(ඩයනා උදයංගනී)

වෛද්‍යවරයකුගේ වයස අවුරුදු 12 ක දියණියකට හලාවත, කොක්කවිල ප්‍රාථමික විදුහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී එන්නත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (27) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය මගින් සිදුකරන එම පරීක්‍ෂණයේ වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධ ඉදිරි පියවර ගනු ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා මෙහි වරදක් වී ඇත්නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි ද සඳහන් කළේය.

විමර්ෂණ අංශය විසින් මෙම වාර්තාව හැකි ඉක්මනින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට ලබාදෙනු ඇතැයි කී රංජිත් බටුවන්තුඩාව මහතා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් මේ පිළිබඳ විමසිල්ලෙන් සිටින බව කීවේය.

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වන අවස්ථාවක පිට පළාත්වලට ගොස් එන්නත් ලබාගැනීම සුදුසු දෙයක් නොවන බව ද හෙතෙම පැවසීය.