(යොහාන් භාසුර)

ඩොලර් හිඟය හේතුවෙන් සීනි කන්ටේනර් 100 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.

වෙළෙඳපොල තුළ මේ වන විට දැඩි සීනි හිඟයක් පවතින අතර සීනි තොග පවතින වෙළෙඳසල්වල ද කිලෝවක් රුපියල් 155 ත් 160 ත් අතර පාලන මිල ඉක්මවූ මිලකට අළෙවි වේ.

මෙම තත්වය පිළිබඳව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් ඊයේ (31) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ සීනි කන්ටේනර් පමණක් නොව වෙනත් භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ඇතුළත් මෙටි්‍රක්ටොන් දහස් ගණනක් ඇතුළත් කන්ටේනර් 500 ක් පමණ මේ වන විට වරාය තුළ සිරවී තිබෙන බවත් එම කන්ටේනර් ආනයනකරුවන් 40 කට අධික පිරිසකට අයිති බවත්ය.

වරාය තුළ සීනි කන්ටේනර් හිරවී තිබීම නිසා ආනයනකරුවන් සතුව සීනි තොග නොමැති බවත් තොග රැස්කරගෙන සිටි පිරිසක් වැඩි මිලට සීනි අළෙවි කරන බවට අනුමාන කළ හැකි බවත් සෙනෙවිරත්න මහතා පැවසීය.

වාණිජ බැංකුවලින් මීට පෙර පැවැති ආකාරයට සාමාන්‍ය පරිදි ඩොලර් නිකුත් කළේ නම් මෙවැනි තත්වයකට පත්නොවී දිනපතා කන්ටේනර් නිදහස් කරගන්නා බවත් ඩොලර් හිඟය සියලුම ආනයනරුවන් ප්‍රශ්න බවට පත්ව ඇති බවත් සෙනෙවිරත්න මහතා කීය.