IMG-LOGO

පෙළපොත තුළ තිබී හමුවූ රුපියල් විසිදාහ ආපසු දුන් දියණියගේ පිනෙන් පියාගේ දෑස් පෑදෙයි

 

 

 තමන්ට පාසලෙන් ලැබුණු පෙළ පොතක තිබූ අන්සතු මුදලක් අවංක චේතනාවෙන් ආපසු ලබා දුන් රත්තරන් දියණියකගේ පිනෙන් වසර එකොළහකට ආසන්න කාලයක් දෑස් නොපෙනී සිටි පියාට පසුගිය සතියේදී යළි පෙනුම ලැබුණි.   


ඔහු වසර එකොළහකට පසුව තම ආදරණීය දියණියන් දෙදෙනාගේ සහ ආදරණීය බිරිඳගේ මුහුණු පැහැදිලිවම දැක ගත්තේය.   


 මෙයද තවත් අපූරු කතා පුවතකි. සානුකම්පිත මිනිසුන් පිළිබඳව කියැවෙන කතාවකි.   


 මේ මහඟු‍ පිංකමට මඟ පෑදුනේ මේ අපූරු දියණිය පිළිබඳව පසුගිය පෙබරවාරි මස 7 වැනි දින “ඉරිදා ලංකාදීප”‍ පුවත්පතේ පළ කළ පුවතක් මූලික කර ගනිමින්ය. 

 
 ඉබ්බාගමුව ආදර්ශ මහා විදුහලේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දීප්ති සුභාෂිණි දියණිය තම අවංකකමෙන් මුළු රටටම අපූරු පාඩමක් කියා දුන්නාය. ඒ කතාව මුළු රටටම මුලින්ම කීවේ ඉරිදා ලංකාදීපයයි. තමන්ට මේ වසර සඳහා පාසලෙන් ලැබුණු පෙළ පොතක පිටු අතරේ තිබී හමුවූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු හතරක් නැතිනම් රුපියල් විසිදහසක් වූ විශාල මුදලක් සුභාෂිණි දියණිය ඒ මොහොතේම තම පන්ති බාර ගුරුතුමිය වෙත නොපැකිලව බාර දුන්නේ තම අවංකත්වය කියා පාමින්ය.   


හදිසි අනතුරකින් දෙනෙත් අඳව සිය පවුලම අසරණභාවයට පත්ව එක් වේලකින් බඩගින්න නිවා ගනිමින් කුසගින්නේ අධ්‍යාපනය ලබමින් සිටි මේ දියණිය වටිනා මුදල් නෝට්ටු හමුවේ තම කුසගින්න පාවා නොදීමට තරම් අවංක දැරියක් වූවාය.   


මේ දියණියගේ අවංකත්වය ඉරිදා ලංකාදීපයෙන් මුළු රටම දැනගැනීමෙන් පසුව ඇය රටටම ලබා දුන් අවංකත්වයේ පාඩමෙන් අද ඇයගේ මුළු පවුලටම වාසනාව උදාකරදී ඇත. මේ පුවත දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටුමැටි ගැසූ කුඩා පැලක ජීවත්වූ සුභාෂිණි දියණියට සහ ඇගේ පවුලේ සාමාජිකයන් හට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව නිවසක් ඉදිකර දීමට මේවනවිට පියවර ගෙන ඇත. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක අඩු ආදායම්ලාභි නිවාස ව්‍යාපෘතිය යටතේය.   


ඉතා හොඳින් දෑස් පෙනී දෑතේ මහන්සියෙන් පවුල සුරැකි සුභාෂිණි දියණියගේ පියා වන අජිත් වසන්ත මහතාගේ (50) දෑසම මීට වසර එකොළහකට පෙර සීයට අනූවකටත් වඩා නොපෙනී ගියේ ගසක් කැපීමට ගිය අවස්ථාවකදී එම ගසෙන් වෑහුණු කිරි ඇසට වැටීමෙන්ය. ඉන් පසුව අඳ පුද්ගලයෙකු බවට පත්වූ ඔහුට කණ වැල ඇල්ලු‍වේ බිරිඳ සහ දියණියන් දෙදෙනාය. බිරිඳ කියා දුන් ගීත බස් රථ වලට නැඟ ගයා ලැබෙන සොච්චම් මුදලින් ඔහු ඉතා අසීරුවෙන් තම දරු පවුල රැක්කේය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුට එම රැකියාවද අහිමි විය. ඉන් පසුව ඔවුන් ජීවිතය ගෙවුවේ දහසකුත් එකක් අසීරුතා මධ්‍යයේය.   
ඉරිදා ලංකාදීපයෙන් මේ කණගාටුදායක කතාව දැකගත් අයිඩීඑච් උණ රෝහලේ සාමාන්‍යාධිකාරි වෛද්‍ය ධනපාල මහතා තම මුදලින් රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් වැය කරවා කරවන ලද සැත්කමකින් සුභාෂිණිගේ දෙනෙත් අඳ පියාට මේවනවිට නැවත පෙනීම ලබාදී ඇත. මේ මහඟු‍ පුණ්‍ය කටයුත්තට දායක වෙමින් ඔහුගේ අක්ෂි සැත්කම කර ඇත්තේ බදුල්ල මහ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය චාමර මහතාය.   
පසුගිය සතියේ කරන ලද මේ සාර්ථක සැත්කමෙන් වසර එකොළහකට පසුව තම ආදරණීය දරුවන්ගේ බිරිඳගේ මුහුණු නිරෝගිමත් දෑසකින් දකින්නට තරම් වසන්ත මහතා වාසනාවන්තයකු විය. නොපෙනී ගිය දෑසේ පෙනුම සීයට අසූවකටත් වඩා ආපසු ලබා දීමට මේ සඳහා දායක වූ උතුම් වෛද්‍යවරුන් සමත්ව ඇත. ඔහුට ඒ අපූරු වරම ලැබුණේ තම අවංක දියණිය නිසාය. අවංකත්වය නිසාම රටක් දිනාගත් මේ දියණිය අවසානයේදී ඒ ක්‍රියාවෙන් තම පියාගේ දෑසද පාදා දුන් වාසනාවත්ත දරුවෙකු වූවාය. ස්වභාව ධර්මයාද යහපත් දේට උදව් කරන බව මෙම සිදුවීම්වලින් මනාව පැහැදිලි වේ.   


තම පාසලේ අධ්‍යාපනය ලබන සුභාෂිණි දියණිය කරන ලද මෙම ක්‍රියාව අගයමින් ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ විදුහල්පතිනි කාන්ති රුකුණායක, නියෝජ්‍ය විදුහල්පති සරත් මුණසිංහ සහ සුභාෂිණිගේ පන්ති බාර ගුරුතුමිය වූ ෂකිලා මධූෂානී මහත්ම මහත්මීන් මේ කතාව ඉරිදා ලංකාදීපයට නොකීවානම් සුභාෂිණිගේ පියා ඉතිරි ජීවිත කාලයම අඳුරේ ගෙවීමට ඉඩ තිබුණි. මේ කතාව කියවූ රට පුරා සිටින ලංකාදීප පාඨකයන් ඉතා විශාල පිරිසක් සුභාෂිණි දියණියටත් ඇගේ පවුලටත් විවිධාකාරයෙන් උදවු උපකාර කීරීමට ඉදිරිපත් වූහ.   
මේ පිරිසට අමතරව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා ඔවුන්ගේ නිවස ඉදිකර දීම සඳහාද දායකවී සිටින අතර දෑස් පෙනීම ලද සුභාෂිණිගේ පියාට ලොතරැයි ටිකට්පත් අලෙවි කර ආදායමක් ඉපැයීමට ඉබ්බාගමුව නගරයේ ලොතරැයි අලෙවි කුටියක් ලබා දීමට පියවර ගෙන ඇත.

 

   
මීට අමතරව වසන්ත මහතාගේ අසරණ තත්ත්වය තේරුම් ගෙන ඔවුන්ට වාසස්ථානයක් ඉදිකර ගැනීමට තම ඉඩමකින් නොමසුරුව පර්චස් ගණනාවක්ම පරිත්‍යාග කළ වඩුපොළ එස්.බී. පියසේන මහතාට මෙන්ම නිවස ඉදිකිරීම සඳහා සහාය ලබා දෙමින් සිටින ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් වසන්තා වර්ණකුලසූරිය, වඩුපොළ ග්‍රාම නිලධාරි සුජාතා අමරසේකර, වයඹ පළාත් හිටපු සභා මන්ත්‍රී රණවිරු හේරත් මහත්ම මහත්මීන්ට මෙන්ම තම අසරණභාවය රටටම කියූ ඉරිදා ලංකාදීප පුවත්පතටද ඔවුහු තම ස්තුතිය පුද කළහ.   


ඉදිවෙමින් පවතින නිවස මෙම මස 25 වැනිදා අංග සම්පූර්ණ කර ගෙවැදීමට නියමිතය. ඔවුන් දැනට වෙසෙන කුඩා පැලේ කිසිදු ගෘහ භාණ්ඩයක් නැත. එබැවින් මේ අවංක පවුලට ලැබෙන නව නිවසට ගෘහ භාණ්ඩ ලබා දීමටද පරිත්‍යාගශීලින් හට ආරාධනය කරමු. කිසි දිනෙක රූපවාහිනියක් පරිහරණය කර නැති සුභාෂිණි සහ නැගණිය තම නිවසට රූපවාහිනියක් ලැබෙතැයි ඉතා ආසාවෙන් බලා හිඳිති. 

 
සුභාෂිණි දියණිය තම අවංකත්වය ගැන කියා දුන් පාඩම රටේ අනෙක් දරුවන්ටද පාඩමකි. ඒ අවංකත්වය නිසාම අද ඇයටත් ඇගේ පවුලටත් නොසිතූ වාසනාවක් උදාවී තිබේ. ඇගේ ඒ කතාව රටට කියමින් දෑසක් පෑදීමට ඉදිරිපත් වූ ඉරිදා ලංකාදීපයේ අපටද ඒ පිළිබඳව ඇත්තේ නිහතමානී සතුටකි.   

 

පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල අධිකරණ අනුර ජයන්ත 

 

 



අදහස් (0)

පෙළපොත තුළ තිබී හමුවූ රුපියල් විසිදාහ ආපසු දුන් දියණියගේ පිනෙන් පියාගේ දෑස් පෑදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 786 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site