු රෝගීන් සහ මදුරුවා අතර සම්බන්ධය වැළැක්වීම මදුරුවන් බෝවීම වැළැක්වීම තරමටම වැදගත් බව අවධාරණය වේ. එහෙත් මේ දිනවල රෝහල්වල රෝගීන් ප්‍රතිකාර ගන්නා ආකාරය රූපවාහිනී තිර මගින් දකින මහජනයාට එතරම් වැදගත් වන ඩෙංගු පාලන උපායමාර්ගය නොසලකා හරින ආකාරය පැහැදිලිවේ. විශේෂයෙන්ම ඩෙංගු රෝගීන් සමූහයක් එක්තැන්වන තැනක මදුරු ගහණය වැඩි නම් තත්ත්වය තවත් භයානක වේ. නමුත් රෝහල් තුළ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට යම් ප්‍රමුඛතාවයක් ලබා දුන්න ද වැඩිහිටි මදුරුවන්ගේ ගණත්වය නිරන්තරයෙන් සොයා බැලෙන්නේ නැත. බොහෝ විට අක්‍රමවත් ලෙස ධුමායනය කරන්නේ එවැනි විධිමත් නිරන්තර සොයා බැලීමකින් තොරවය.   


කෙසේ වෙතත් රෝහල් ආශ්‍රිතව නිරන්තරයෙන් ධූම ප්‍රතිකාර කිරීම නිසා එසේ සොයා බැලීම අවශ්‍ය නොවන බවට ද මතයක් ඇත. නමුත් සත්‍ය තත්ත්වය ඉතා භයානකය. ධූම ප්‍රතිකාරය පැති කිහිපයකින් ක්‍රමානුකූලව වටකරමින් නොකළහොත් මදුරුවන්ට එක් දිශාවකට පියඹා පළා යාමේ අවස්ථාව ලැබේ. යම් පරීක්ෂාවලින් ඔප්පු වී ඇත්තේ අවිධිමත් දුම් ගැසීම්වලින් මරණයට පත් වන්නේ මදුරුවන් 20% පමණ බවය. එසේ නම් 80% මදුරුවන් අසල්වැසි නිවාස වෙත පියඹායනු ඇත. ඔවුන් එසේ පියඹා යන දුර මීටර් 100 සිට 1000 දක්වා විය හැක. ඒ අනුව රෝහල් තුළ එකට කැටිවී නිරාවරණව සිටින ඩෙංගු රෝගීන්ගෙන් ලේ උරාබී මදුරුවන්, අසල්වැසි නිවාස වෙත පළවා හැරීමේ වරදට ලබාදෙන ”දඬුවම” කුමක්ද? ඩෙංගු මර්දන ව්‍යාපාරය තුළ දක්නට ලැබෙන තවත් මූලික උපායමාර්ගික වරදක් වෙන්නේ මදුරුවාගේ හැසිරීම්වල වෙනස්කම් අඛණ්ඩව අධ්‍යයනය කිරීම සඳහා​ පර්යේෂණ සංස්කෘතියක් නොමැති වීමය. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ ඩෙංගු මර්දන වැඩසටහන් තුළ කීට විද්‍යාඥයින්ට ප්‍රධාන ස්ථානයක් හිමි නොවීමය. ඔවුන් හුදු නියෝග පිළිපදින පිරිසක් බවට පත්වී ඇති බැවින් දියුණු පර්යේෂණ මනසකින් ඔවුන්ගේ වගකීම් ඉටුකරන තත්ත්වයක් නිර්මාණය කිරීමට බලධාරීන් අපොහොසක් වී ඇත.   


ඊඩිස් ඊජිප්ටයි වැනි දින 14ක් වැනි කෙටි කාලයක් තුළ බිත්තර වාර 3ක් පමණ දමන ඉතා සක්‍රීය වසංගත වාහකයෙක්ගේ හැසිරීම් පිළිබඳ ඉතා දැඩි සහ නිරන්තර අධ්‍යයනයක් අවශ්‍ය බවට විවාදයක් නැත. මීට වසර 20කට පෙර සිටි මදුරුවාගේ ජීවන හැසිරීම් දැන් වෙනස්වන පාරිසරික තත්ත්වයන් යටතේ බොහෝ සේ වෙනස් වී තිබිය හැක. මෑතකාලීනව පුවත්පත්වල පළවූ පර්යේෂණ වාර්තාවක් අනුව හෙළිවූයේ මෙම මදුරුවා වැසිකිළි වළවල් ඇතුළු අපවිත්‍ර ජල දේහයන් ද තම බෝකිරීම සඳහා යොදාගන්නා බවය.   


මැලේරියා මර්දන ව්‍යාපාර සාර්ථක වීම සඳහා කීට විද්‍යාඥයින්ගේ සක්‍රීය දායකත්වය බෙහෙවින් උපකාරී විය. විශේෂයෙන්ම වාහකයා ආවේක්ෂණය කරමින් රෝගීන්ගේ පැතිරීම අනුව වහා ක්‍රියාත්මක වීම සඳහා වාහක පාලනය කීට විද්‍යාඥයින්ගේ නායකත්වය යටතට පත්කළ යුතුය. සතියකට වරක් දත්ත සමාලෝචනය කිරීම වෙනුවට වහා ක්‍රියාත්මක වීමේ ක්‍රමවේද හඳුන්වාදිය යුතුය. අතීත අත්දැකීම් නැවත ප්‍රතිනිර්මාණය කරමින් වැරදි නිවැරදි කිරීමට දැන් කාලය පැමිණ ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව ඉතා දක්ෂ මහජන සෞඛ්‍ය සහ වසංගත රෝග විද්‍යාඥයින් පිරිසක් සිටිති. අවශ්‍ය වන්නේ ඔවුන්ගෙන් වැඩ ගන්නා කළමනාකරණ යාන්ත්‍රණයක් සහ සංස්කෘතියක් මෙන්ම ”සිරස්” වැඩසටහන් හැකිතාක් “තිරස්” කරන උපායමාර්ගික ප්‍රවේශයක්ය. එසේම ඉහත සඳහන් කළ මූලික වසංගත රෝග පාලන මූලධර්ම නොසලකා ක්‍රියාකරන පරිපාලන නිලධාරීන්ගේ මොළය පෑදීම ද ඉතා අත්‍යවශ්‍ය වේ.   


කෙසේ වෙතත් පසුගිය කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ කැපවීම නිසා ප්‍රතිකාර සේවාවල ගුණාත්මක තත්ත්වය ඉහළ මට්ටමක පැවතුනත් ප්‍රායෝගිකව රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදවල දුර්වලතා නිසා බරපතළ රෝගීන්ට නිසි අවධානය ලබාදීමේ ගැටලු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස උණ රෝගීන් පළමු පරීක්ෂාවේදී රුධිර පරීක්ෂණ මගින් තහවුරුකර ගැනීම අනුව වර්ග කිරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවනවිට වාට්ටු පිරී යාම නිසා ප්‍රතිකාරවල ගුණාත්මක තත්ත්වය පහත වැටේ. යම් රොහල්වල “ඉහළ යැපුම් මධ්‍යස්ථාන” පිහිටුවීම මගින් රක්තපාත රෝගීන්ට විශේෂ අවධානය යොමුකිරීමට කටයුතුකොට ඇත. එහෙත් වෛද්‍යවරුන්ට අනුව මෙවර වසංගතය තුළ “දෙවැනි ආදර්ශය” වර්ගයේ වයිරසය බහුලවීම නිසා රෝගී තත්ත්වයන් ඉතා සීඝ්‍රයෙන් වෙනස්වෙන බැවින් නිරන්තර අවධානය ලබාදීමේ අවශ්‍යතාව වැඩි වී ඇත. ඊට පිළිතුරු ලෙස ඩෙංගු ප්‍රතිකාර සඳහා වන විශේෂ මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කළ යුතු අතර සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීමට වැඩි අවධානයක් යොමුකළ යුතුය. නමුත් ඒ සඳහා ජාතික මට්ටමින් ඉලක්ක සහගත වැඩසටහනක් තිබෙන බව පෙනෙන්නේ නැත.   


අවසාන වශයෙන් කිවයුත්තේ ඩෙංගු මර්දනය පිළිබඳ කියුබාවෙන් ඉගෙන ගත යුතු බව බලධාරීන් පැවසුවත් කියුබාව එම අභියෝගය ජයගත් අාකාරය ඔවුන් විසින් ගැඹුරින් හදාරන්නේ නැත. එහිදී ඔවුන් බී.ටී. බැක්ටීරියාව හෝ වෙනත් “ලාවා භක්ෂක” මදුරු විශේෂ ගැන විශේෂයෙන්ම කථා කළත් කියුබාවේදී එ්වාට හිමිවන්නේ ඉතා සුළු පර්යේෂණ මට්ටමේ වැදගත්කමක් පමණි. එසේම කියුබාව තම යුද හමුදාව යොදාගෙන ඩෙංගු අභියෝගය ජයගත් බව සඳහන් වුවද එය අර්ධ සත්‍යයකි. කියුබාව යොදාගත් මූලික උපායමාර්ගය තුළ මහජන සහභාගීත්වය, මහජන ක්‍රියාකාරීත්වය සහ සක්‍රීය අධීක්ෂණයට වැඩි අවධානයක් යොමුවිය. අප රටේදී සිදු නොවන්නේ ද එයමය. මහජනයාට සහ සෞඛ්‍ය සේවකයාට ඉහළින් නියෝග දීම, නීති මගින් දඬුවම් කිරීම හෝ මහජනයාට පිටින් විශේෂ යාන්ත්‍රණ යෙදීම මගින් කියුබාවේදී කරන දේ කළ නොහැකි බව අප දැන්වත් පිළිගත යුතුය. එසේම බී.ටී. බැක්ටීරියාව හෝ වෙනත් ලාවා භක්ෂක මදුරු විශේෂ මගින් මැජික් පෙන්විය හැකි යැයි අප රටේ බලධාරීන් විශ්වාස කිරීම නිසා දීර්ඝකාලීනව පවත්වාගත හැකි සහ ප්‍රතිඵලදායක ක්‍රමවේද අවතක්සේරුවට ලක්වී ඇත. කියුබාවේදී දක්නට ලැබෙන තවත් විශේෂයක් වන්නේ කළ යුතු සියල්ල බාධක නොසලකා කෙසේ හෝ ඉටුකිරීමය. අද වනවිට වැහි පිහිළි සහිත එක නිවසක් හෝ කියුබාවේ නැත. තම වැරදි නිවැරදි කර ගැනීමට අප රටේ බලධාරීන් මොළේ පාදා ගන්නේ නැතිනම් ලබන වසරේදී තත්ත්වය තවත් දරුණු වන බවට කිසිදු සැකයක් නැත.