රාජධිරාජසිංහ රජ සමයේ හඟුරන්කෙත මාලිගයේදී අලගුනායිදු නම් ද්‍රවිඩ නාට්‍යකරුගේ “සත්‍යවාදී හරිස්චන්ද්‍ර” නාඩගම නැරඹූ පියා තම පුතුට සිංහල නාඩගම් සම්ප්‍රදායේ මග කියා දී සිංහල නාට්‍යයේ  නිර්මාතෘ පිලිප්පු සිඤ්ඤෝ දැනුම්වත් කළ බව මුඛ පරම්පරාවෙහි කියැවෙයි.   


එසේම කොළඹ කම්මල්කරුවකු වැඩ කරන අතරතුර එන සිතුවිලි අඟුරු කැබැල්ලකින් බිත්තියේ ලියා සවසට ඒවා නාට්‍ය දෙබස් හා ගීත ලෙස කඩදාසිවල ලියූ බව මහගත්කරු ඩබ්ලියු.ඒ. සිල්වා කියයි.   


කාලයේ වැලිතලාවට යටවන්නට නොදී ලක්දිව සිංහල නාඩගම පිළිබඳව ඉතිහාසය අවුස්සන්නට මට දිරිදුන්නේ ජාඇල රද්දොළුවේ පාරම්පරික නාඩගම් පරපුරක අන්තිමයා වූ එස්.ඒ. මෛත්‍රීපාලය.   


ලක්දිව පළමු නාඩගම් නිළිය හා ග්‍රැමෆෝන් තැටි ගී ගායිකාව ලෙස විරුදාවලියට පත් රද්දොළුවේ ජේන් නෝනා ඔහුගේ සදාදරණීය මවය.   


මෛත්‍රීගේ හඬ මා මුලින්ම ඇසුවේ ගුවන්විදුලියේ නාඩගම් ගී වැඩසටහනේදීය. එය නිෂ්පාදනය කරන ලද්දේ දිවංගත ධම්ම ජාගොඩ හා කමල් ඩී. අතුකෝරළ යන ප්‍රවීණයන් විසිනි.   


සියනේරිස් ගුරු, සිරිමල් ගුරු, රංසිරිනෙල් ගුරු හා මගේ සීයා වන කමල් ගුරු මගේ පරපුරයි.   


සීයා අතිදක්ෂ මද්දල් වාදකයෙක්. ඒ වගේම දක්ෂ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වගේම නළුවෙක්. ඒ කාලේ ගෑනු ළමයින්ට නාට්‍ය රඟපාන්න තියා බලන්නවත් තහනම් යුගයක්. සීයා තමයි රහසේම මගේ අම්මා පුරුදු පුහුණු කරලා වේදිකාවට ගෙනාවේ.   


මිෂනාරි අධ්‍යාපනයෙන් ඔද්දල් වූ සමාජයක් 19 වන සියවසේ මුල් භාගයේ සිරිලක විය. ආගමික අධ්‍යාපනය තුළින් පවා අන්තගාමී ලෙස දේව භක්තිය ජනතාවගේ හදවත් තුළට රිංගවා තිබිණි. ඒත් සෞන්දර්ය රස වින්දනය සපුරා තහනම් විය.   


“වෙන්නප්පුවේ පල්ලියේ ඉස්කෝලේ ගුරු මහත්මයෙක් පල්ලියේ සංගීතයට අමතරව තමන්ගේ දස්කම් ළමයින් ඉදිරියේ පෙන්වන්න ගිහින් අහුවෙලා ගුරුකමිනුත් දොට්ට දැම්මාලු”.   


“නාත්තන්ඩියේ නාඩගම් මඩුවකදී ගෑනු චරිතයක් රඟපාපු ලුවිස් සිඤ්​ෙඤා්ට හැබෑ ගෑනු ළමයෙක් කියලා රැවටිලා ළමාතැනීලා කම්මුලට අත තියාගෙන කම්පා වුණාලු”.   


“අනේ හැබෑවට මව්පියෝ මේ වගේ ළමයිනුත් මේවට එවනවනේ” කියලයි.   


කාන්තා චරිත රඟපෑවේ ලුවිස් සිඤ්​ෙඤා් පමණක් නොවේ. පෑලිස් අප්පු, ගම්පහ පාවුළු පීරිස් වගේ නළුවෝ ස්ත්‍රී ලාලිත්‍යය හා කටහඬ දැනෙන සේ රඟපෑහ. ඔවුන්ගේ හැසිරීමට මුළාවී සිංහල කාමුක රදලයන් පවා අතපතා පසුපසින් ගොස් රැවටුණු අවස්ථා විය.   


මිෂනාරී පූජකවරුද රංග ශාලා තුළට කඩා වැඳී සැබෑ නිළියන් ඇද්දැයි සොයමින් ‘දේවශාප’ කළ බව පැවසේ.   
එසේ වුවද සජීවි කාන්තා රංගනයක් වේදිකාවට නොමැති අඩුව කමල් ගුරුට පෙනිණි. ඔහුට සිටි​ෙය් හුරුබුහුටි දූවරුන් දෙදෙනෙකි. ඒ ජේන් නෝනා හා ලෝර නෝනාය. ඔවුහු පියා සහ සගයන් ගීත පුරුදු වන සංගීත ආශ්‍රමය ඇසුරේ වෙළී සිටි අතර නූර්ති හා නාඩගම් ගී හොර රහසේ අසා සිට වාදනයටද රංගනයටද පෙළඹුණහ.   


“තාත්තේ අපටත් බැරිද රඟපාන්න”   


ඔවුහු පියාගෙන් විමසූහ.   


“පුළුවන් දුවේ. ඒත් දන්නවනේ රට්ටුන්ගේ හැටි” කමල් ගුරු පැවසීය.   


“මටත් ඕනෑ ඒ තහංචි වෙනස් කරන්නයි”   


“මාත් කවදාහරි හොඳ නිළියෙක් වෙනවා” ජේන්​ නෝනා කියන විට ලෝර නෝනාද “මමත්” යැයි අත එසවූවාය.   
ජේන් නෝනාගේ උනන්දුවත් ඇවිටිල්ලත් නිසා හැඟීම් දැනුණු කමල් ගුරු සගයන් සමඟ තීරණාත්මක රහස් කතාබහක යෙදුණේය. එම තීරණය කාන්තා සංහතියටම බලපෑ එකක් විය.   


එදා නාඩගම් කලාවක් තිබුණේ‍ සල්ලිකාර, ඉඩම්කාර රදලයන්ගේ සල්ලිවලට යට​ වෙලයි. එයාලට ඕනෑ වුණේ තමන්​ගේ බලයයි නමයි රට පුරා පතුරුවන්න. ලස්සන නිළියන්ව තමන්ගේ වසඟයට ගන්න. නාට්‍යකාරයෝ කුළීකාරයෝ කරගන්න.   


“එතකොට හැම නාට්‍යකාරයම බලපෑම්වලට යටවුණාද” මම ඇසුවෙමි.   


සල්ලි නැතිවුණාට මහත්තයෝ උන්ට තිබුණා පපුවක්. හොඳ මොළයක්. සූදුවටයි, රා අරක්කුවලටයි යට නොවුණානම් අපේ පරම්පරාවත් දස්සකම් අතින් රජවරුන්ට දෙවෙනි වුණේ නෑ” මෛත්‍රී කීය.  


ඒ වගේම නාඩගම් ශිල්පීන් වශයෙන් එදා කටයුතු කළේ ධීවර, කරත්ත, කම්මල්, ගොවිතැන් හා රියදුරු වැනි රැකියා කළ නිර්ධන පන්තියේ වැඩකරන ජනතාවය. කමල් ගුරුගේ පවුල් වාතාවරණය ඊට හාත්පසින් වෙනස් වුණේ පාරම්පරික උරුමයන් හා දේපොළ ඔවුන් සතු වූ හෙයිනි.   


1897දී එක් සන්ධ්‍යාවක කමල් ගුරුගේ නව නිර්මාණය වූ විජය - කුවේණි වේදිකා ගත විය.  


කැකුණ තෙල් පන්දම් එළියෙන් ඒකාලෝක වූ වේදිකා පසුබිම කුවේණියගේ මාලිගාවේ ශ්‍රී විභූතිය තවත් උද්දීපනය කළේය. නානා දිදුළන වස්ත්‍රාභරණයෙන් සැරසුණු රූබර රජ, සෙනවිරත්, කුමර කුමරියෝ තම භූමිකාව පැමිණෙන තුරු ප්‍රේක්ෂකයෝ කුල්මත් කරමින් පෙළගැසී වුන්හ.  


අඳුරු පසුබිම තුනී කරමින් සියුම් සත්සර රාවය සමඟ තිරය දිගහැරෙන්න විය.  


සුදු දිසාපතිවරයා හා රදල ප්‍රධානීන්ද සුවිශේෂි හාන්සි පුටු අසුන් මත ඈඳීගෙන වුන්හ. අවශේෂ ප්‍රේක්ෂකයෝ බංකු හා එලූ පොල් අතු ආසන මත වැතිර සිටියහ. හාන්සි පුටුව පළමු පන්තියේ අසුනකි. ඒ සඳහා රු. 1.50ක් අය කෙරේ. බිම පිරිමින්ට ශත 30කි. ගැහැනු සහ ළමුන්ට සත 15 කි. 


සභාව පිළිගැනීමේ මියුරු ගීතය රඟමින් ගැයුවේ සිඟිති දැරියකි. ඇය කමල් ගුරුගේ දියණි සත් හැවිරිදි ජේන් නෝනාය. එය මෙ​ෙතක් අසා තිබූ පිරිමි ස්වරූපයට වඩා මනමෝහණීය විය.   


“කමල් ගුරු අපටත් හොරෙන්ම දුව පුරුදු කරලා. ඒත් වරදක්නම් පේන්න නෑ. ඉස්සරහට බලමුකෝ”. දරදඬු ප්‍රභූවරු, ළමාතැනීලා හා කසුකුසු ගෑහ.  


 ධෛර්යටපත් කමල් ගුරු ඉනුත් නොනැවතී පිරිමි නළුවන් එකිනෙක ඉවත් කරමින් අංකුර නිළියන් රැසකට නාඩගම් කලාවේ දොර විවර කළේය.  


“හෙළයේ අසමාන නිළි කලා දිව්‍ය අප්සරාවි රද්දොළුවේ ජේන් නෝනාගේ විස්මිත රැඟුම් හා ගැයුම් දැකගන්න නොවරදවා පැමිණෙන්න....”  


මෙසේ සඳහන් ප්‍රචාරක පත්‍රිකා තැනින් තැන ඇලවිණ. පැරණි මෝටර්රථවල බැඳගත් පරණ පන්නයේ ශබ්ද විකාශන වලින් ගම් නගර පුරා නාඩගම් ගැන ප්‍රචාරය දෙද්දී කොල්ලෝකුරුට්ටෝ රථය පිටුපස දුවමින් ඝෝෂා කළහ.  


දවසක් හැන්දෑවේ අම්මා සීතාදේවියට ඇඳලා රාමායණය නාට්‍යයේ රඟපාමින් උන්නා. මට මතක කොහේ හරි රේල්පාරක් අද්දර තමයි නාඩගම් මඩුව තිබුණේ.  


ඔය වෙලාවෙ කොළඹ සුපිරිම්කෝට් නඩුකාරතුමා රාජකාරි ඉවර වෙලා මීගමු යනකොට රේල් ගේට්ටුව වැහුණා. ඒක අරිනකම් උන්නාන්සේ නාඩගම් බලබලා ඉඳලා තියෙනවා.  


“අම්මාගේ රඟපෑමයි ගායනයයි දැකලා එයා වශි වුණා. වහාම කාර් එකෙන් බැහැලා වේදිකාව ළඟට ගිහින් සංවිධායකයන්ට කියලා තියෙනවා ඒ ගීත ජවනිකාව ආයෙත් කරන්න කියලා”.  


ඉතින් අම්මා රඟපෑවම නඩුකාර උන්නැහැ රුපියල් දහයේ සල්ලි මාලයක් එයාගේ කරේ දැම්මයි කියනවා. ඒ මුදල නාට්‍යයේ මුළු ආදායමටත් වඩා වැඩියි කියනවා. මෛත්‍රී අතීතය සිහිකරයි.  


“නළඟනන් වනාහි කම්සැප   


ඉල්ලන පිරිසකි”  


මෙය එදා සල්ලාල රදලයන් අතරේ තිබූ අදහසකි. ඒ නිසාම නිළියන් පස්සේ මැරවර සල්ලාලයන් පැමිණි අවස්ථාද එමටය. ‘සලා’ එවැන්නෙකි. ඔහු ගම්මුලාදෑනියාගේ පුතාය. සල්ලිවලට හැම දෙයක්ම ගත හැකි යැයි ඔහු සිතුවා විය හැකිය.  


තමා සමඟ හාදවන ලෙස ‘සලා’ ජේන් නෝනාට ඇවිටිලි කළේය. ජේන් ඔහු ගෙනා යෝජනා අලුයම ලූ කෙළ පිඩු සේ ගණන් නොගත්තාය.  


සලාගෙන් ඒ වන විටත් නිවසේ මෙහෙකාරියක් ඥ‌ාතී දියණියක් සල්ලම් වී සිටියෝය. සලාගේ අනියම් බිරිඳ සුදු නෝනා නමැති නළඟනය. එහෙත් සලා ඇයට රඟපෑම තහනම් කළේය.  


සලා සුදු නෝනා යන එන තැන් බැලීමට ඔත්තුකරුවන් යෙදවිය. එහෙත් නාඩගම් කලාවට ඇති ආශාව නිසා සුදු නෝනා මෙම හැංඟි මුත්තන් සෙල්ලම දිගටම කළාය. ඇය රඟපෑමට යන්නේ නළුවකු සමඟ ඇති හාදකමක් නිසා යැයි සලා සැක කළේය.   


ඇගේ නරකම වෙලාවක මීතොටමුල්ලේ නාඩගම් මඩුවේදී ඇය කොටු වූවාය. ඒ රාමායණය නාටකයේ සුපර්ණකී ලෙස රඟද්දීය.  


රාවණා වූයේ ​බෙලේනිස් පින්තුය. රාවණාගේ නැගණිය සුපර්ණකීය. රාමා රාවණාගේ පළිගැනීමට සුපර්ණකීට වද දෙයි. ලේ ගලන තුවාල සහිතව වැටී සිටි නැගණිය දුටු රාවණා විලාප නගයි. එදා රාවණා ලෙස බෙලේනිස් පින්තු නැගූ මර විලාපය ගව් ගණනක් දුරට රැව්පිළිරැව් දුන්නේලු.   


මයික්‍රෆෝන් නැති සමයේ නාඩගම් ශිල්පීන්ගේ හඬ පෞරුෂය එදත් හොඳින් විරාජමානවිය.  


රංගනය නිමකර ​ෙගදර යාමට සුපර්ණනකී ලෙස රඟපෑ සුදු නෝනාට තමන් එනතුරු කෝපයෙන් විරිත්තාගෙන සිටින දාමරික ‘සලා’ දක්නට ලැබිණි. බියෙන් වෙව්ළුම් කෑ ඇය අතින් ඇදගත් සලා කාරය තුළට ඇය තල්ලු කළේය.  
“වලව්වේ උස් කුළුණුවලට තබා ඇය බඳින ලද්දේ සහමුලින්ම නිරුවත් කිරීමෙන් පසුය” “තෝ මට කොළේ‍ වහලා නාඩගම් නැටුවා නේද අද බලා ගනින් සලාගේ හැටි”  


ඇයට කසෙන් තැලූ ඔහු අනතුරුව සිදු කළේ මහපොළව නූසුලන අපරාධයකි. තම සහචරයන් ලවා හරකුන් හංවඩු ගසන යකඩ කූරක් ගිනි පුළිඟු නංවා ඇගේ නිරුවත් පසුපස තැබීමය. එහිදී ඇය නැගූ විලාපය රාවණාගේ විලාපයට වඩා තීව්‍ර විය.  


වාවාගත නොහෙන වේදනාවෙන් සිහිසුන් වී ඇද වැටුණු අැය සිහිය ලැබුවේ දොස්තර බංගලාවේදීය. ඒ ඇයගේ අවසාන රංගනයයි.  


හුුලුගල්ලේ දිසාවේ ළඟ අපූරු බස්තමක් තිබුණා. අලි ඇල්ලීම බැලීමට ඇත් ගාලට එන ඉංශ්‍රීසි ආණ්ඩුකාර උතුමන්ටයි, නෝනලාටයි පේන්න බලගතු ඒ බස්තම භූමියේ හරි මැද හිටෙව්වා.  


එතකොට එක අලියෙක්වත් පළාතට එන්නේ නැතිලු. මගේ තාත්තා ආරොන් අප්පුහාමිට ඒක දැනගන්න ලැබුණා. තාත්තා කළුබණ්ඩෙට කියලා කොහොම හරි ඒක පන්න ගත්තා.  


තම පියා වූ ආ​ෙරාන්ගේ හපන්කම් මෛත්‍රී හෙළිකරයි. “කෝ දැන් ඒ බස්තම” මම ඇසීමි.  


“තාත්තා ඒක ගත්තේ ළඟ තියා ගන්න නොවෙයි. මෑතක් දක්වාම උම්මග්ග ජාතක නාටකයේ මහෝෂධ පණ්ඩිතයන්ගේ චරිතයට ගිරන් අප්පු පාවිච්චි කළේ ඒක තමයි”.  


අතින් අතට ගිය අපූරු වස්තුව පසුව නතර වූයේ හලාවත හිටපු පොලිස් අධිකාරී සී. එන්. ස්කානිවෙල් මහතා අතය.  
ආරොන් අප්පුහාමි එසේ මෙසේ නාට්‍යකරුවකු නොවේ. ඔහු ඉඩම් හිමි පෝසතකු වුවද අත දිගහැර නාඩගම් කලාව වෙනුවෙන් වැඩකළ “හිත හොඳ දානපතියෙකි” මැටි කොටුවේ නාගයා යනු ඔහුගේ අන්වර්ථ නාමය විය. දේහ ශක්තියෙන්ද ඔහු දැවැන්තයෙකි. 1888 දී කැලණි පුදබිම ගොඩකිරීමට මැටි ගෙනාවේ මැ​ටිකොටුවෙනි.   


1928 වසරේ දිනක කටානේ සිට ලුණුවිලට බෞද්ධ පෙරහරක් ගි​ෙය්ය. එය සංවිධානය කළේ ආරොන්ගේ කල්ලියයි.  


මෙම පෙරහරේ විශේෂත්ව රැසක් විය. මෙය අලි ඇතුන් සියයක් දෙදෙනා බැගින් ගමන් ගත්හ. මරුමුසු ඉතිහාසයක් ඇති අත්තනගල්ලේ ඇතාද එහි විය. සිවුපා විලංගු දැමූ ඇත් රාජයා දැකීමත් බියකරුය.  


ඒ වනවිට මිනිසුන් දොළොස් දෙනෙකු පාගා මරා දැමූ ගජමුතු සහිත දළ ඇති මෙම ඇතාට පුරුදු කර තිබුණේ‍ මිනිසුන් මැරීමට නොව හොඬෙන් අල්ලා විසිකිරීමටය.  


මෙම පෙරහරෙහි තිබූ තවත් ගුප්ත වි​ෙශ්ෂත්වයක් නම් උපාසක උපාසිකාවන් අත තිබූ බෞද්ධ කොඩි සහ සේසත් යට වූ ආධාරක වර්ණවත් කඩදාසිවලින් ආලවට්ටම් කළ උල් කඩු, පොලු සහ හෙල්ලවලින් යුක්ත වීමයි.  


“මෙම අපූර්වත්වයට හේතු මොනවාද” මම විමසීමි.  


“ඇයි මතක නැද්ද කලකට ඉස්සල්ල කොම්පඤ්ඤවීදිය හරහා ගව ඝාතනයට හා ගව මස් කෑමට විරුද්ධව බෞද්ධ පෙරහරක් ගියා. පත්තරවලත් තිබුණේ.”  


ඒ පෙරහරට අන්තවාදී මැරවරයෝ පැනල පහර දීලා පෙරහරේ ගිය ගවයින්ගේ පාද හිටන් කපලා දමලා මහ අපරාධයක් කළේ. අන්න ඒක​ට වාඩුව ගන්නයි මේ පෙරහැර තාත්තලා සංවිධානය කළේ.  


ආරොන් ඇතුළු කණ්ඩායම සාධුකාර දෙමින් මීගමු පාර දිගේ ගමන් ගත්හ. වෙන්නප්පුව පල්ලිය පසුකළා පමණි. එදා මෙන්ම ආයුධ ගත් තුන්හාර සියයක මැරයෝ පාර හරස් කළහ.  


“තොපි කොහෙද යන්නේ? මේක අපේ වැයික්කිය! අකුළාගෙන ආපු අතකට පලයව්”  


මැරයෝ පෙරහර ආක්‍රමණය කළහ. අත්තනගල්ලේ ඇතා වහා ක්‍රියාත්මක විය. ගල ග්‍රහණයෙන් හා කලවා වලින් අඹරාගත් සාහසිකයන් බඹ ගණනක් ඈතට විසිකරන ලදී. ඒ සමඟම කොඩි කණුවලින් ආයුධ එළියට ගත් උපාසකවරු දුවන මැරයන් එලවමින් පතුරු ගැසූහ.  


පල්ලියෙ පතහට වැටී සිටි තුවාලකරුවන්​ රෝහලට ගෙන ගියේද ඔවුහුමය.  


මේ වීර ක්‍රියාව ඇසූ බෞද්ධ ප්‍රභූහු වහවහා මැටි කොටුව නිවසට ආවේ “ආරොන් වීරයා දැකලා මළත් කමක් නෑ කියමිනි”.  


නාඩගම් යුගයේ ජවනිකාවලට අවශ්‍ය වේදිකා භාණ්ඩ ප්‍රතිනිර්මාණය කළ ඒවා නොවේ. සජීවීව ස්වභාවිකව වෙහෙස මහන්සි වී ඉදිකළ ලී කොටන්, මහ රුක් ශාක, ඇත්, අස්, රිය ආදී සත්ත්වයන් හා අශ්ව රථ ආදිය දින ගණනාවක පරිශ්‍රමයෙන් ​ගෙනවිත් තිබිණි. නාඩගම් සමයට මුළු පළාතම එකම වැඩපොළකි.   


දුටුගැමුණු නාඩගමේ වේළුසුමන යෝධයාට ගමන් යාම සඳහා යොදා ගැනුණේ ඇත්තම අශ්වයෙකි. උමංදාව සඳහා හාල් සේරු ගණනාවක අග්ගලාවක් සකස් කර ඒතුළ උදුම්බරා දේවියගේ රහස් ලියමන හොවා මහෝෂධ පඬිතුමාට ලැබෙන්නට සැලැස්විණි. නාට්‍ය අවසානයේ අග්ගලාවේ රස ගුණ විඳීමට ප්‍රේක්ෂකයන්ටද අවස්ථාව ලැබිණි.  


උමංදාවේ එන එළු-බලු ගැටලුවේදී ජේන් නෝනාගේ ඇත්තම බල්ලා සහ සත්‍ය එළුවකු එහි රඟපෑ බව කියති.  
ආ​ෙරාන් අප්පුහාමි නිපදවූ වයඹ දංකොටුවේ එළිමහන් වේදිකාවේ රඟ දැක්වූ දුටුගැමුණු නාඩගම වනාහි තාක්ෂණික දියුණු අද කාලේ මිලියන හයකින්වත් සංවිධානය කළ නොහැකිය.  


එහි දස මහා යෝධයන් ලෙස පූර්ණ කාය බලයෙන් යුත් නළුවන් දස දෙනෙක් රඟපෑහ. වේදිකාව නැවක් තරම් දැවැන්තය. ඒ මදිවට ද්‍රවිඩ එළාර රජු හා දුටුගැමුණු රජු සටන් වැදුනේ සැබෑම හස්තීන් පිට වීම විශේෂයකි.  


දුටුගැමුණු රජු ලෙස ගී ගයමින් රැඟුවේ කටානේ මහා නළු ගිරන් ප්‍රනාන්දුය. එළාරගේ භූමිකාව පෑලියගොඩ මහා නළු බෙලේනියස් පින්තු රඟපෑ​ෙව්ය. දුටුගැමුණු රජු නැග සිටි කණ්ඩුල හස්තියා වනාහි අත්තනගල්ලේ මිනීමරු කදිරා නම් දළ ඇතාය. එළාරගේ පාර්වත හස්තියා අගවිනිසුරු සරත් එන්. සිල්වා ගේ නැන්දණිය වූ මැල්ලවගෙදර සුදු හාමිනේගේ ඇතායි.  


“තාත්තාට අපූරු රේස් ගොනෙක් හිටියා, ‘මැණිකා’ කියලා. ඒ කාලේ හිටිය දක්ෂතම තිරික්කල් රේස් කාරයෙක් තමයි පොඩි අප්පුහාමි. මිනිහ නාහෙට අහන කෙනෙක් නම් නොවෙයි. ඒත් තාත්තාගේ මැණිකා ඒ ගොනාවත් පැරැද්දුවා.”  
මීගමුවේ කෝටිපති සල්ලාලයෙක් හිටියා. මිනිහගෙ විනෝදාංශය තමයි ලාබාල රූමත් කෙල්ලන්ව පැහැරගෙන යාම. නාඩගම් පොළේ සමහර නිළියන්වත් එහෙම අරන් ගිහින් වලව්වේ වැඩකාරකමට තියාගන්නවා. එයාට තිබුණේ මානසික රෝගයක්.  


තාත්තාගේ නාඩගම් රඟපාන්න ආව අලුත් නිළියක් රවටාගෙන යෝගියානෙදි අස්ස කරත්තේ දාගෙන මීගමුවෙ කදිරාන වලව්වට අරන් ගියා කියලා ආරංචි වුණා. නාගයෙක් වගේ කෝප වුණ තාත්තා දිගේලි කර හිටිය ‘මැණිකා’ කරත්තෙට බැඳගෙන මැරවරයා පස්සෙ එලවගෙන ගියා.  


තඹරාවල හරියෙදි මැරයගෙ කරත්තෙ රෝදෙත් කඩාගෙන ඉස්සර කරලා මඟ හරස් කරලා ගහලා නිළියව බේර ගත්තා. තාත්තාගෙන් පාරක් කලා ඔය කාටවත් කෙලින් ඉන්න බෑ මහත්තයෝ.  


නැගී එන කලාකරුවන්ට බෙහෙවින් ආදරේ කළ ප්‍රවීණයකු ලෙස ආරොන් අප්පුහාමිගේ රුව මා ඉදිරියේ මැවී පෙනෙයි. ‘නාග ආරොන්’ නම ඔහුටම ගැලපෙයි.  


නාඩගම් වේදිකා දැක්වීමේදී මිෂනාරීන්ගෙන් මැරවරයන්ගෙන් හා සිංහල රදලයන්ගෙන් එල්ල වූ බලපෑම් හා මරණ තර්ජන මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාද අනන්තය. කටානේදීද එවැන්නක් සිදුවිය.  


“සංගීත ලෝලයින්! ලොව කිසිවකුට නොදෙවෙනි සිංහල නළු නිළියන්ගේ සමත්කම් දකින්නට ඔරිසොන් පාලෙන්නන් සටන් පිරි සිංහල නාඩගම නරඹන්න....”  


ශබ්ද විකාශන මගින් මෙසේ දැන්වූයේ දැවැන්ත ජනප්‍රිය නාඩගමක් වූ ‘ඔරිසොන් - පාලෙන්තන්’ නම් නාට්‍ය උදෙසාය. වනාත්තරයේ හැඳී වැඩුණු කුමාරවරයකුගේ වික්‍රම බැලීමට අතුරු සිදුරු නොමැතිව ජනගඟ ගලා ආහ.  


ප්‍රේක්ෂකයකු වූ ගත්කතු පියසේන නිශ්ශංකයෝ එම අවස්ථාව මෙසේ රසවින්ඳේය.  


“එදා නාඩගම් මඩුව පොල් අතු සෙවිලි කළ එකක් වුවද සුදම් සභාව මෙන් බැබලිණි.  


නමුත් සංවිධායකයන්ට එරෙහි යම් ක්‍රමන්ත්‍රණයක් දියත් වෙමින් තිබූ බව කිසිවකු නොදත්හ.  


ඊට තෙදිනකට පෙර ආරවුලක් ඇති කරගෙන සිංහල ජනතාවට පහර දෙන්නට ආ අන්‍ය ජාතික මැරවරයන් දෙදෙනකුට නාග ආරොන් පහරදී තිබිණි. ඊට පළිගැනීමට ආරොන් රඟන මෙම නාට්‍යය කඩාකප්පල් කිරීමට සතුරන් ක්‍රියාත්මක කළේ අමුතුම උපක්‍රමයකි.  


එනම් නාට්‍යයේ නළුවකු අතුරුදහන් කිරීමය.   


වේදිකාගත වන දින නාට්‍යයේ අවසාන පුහුණුව සිදු වෙද්දී නාට්‍යයේ ප්‍රධාන නළුවකු වන ගිරන් ප්‍රනාන්දු මෙසේ කීය.  
“ආරොන් අයියේ ඔයා දන්නවනේ මගේ අර පරණ බඩේ අමාරුව ආයෙත් උත්සන්න වේගෙනයි එන්නෙ. මට රඟපානවා තියා කෙලින් ඉන්නත් බෑ.”   


මෙය ඇසූ ආරොන්ගේ සිත දැඩි සේ වේදනාවටත් කෝපයටත් පත්විය.  


“තමුසේ බය වෙන්න එපා. කොච්චර සල්ලි ගියත් මං තමුසෙව ගොඩදානවාමයි”  


නාග ආරොන් වහාම ගොන් දෙන්නා බැඳි කරත්​​තය කටානේ ආරච්චි මැදුරෙන් ලබා ගත්තේය. ඔහු පිම්මේ ගියේ දොස්තර බංගලාවටය.  


“කෝ ලෙඩා.. කවුද භාරකාරයා...” දොස්තර විමසීය. “මට තමුසෙලා විශ්වාස නෑ” දොස්තර පැමිණීමට අදිමදි කළේය. ආරොන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.  


ඔහු ගොස් කරත්තකරුට කොඳුරා ආපසු ගමනට සූදානම් වන ලෙස දැන්වීය. “හැබැයි පුතෝ කවුරු කිව්වත් නාඩගම් මඩුව ළඟ මිසක් අතරමඟ කරත්තේ නතර කරන්න එපා” ඔහු කීය.  


දොස්තර ළඟට ගිය ආරොන් කුඩා දරුවකු ඔසවන්නා සේ දෑතින් ඔහු ඔසවා ගෙනවිත් කරත්තයට හෙළුවේය.

“දක්කපං යකෝ” විමතියට පත් කරත්තකරුට අණ කළේය.  


දොස්තරගේ විලාපය ඊට වඩා දරුණු විය.  


 “මාව පැහැරගෙන යනවෝ... බේරාගනියෝ...”  


ඔහු විදුලි වේගයෙන් යන රියේ සිට කෑගසමින් දැඟලුවේය. එහෙත් නළුවාට බෙහෙත් දී නිමවනතුරු ඔහුට ගැලවීමක් නොවිණි. ආරොන් සහෝදර නළුවා පමණක් නොව නාට්‍යයද එදා බේරාගත්තේය. සතුරු උපක්‍රම ව්‍යර්ථ වූ අතර මේ කිසිවක්​ නොදත් ප්‍රේක්ෂකයෝ නාට්‍ය රසවිඳ ගත්හ.  


“ආරොන් රජ්ජුරුවන්​ෙග් හැ​ටි මං හරියට අඳුනා ගත්තේ අද නොවැ”  


ආපසු යන අතරමඟදී දොස්තර මහත් ප්‍රසාදයෙන් පැවසීය.  


නාඩගම්කරුවන්ගෙන් බහුතරයක් පොතේ උගතුන් නොවූහ. හොරු, මංකොල්ලකරුවන්   
මිනීමරුවන් යැයි සමාජය පිළිකෙව් කළ ඔවුහු වේදිකාවේදී සුරදූතයන් බඳු වූහ. ඒතරම් සොඳුරුය.  


අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවලගේ පියා සාජන්ට් මේජර් ජෝන් කොතලාවලය. මැරයන් මෙල්ල කිරීම පිළිබඳ ඔහුගේ වීර ක්‍රියා කලා ලොවේද ඉතා පතළය. සුප්‍රසිද්ධ ​‘නෙයිනගෙ සූදුව’ වැටලීමට ගිය පොලිස් ප්‍රධානියා ඔහු නිසාය.  
වරක් ඔහුට ඉහළින් නියෝගයක් ලැබිණ. එය එසේ මෙසේ එකක් නොවිණ.  


‘‘බොරැල්ල කනත්තේ රෑට භූතයො හොල් මං කරනවා යකෙක්වගේ ඇවිත් මිනිස්සු බය කරනවලු. අලුත භූමදාන කළ මළ මිනීවල රිදී රත්තරන් බඩු උදේ බලන කොට අතුරුදන්ලු.  


මෙම අමුතු විදියේ මළ යක්ෂයා ඇල්ලීමට සාජන්ට් මේජර් කොතලාවල සීතල අඳුරු මූසල රැය පුරාම සොහොන් කොත් හා අලුත් මිනී වළවල් අසල සැඟ වී සිටියේය.  


මැදියම් රැයේ අඳුරු මූසල පරිසරයේ නිසල බව විඳගෙන හූ හඬ තුනක් නැගිණ. දැවැන්ත පිහාටු දෙකක් විදුලි එළියෙන් දර්ශනය විය. පියාඹන ඡායාව වෙතට පිනූ සාජන්ට් මේජර්වරයා අවතාරය බදාගෙන පොර බැදීය.  


ඔහු මෙල්ලකර ගැනීම පොලිස් නිලධාරීන්ට ලෙහෙසි වැඩක් නොවිණ. සිරුරේ ග්‍රිස් හා කළු සායම් තවරාගෙන පොල් අතු උරහිසේ බැඳගත් අවතාරය ඊළඟට සිටියේ පොලිස් කූඩුවේය.  


උසාවියට ඉදිරිපත් කරන තුරු යක්ෂයා රඳවා තැබිණ. සාජන්ට් මේජර්වරයා ඔහුගෙන් දිගටම ප්‍රශ්න කළේය. ඔහු විලියම්ය. පොලිසිය සොයන මැරයාය.  


විලියම් සිඤ්ඤො රැය පහන් වන තුරු පොලිසිය සමග දොඩමලු විය. ඔහු කවි කිව්වේය. ගී කිව්වේය. රඟපෑවේය. මොහු නම් කුසලතා රැසක් ඇත්තෙකු බව බුද්ධිමත් පොලිස් නිලධාරියාට වැටහිණි.  


‘‘යකා විලියම්! මං හෙට තමුසෙව උසාවි දාන අදහස අත් ඇරියා. තමුසෙ හෙට මාත් එක්ක ගමනක් යන්න එන්න ඕනෑ’’  


විලියම් නහවා පිරිසිදු කර කෙළින්ම රැගෙන යනු ලැබුවේ කමල් ගුරු වෙතටය.  


ඔහුගේ උපදෙස් මත නාඩගම් කලාවට පිවිසි විලියම් නළුවකු, ගායකයකු පමණක් නොව නාඩගම් කතුවරයකු හා නිෂ්පාදකවරයකු විය.  


මහා කවි කාලිදාසගේ කතාවක් නාඩගමකට නැගූ ඔහු කොළඹ වේදිකා ගත කළේය.  


‘‘සක් රජින්දා දුන් අණ ලෙසිනා විශ්‍වාමුණි යන්නෙමි සොයා.’’  


මේ ඔහු ලියූ නූර්ති ගීයකි. එසේම කුරුණෑගල විසූ දරුණු මැරවරයකු වූ ඒබ්‍රහම් අප්පුහාමි නාට්‍ය ශිල්පියකු බවට පත් කළේ ප්‍රවීණ නාඩගම්කරුවකු වූ පේදුරු අප්පුහාමි විසිනි.  


නාටගම් කලාවෙන් ජන විඥානයට සිදුකළ ප්‍රබෝධයත් ඒ තුළින් සිංහල නාඩගම් කලාව දියුණු කිරීමට කළ උත්සාහයටත් වඩා ආ බාධා මැඩ ජයගත් අයුරුත් එස්.ඒ. මෛත්‍රීපාල අපට විස්තර කළේය.  


නාඩගම් කලාව වෙනුවෙන් තම මුළු සේසතම පරිත්‍යාග කිරීම නිසා ආරොන් අප්පුහාමිගේ අවසාන කාලය ඉතා දුක්ඛදායී විය. ඔහුගේ ඔටුණු පළන් දූ කුමරිය රද්දොළුවේ ජේන්නෝනා ද ජීවිතයෙන් සමුගත්තේ ඇයගේ මතක සුවඳ පමණක් ඉතිරි කරමිනි.  


ඒ සියලු අත්දැකීම් හා ඛේදවාචක පිළිබඳ තොරතුරු එක් රැස්කර අප විසින් සැකසූ ග්‍රන්ථය මෙම මස අගදී දොරට වැඩීමට නියමිතය. ඒ නිමිත්තෙන් රද්දොළුවේ ජේන් නෝනාගේ පරපුරේ ඔටුන්න හිමි කුමරු වූ මෛත්‍රීපාලයන්ට ‘‘සුවඳපද්ම’’ සම්මානය පිරිනැමීමේ උළෙල ද අතළඟය.  


‘‘මැරෙන්න කලින් මගේ එකම ප්‍රාර්ථනාව අම්මා කලාවට කරපු සේවය වෙනුවෙන් එයාගෙ සමරු පිළිමයක් නෙළන එක’’ ඔහු නිතර අපට පැවැසීය.  


මෛත්‍රීගේ පරපුර රැස්කළේ ධනය නොව නඩගම් කලාව වෙනුවෙන් ලැබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරය. අවසානයේ පාරම්පරික කිසිදු වස්තුවක් ඔහු සතු නොවිණ. නිවෙසක් පවා නොමැතිව මහමග ළතවෙමින් සිටි ඔහු බරපතළ ලෙස රෝගාතුර වූ බවක් මෙම ලිපිය මුද්‍රණයට යනවිට ඔහු මියගිය බවත් එකම පුත් සමන් කුමාර අප සමඟ පැවැසීය.  


හලාවත මාදම්පේ පොතුවිල සුහද මාවතේ සිය පුතුගේ සෙවණෙහිදී රද්දොළුවේ නාඩගම් පරපුරේ අන්තිමයා දැයෙන් සමු ගත්තේය.  


‘‘මාලිගාවේ රම්‍ය කුසුමන්  
මට නොදුන් සුවඳක් අමා  
ඔබ ගතින් සුවඳින් සුවඳ වී  
මතකයේ රැඳෙවි සදා’’  


ඒ වාද්‍ය විශාරද ඒලියන් සොයිසා මෛත්‍රී වෙනුවෙන් සැකසූ ගීත තනුවකි. එම ගීතය ගැයීමට එදා ඔහුට සහය වූයේ හෙළ නිළි රැජින රැක්මනී දේවියය!  


මේ සියලු තොරතුරු පිළිබඳ අද ඉතිරි වී සිටින ජීවමාන සාක්ෂිය මෛත්‍රීගේ පුත් සමන් කුමාරය. (දුරකථනය 0771015109) මෙම තොරතුරු ගොනුකර ගැනීමට උපකාර වූ මාධ්‍යවේදී ජගත් රණතුංග මහතාට කෘතඥ පූර්වක ස්තුතිය පළ කරමි.  

 

පුෂ්‍පනාත් ජයසිරි මල්ලිකාරච්චි