IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඉන්දියාවම හඬවා අවසන් ගමන් ගිය දරුවා

 

 

තමිල්නාඩුවේ තිරුචිරාපල්ලි දිස්ත්‍රික්කයේ නඩුකට්ටුපට්ටි ගම්මානයේ ජීවත්වූ දෙහැවිරිදි සුජිත් විල්සන් ලොවක් හඬවා අවසන් ගමන් ගියේ 2019 දීපාවලී සතිඅන්තයේ ඛේදනීයම සිදුවීමක මතක ඉතිරි කරමිනි. ඔක්තෝබර් 11 වෙනි දා සවස අසල්වැසි ළමුන් සමඟ සෙල්ලම් කරමින් සිටි සුජිත් අතැර දැමූ නළ ළිඳකට අවාසනාවන්ත ලෙස වැටුණු අතර දරුවා පෙනෙන්නට නොසිටි බැවින් ඔහු සොයන්නට පටන් ගත් මාපියනට දැන ගන්නට ලැබුණේ ඔහු අඩි 180ක් පමණ ගැඹුරු නළ ළිඳේ පහළට වැටී සිරවී සිටින බවය.   


දරුවා බේරාගැනීම සඳහා මෙහෙයුම් එතැන් පටන් ඇරඹුණු අතර ගම්වැසියෝ නොයෙක් ක්‍රම භාවිතයෙන් දරුවා පිටතට ගැනීමට උත්සාහ කළහ. සිකුරාදා රාත්‍රියේ සිට ඇරඹුණු ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ස්වේච්ඡා කණ්ඩායම්, තමිල්නාඩුවේ මදුරෙයි, කොයිම්බතූර් හා තිරුනෙල්වෙල්ලි යන ප්‍රදේශවලින් ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් පැමිණ රොබෝ අත් භාවිත කරමින් දරුවා බේරාගැනීමට වෑයම් කළහ. ඔවුන් මීට පෙර අවස්ථාවලදී ද එවැනි අත්දැකීම් සහිත අය බව කියැවේ.   


දරුවා මුලින් වැටී සිටියේ අඩි 10ක් ගැඹුරට වුවද, ඔහුගේ අත්වලට ලණු දමා ගොඩගන්නට උත්සාහ කළ පසු තවත් ගැඹුරට අඩි 30ක් දක්වා වැටී තිබේ. නළ ළිඳ තුළ වූ මඩ හේතුවෙන් හා දරුවාගේ සියුමැලි අත්වල පටලවා උඩට ඇදගැනීමට දැමූ ලණු ලිස්සා යාම නිසා ඔවුහු අසාර්ථක වූහ.   


ජාතික ආපදා ප්‍රතිචාර බළකායට සිද්ධිය දැනුම් දුන්නේ මෙසේ අසාර්ථක වීමෙන් පසුව බවත්, කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට සෙනසුරාදා දවස ගතවූ බවත්, නළ ළිඳ කැණීම ඇරඹුවේ ඉරිදා බවත් වාර්තා වේ. ගිනි නිවන භටයින්, රාජ්‍ය සහ ජාතික මට්ටමේ ගලවා ගැනීමේ කණ්ඩායම් එකතු වී නොනවත්වා උත්සාහයේ යෙදුණු නමුත්, දරුවා බේරාගැනීමට හැකියාව තිබූ අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන අත්හදාබැලීම් කරමින් කාලය කා දැමූ බව කියමින් රටවැසියෝ රජයට හා එම කණ්ඩායම්වලට චෝදනා කරති.   
දරුවාගේ මව ඔහු ගොඩගැනීම සඳහා බෑගයක් පවා මැසූ බව වාර්තා වේ.   


දරුවා අඩි 88ක් දක්වා ගැඹුරට වැටුණු පසු විදුම් යන්ත්‍ර ගෙන්වා ගෙන, මීටර් දෙකක් ඔබ්බෙන් තවත් එවැනිම ළිඳක් කැණීම ඇරඹිණි. අඩි 40ක් පමණ හාරන විට භූමියේ වූ ගල් නිසා හෑරීම අසීරු වූයේ, විදුම් යන්ත්‍රයේ තුඩ කොටසට හානිවීම නිසාය. එවර තවත් එවැනි යන්ත්‍රයක් ගෙන්වා ගෙන කැණීම් කරන්නට විය.   


සඳුදා උදෑසන පමණ වෙන විට ජර්මන් විදුම් යන්ත්‍රයක් ගෙන්වා නළ ළිඳට සමාන්තරව තවත් නළ ළිඳක් කැණීම ආරම්භ කළත්, භූමිය ගල් සහිත නිසාත්, ඇද හැලෙන වර්ෂාව නිසාත් කැණීම් සාර්ථක නොවිණි. රොබෝ යන්ත්‍ර, තෙල් කැණීම් සඳහා යොදාගන්නා යන්ත්‍ර ආදිය ගෙනැවිත් කැණීම් කටයුතු කළද, ඒ කිසිවක් මිය යමින් සිටි දරුවා බේරා ගැනීමට ප්‍රයෝජනවත් නොවිණි.   


දරුවා නළය තුළ සිරවී සිටි ආකාරය අනුව ඔහුට සැපයීමට හැකි වූයේ ඔක්සිජන් පමණි. ගොඩ සිටි වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් සැපයුම නොකඩවා සිදුකළ අතර සිරුරේ උෂ්ණත්වය මනින උපකරණවලින් දරුවාගේ තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගන්නා ලදී.   


මේ අතර තමිල්නාඩු දේශපාලන පක්ෂවල ප්‍රබලයෝ පැමිණ දරුවා වෙනුවෙන් යාඥා කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නට වූහ. දරුවාගේ මව ළිඳ අසල වැටී හඬමින් සිටින අවස්ථාවේ පියාට සිදුවූයේ ශෝකය ප්‍රකාශ කරන්නට එන දේශපාලනඥයින් පිළිගැනීමට හා ඔවුන් සමඟ සුහද කතාබහේ යෙදෙන්නටය.   


දරුවා මියගොස් බව වාර්තා වන විටත් දරුවා රැඳී සිටි තරම් ගැඹුරට බේරාගැනීමේ ළිඳ හාරා නොතිබිණි. එම විදුම් යන්ත්‍ර ක්‍රියාකිරීමේදී පොළොව කම්පනය වීම හා නළ ළිඳ තුළ පිරුණු වැසි ජලය නිසා කිහිප වාරයක් දරුවා තවදුරටත් ගැඹුරට ලිස්සා ගියේ බේරාගැනීම මොහොතින් මොහොත අසීරු අඩියකට ගෙන යමිනි.   
සිකුරාදා සිට ආහාර හෝ ජලය නොමැතිව අපා දුකක් විඳිමින් සිටි සුජිත් හට ඔක්සිජන් සැපයීම ද වෙලාවට කරගන්නට නොහැකි වූයේ නොකඩවා වැටුණු වැස්සෙන් ද බාධා වූ බැවිනි.   


සඳුදා උදෑසන වනවිට නළ ළිඳෙන් දැඩි දුර්ගන්ධයක් හමන්නට විය.   


කැණීම් නවතා දමා, දරුවාගේ සිරුර ගොඩගත්තේ අඟහරුවාදා අලුයම 3ට පමණ ය. බේරා ගැනීමේ මෙහෙයුම පැය 80කටත් වැඩි කාලයක් තිස්සේ සිදු විය.   
ගොඩ ගනු ලැබූ සිරුර මනාප්පරෙයි මූලික රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ය. මරණය තහවුරු කිරීම සහ විශේෂ වාර්තාවක් ලබා දීම සඳහා වෛද්‍ය කණ්ඩායමට විනාඩි 45ක් පමණ ගතවී ඇත. පසුව මාපියන්ට භාරදුන් සිරුර අඟහරුවාදා උදෑසන භූමදානය සඳහා රෝහලේ සිට ෆාතිමා නගර් සුසාන භූමිය වෙත ගෙන යනු ලැබිණි. උදෑසන 8ට පමණ දරුවාගේ භූමදානය සිදු විය. නැවත එවන් සිද්ධියක් වීම වැළැක්වීම සඳහා නළ ළිඳ සිමෙන්ති දමා වසා ඇත.   


ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතා අකාර්යක්ෂම බව කියමින් මහජනයා ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. දරුවා බේරාගැනීමට ලැබේවායි බොහෝ දෙනා දෙවියන් නමැදි නමුත්, මෙලොව ජීවත්වෙන්නට තිබුණු කාලය අවසන් වූ දරුවා ඉන්දියාව පමණක් නොව දකුණු ආසියාවම හඬවා අවසන් ගමන් ගියේය.   
නළ ළිඳේ මුව විට රැඳී සිටි දරුවාගේ මව ඔහු බේරා ගන්නා බව කියමින් දරුවා සැනසූ අයුරු සජීවීව විකාශනය වූයේ බලා සිටියවුන්ගේ දෑස් තෙත් කරමිනි. එහෙත් පැය ගණනාවක් දිගින් දිගට ඇදී ගිය මෙහෙයුම්වලින් හෝ එතැනට පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන්, එහි නොසිට දරුවා වෙනුවෙන් දෙවියන් යැදි නිලධාරීන් ආදී කිසිවකුගේ කන්නලව් දෙවියන්ට ඇසී නැත.   


“රජය මෙතරම් වෙහෙස වුණේ නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් හෝ පදනමක් නැතිවයි. බේරාගැනීම හොඳින් සැලසුම් කර තිබුණා නම් දරුවා තවදුරටත් පහළට වැටෙන්නේ නැතැයි කියූ හිටපු ජනපති අබ්දුල් කලාම්ගේ උපදේශකයෙකු වූ පොන්රාජ් නමැත්තා රජයේ අකාර්යක්ෂමතාව විවේචනය කළේය.   
සෞඛ්‍ය ඇමැති ආර්. විජයබාස්කර්, එම ස්ථානයේ කඳවුරු බැඳ ගනිමින්, දීපාවලි දිනයේ පවා කැණීම් අධීක්ෂණය කළ බව කියැවේ. කෙසේ වුවද, මෙම අවස්ථාවේදී දේශපාලන ලකුණු එකතු කරගන්නට උත්සාහ කිරීම නිසා ඔහු ඇතුළු එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් අනෙකුත් දේශපාලනඥයෝ මහජනයාගේ අප්‍රසාදයට හා දැඩි විවේචනයට ලක් වූහ.   
2009 පමණ සිට මෙවැනි සිදුවීම් දහයකට අධිකව වාර්තා වී ඇත. ඒ හැම අවස්ථාවක්ම පාහේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කිසි සැලසුමක් නැතිව හිතුමතේ එවැනි ආපදා කළමනාකරණය කළ බවත්, ඒ සඳහා සැලසුම්ගත නිසි ක්‍රමවේදයක් නොතිබූ බවටත් විශේෂඥයෝ චෝදනා කරති.   
සිකුරාදා රාත්‍රී සිට එම ස්ථානයේ රැඳී සිටිමින් සජීවී දර්ශන ලබාදුන් මාධ්‍ය නාළිකා කිහිපයක්ම, විපතට පත් දරුවාගේ දෑත් පෙන්වමින් මාධ්‍ය සදාචාරයට පටහැනි ආකාරයෙන් ක්‍රියා කළ බවට චෝදනා ලැබූහ.   


මේ අතර එම නළ ළිඳ තැනූ ඉඩම් හිමියා, දරුවාගේ මරණයට තමා වගකිව යුතුයැයි දැඩි කම්පනයකින් සිටින බව වාර්තා වේ. ගැටලුව තිබෙන්නේ නළ ළිඳ කැණීමෙහි නොව, එය වසර ගණනාවක් තිස්සේ භාවිතයට නොගත්තද, ක්‍රමවත් ලෙස නොවසා තිබීමයි. අත්හැර දැමූ නළ ළිඳකට වැටී මිය ගියේ සුජිත් පමණක් නොවේ. 2009 සිට එවන් සිදුවීම් 12ක් සිදුවී තිබෙන බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   

 

 

 


අත්හැර දැමූ නළ ළිං නොවැසීම සම්බන්ධයෙන්, නීතිවිරෝධී ලෙස පටු ළිං සහ නළ ළිං හෑරීම පිළිබඳවත් මෙම සිද්ධියෙන් පසු කතිකාවක් ඇති වී තිබෙන අතර මදුරෙයි මහාධිකරණය විසින් තමිල්නාඩුවේ තිබෙන අත්හැර දැමූ සියලුම නළ ළිං හා පටු ළිං පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 21 දින ඉදිරිපත් කරන ලෙස තමිල්නාඩු රජයට නියෝගයක් නිකුත් කර ඇත.   


සුජිත් විල්සන්ගේ මරණය මුල් කරගෙන අබ්දුල් කලාම්ගේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කළ පොන්රාජ් නමැති නීතිඥයා මෙවැනි ළිං කැණීම හා භාවිතය සම්බන්ධයෙන් නීති හා උපදෙස් ලබාදීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.   


2006 වසරේදී පන්ජාබයේ අවුරුදු හයක් වයසැති දරුවෙක් මීටර් 20ක් ගැඹුරු ළිඳකින් ගොඩගෙන තිබෙන්නේ එතුළ පැය 48ක් සිරවී සිටීමෙන් පසුවයි.   


මේ වසරේ ජනවාරි මාසයේදී ස්පාඤ්ඤයේ මලගා නගරයේ නීතිවිරෝධීව කැණීම් කර තිබූ මීටර් 110ක් ගැඹුරු පටු ළිඳකට වැටී, දෙහැවිරිදි ජුලෙන් රොසෙරෝ නමැති දරුවෙකු ගොඩගැනීමට දැරූ ප්‍රයත්නයේදී මියගිය පුවතක් වාර්තා විය. ඔහුගේ සිරුර ගොඩගනු ලැබුවේ මීටර් 70ක් ගැඹුරේ තිබියදීය. ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේ මෙම දරුවා එම අනතුරට ලක් වී තිබුණු අතර ගලවා ගැනීමේ මෙහෙයුම විවේචනය කළ අයෙකු විසින් සිද්ධිය සම්බන්ධව නඩු පවරා ඇත.

 


අන්තර්ජාල වෙබ් අඩවි ඇසුරිනි.

 

නිසංසලා දිසානායක



අදහස් (0)

ඉන්දියාවම හඬවා අවසන් ගමන් ගිය දරුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 19 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 9 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 12 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 59 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site