(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවෙන් 1985 වසරේදී පකිස්තාන රජයට ලබාදී ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිව හා පීඩාකාරී අයුරින් කල් ගෙවන ”කාවන්” නම් හස්තියා ඉන් නිදහස් කරන ලෙස එරට මහාධිකරණය පසුගියදා නියෝග කර ඇතැයි වාර්තා වේ.
මෙම හස්තියා ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට ලබාදෙන විට වයස අවුරුද්දක් පමණ වී ඇති අතර කාවන් මේ වන විට 35 හැවිරිදි වියෙහි පසුවන අතර එම හස්තියා 2012 වසරේ සිට එම සත්වෝද්‍යානයේ ඉතා පීඩාකාරී අන්දමින් තනිව ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කාවන්ගේ, සහාකාරිය ලෙස 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට යැවූ ”සහේලි” නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් හස්තියා මෙසේ 08 වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල ජීවත්ව තිබෙන්නේ නිසි පහසුකම් හෝ නොමැතිව බව වාර්තා වේ.
මෙම හස්තියාගේ නිදහස හා ඔහුට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් සුප්‍රකට ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන චේර් (ක්‍යැර) ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවයක් ආරම්භ කර තිබූ අතර මෙම හස්තියා නිදහස් කරන්නැයි පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකරමින් ඉල්ලීමක් ද කර ඇත.
මෙම හස්තියාට නිදහස ලබා දෙන ලෙස එරට බලධාරීන්ට බලකරමින් ලක්ෂ 02 ක පිරිසක ගෙන් යුත් අන්තර්ජාල පෙත්සමක් ද අත්සන් කර ඇත.
මීට අමතරව මෙම හස්තියා පාදවල විලංගු යොදා දම් වැල් යොදා ගැට ගසා තිබෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර ඇති අතර ටකරං මඩුවක සිටි මෙම හස්තියා ඇතැම් අවස්ථාවල සෙල්සියස් අංශක 40 ට අධික උෂ්ණත්වයෙන් ඔහු දැඩි ලෙස පිඩා විදින බවටද වාර්තා කර තිබිණි.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාකිස්තාන මහාධිකරණය කාවන් නම් මෙම හස්තියා යොමු කළ හැකි සුදුසු සත්ව උද්‍යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බලධාරින් සමග සාකච්ජා කොට දින 30 ක් ඇතුලත අධිකරණයට දැනුම් දෙන ලෙස ද එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබේ.
මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු අකාර් මිනල්ලා පවසා ඇත්තේ මෙම හස්තියාට පහසුකම් සැපයීමට සහ ජීවත්වීමට සුදුසු පරිසරයක් ලබාදීමට බලධාරීන් ක්‍රියාකර නැති බවයි.
ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇත්තේ කාවන් අලි ඇතුන් සිටින සංකීර්ණයකට හෝ රටින් පිටත ස්ථානයකට යැවිය යුතු බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
අධිකරණය විසින් ලබාදුන් එම නියෝගය ලබාදීමත් සමග අමෙරිකානු ගායිකාව වන චේර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ”එදින ඇයගේ ජිවිතයේ වටිනාම දිනය” යනුවෙනි.
මෙම තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු කාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන්නැයි මෙරට සත්ව හිමිකම් සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ රජයෙන් ඉල්ලීම් ද කරමින් සිටී.



COMMENTS
නැවතත් මේ අහිංසකයාව යළි මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන මෙන් , සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. අපේ මනරම් දිවයිනේ උපත ලද "කාවන් " මෙසේ ටකරන් මඩුවක දුක් විඳිය යුතු සත්වයෙක් නොවේ. අපට මෙන්ම එයාලටත් "තනිකම "හොඳාකාරවම දැනෙනවා. කතාකරන්නට පුළුවන් නම් එයාගේ සහකාරිය නැතිව අවරුදු 8ක් විඳි දුක ලොවටම ඇසෙන්නට කියාවි. මෙයාව මේ අපායෙන් මුදවා ගත් සියලු දෙනාටම මහත් සේ ස්තුති වන්ත වෙමු. (2වෙනි ෆොටෝ එක දිහා බලන කොට තේරෙනවා එයා මොන තරම් පීඩනයකින්ද ඉන්නේ කියලා.) මොහු විඳි දුක් පීඩා ගැන ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබුනේ නම් අපට මිස් උනේ කොහොමද.?
අනේ දෙවියනේ !!! මෙහෙමත් දේවල් ඇහෙන්න දකින්න අපේ ඇස් කන් පව් කරලා තිබුණා නේද? මේ සුන්දර දැවැන්තයා මෙපමණ කලක් මොන තරම් දුකක් විඳින්නට ඇද්ද? ඇඟ කෙට්ටු වෙලා. අපේ ගෙදරක සුරතල් බල්ලෙකු මීට වඩා මොන තරම් සැප සම්පත් භුක්ති විඳිනවාද? මේ සතා නිදහස් කර ගැනීමට කැපවූ සැමටත්, එරට අධිකරණයටත්, අපගේ අනේක වාරයක් ස්තුතිය !!! කාවන් .. නැවත අපේ රටට එන්න ...කාරුණික අපේ මිනිසුන් ඔයාව ආදරයෙන් බලා ගනීවි . කාරුණික ඇමරිකානු ගායිකාවටත් අපගේ ප්‍රණාමය !!!
ලංකාවේ අලි ඇතුන් කිසිදු හේතුවක් මත වෙනත් රටවලට ලබාදීම වහාම නතර කළ යුතුයි.
අපේ රටේ නායකයින් තමන්ගේ අමනුස්සකම වසා ගැනීමට අන් රටවලට ත්‍යාග වශයෙන් වන ජීවීන්ව පැවරීම අප තුල එම නායකයින් ගැන ඉමහත් පිළිකුලක් සහ කෝපයක් ඇතිකරවයි.
ලොවපුරා විසිරි පැතිරී සිටින සියලුම ජාතීන්ට අයත් සත්වලෝලින් ලැබූ ජයග්‍රහණයක්. ඒවගේම මගේ පුද්ගලික අදහසත් එයාව එයාගේ රටටම.. ඒ කියන්නේ අපේ රටට ගෙන්වා ගත යුතුයි.. වයස අවුරුදු 1 සිටම මිනිස් ඇසුරේ හැදී වැඩි දුක්විඳිමින් අවුරුදු 35 ක්ම ගතකල නිසා මෙයාව නැවතත් වනයට යවන්න බැහැ. නමුත් ඇත් අතුරු සෙවන වැනි.. මේ දැවැන්තයන්ට සෙවන දෙන - බලාකියා ගන්නා ස්ථානයකට යොමු කල හැකියි. මම දැනට අවුරුදු 2කට විතර කලින් හදිස්සියේ ලංකාවට පැමිණි වෙලාවක හදිස්සියේම ඇත් අතුරු සෙවන බලන්න යන්න අවස්ථාවක් ලැබුනා. මට දැනුන විදිහට එහි සේවයකරන මහත්ම මහත්මීන් සියලුදෙනාම මේ සතුන් ගැන හැම මොහොතේම ' ඇස් යොමාගෙන ' සිටින්නේ... එහි සේවය කරන වෛද්‍යවරුනුත් ඒ ගොල්ලන්ගේ ජිවිතයම මේ සතුන් වෙනුවෙන් කැපකරලා තියෙන්නේ. මට එහිදී හමුවුන දොස්තර මාලක අබේවර්ධන මහතා සහ තවත් වෛද්‍යවරියන් දෙදෙනෙක්, බිම දිගාවී අසාධ්‍ය තත්වයේ සිටි දැවැන්තයෙකුට රුධිරයපාරවිලයනය කරමින් සිටියේ..... පසුව දැනගන්න ලැබුනා ඒ සත්වයා සුවය ලැබුවා කියා. ඇත්තටම එතන වෙනම ලෝකයක්. කාවන්ට එතැන පාරාදීසයක් කියලා හිතේවි.අපිට පමණක් නොවෙයි..සතුන්ටත් ...තමන් ඉපදුන තැන තරම් නිදහස් තැනක් වෙන කොහෙද...
සත්ව කරුණාවක් නැති ජාතියකට මෙවන් ජාතික වස්තු පිරිනැමීමේදී ඉතා ප්‍රවෙසම්විය යුතුය. පකිස්ථානයේ අවුරුද්දකට ඔටුවන්, හරකුන් ,එළුවන් කීදාහක් ඔවුන්ගේ ආගම වෙනුවෙන් මරාදමනවද? යුරෝපා රටවලට සහ ඇමරිකාවට තෑගි සහ සිහිවටන වශයෙන් දුන් අලිඇතුන් අද කොපමණ සතුටින් සිටිනවා පමණක් නොව ඔවුන් සිටින කලාපයේ ශ්‍රී ලංකා ධජයද සිතුවම් කර තිබෙනවා. එය දැකීම අපටත් ආඩම්බරයක්....
එතුමියට හද පිරි ස්තුතිය. එපින් බලෙන් ඇය නිවනින් සැනසීම වෙත්වා.
සුරතල් ඇත් බබෙකු දුන්නේ පිට රටට .. ඇයිදෝ අනේ ! මා වැඩිදෝ මව් රටට .. සොඳුරිය මිය ගියේ මගෙ පෙර කරුමෙකට .. තිස් පස් වසරක්ම වින්දේ දුක් ගැහැට...
මේ අලියව ආපසු ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් තියනවද ? කරුණාකර දෙනුම් දෙන්න. වියදම් ප්‍රශ්නයක් නොවේ
තමන්ගේම රටේ ගැහැනියකට වත් නිදහසක් නොදෙන මෙවැනි සංස්කෘතියක හස්තියෙකුට ලැබෙන නිදහස මොකක්ද? කුඩා ළමයාට පවා සතුන් ඝාතනය කිරීමේ ක්‍රම පුහුණු කරන රටවලට අපේ අහිංසක වන සතුන් යවන එක කරුණාකර නවතා දමන්න.
මේ සත්වයාගේ නිදහස වෙනුවෙන් ක්‍රියාකළ සැමට බොහෝ පින්. ශ්‍රී ලංකාවාසීන් වශයෙන් අපේ යුතුකම වෙනුවෙන් ඉටුකරමු. අප සැවොම එකමුතු වී ගරු ජනාධිපතිතුමාට සැලකර සිටිමු.. මේ අහිංසක සත්වයාට පින්නවල අලි අනාථාගාරයේ ඔහුගේ නිවහන කරගැනීමට වැඩසලසා දෙන ලෙසට... ගරු ජනාධිපති තුමනි, ඔබගේ කරුණාව මේ සත්වයාට ලැබෙනු ඇති කියා ටොරෙන්ටෝ වසන අපි බලාපොරොත්තු වෙමු. ඔබට දෙවිපිහිට ලැබේවා...!!!
පූජා, විජී, රවි, පරිසර මිතුරන්ට.. දුක්මුසු පුවත දුක ගෙනදෙයි හදවතට .. පෙරලන්නට බලමි එය දුක්මුසු කවියකට.. දෙනුවන් තෙත්ව වැගිරෙනවා ! කඳුළු කැට ..
මාස 2ක් ගෙදරට වෙලා ඉන්න බැරිවුණු අපි දැන්වත් සත්ව උද්‍යානවල හිරකරලා ඉන්න සත්තු ගැන හිතන්න අවශ්‍යයි. මොකද මේ සතුන් සදාකාලිකවම අපි මාස දෙකකට ආසන්න කාලයක් ලබපු අත්දැකීම ලබනවා..
මේ හස්තියව වහාම ශ්‍රීලංකාවට රැගෙන විත් නිදහස ලබාදිය යුතුයි. අපේ දේශපාලකයන්ගේ මෝඩකම් නිසා අහිංසක සතුන් දුක් විදිනවා. ජේ.ආර් රජයේ පටන් දේශපාලන නායකයෝ පිටරටවල් වලට තෑගි වශයෙන් අහිංසක අලි පැටවුන් ප්‍රධානය කිරීම වහා නතර කළ යුතුයි. මෙය මහා අමන ක්‍රියාවක් ලෙස දැන්වත් තේරුම් ගත යුතුයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි කාවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන්වීමට කටයුතු කරන්න.
සතුන් කූඩු කරනවා කියන්නේ කොහොමත් සත්ව හිංසනය තමයි.
මේ අහිංසක සතා පාකිස්තානයට පූජකරපු පරයන් අලියට කෙක්කත් යවන්න ඇති. පූජාකරපු කෙක්ක ඒ අයම ගෙදර තියාගත්තට කමක් නෑ පව් නෑ ලොකු කුසල කර්මයක්...
මෙයා පින්නවල ඇත්අතුරු සෙවනට ලබාදෙන්න... මොකද මෙයා කැලයට හුරුකරන්න අමාරුයි. එතකොට නිදහසේ ඉන්න පුළුවන්...
අවුරුදු 35ක් සිතුවිලි සයුරක අතරමන් වී සිටින මේ අසරණ සතාට ආපසු එන්නට උදවු කරමු.
අවුරුදු 35ක් මානසික පීඩා විඳපු මේ අසරණ සත්වයා ආපසු ගෙන්වාගන්න උදව් කරමු.
ලංකාවේ පන්සල්වල, දේවාලවල අනන්ත දුක් විඳිමින් දිනපතා හිංසාවට ලක්වෙමින් මිහිපිට අපායවල සුන්දර නම් වලින් පෙනීසිටින අපේ අලිඇතුන් ගැන කවුරු කවදා කතා කරයිද?
සමිත සේනක මහත්මයා , මම මේ ආටිකල් එක දැක්ක ගමන්ම බොහෝ සේ දුක්වී මගේ අදහස දැම්මා.... අපේ රටේ ඇත්තන්ට මෙයාලගේ අගයක් නැති වුණාට, පිටරැටියන් මෙයාව නිදහස් කර ගැනීමට දැක්වූ දායකත්වය ගැන සිතන කොට අපි අපි ගැනම ලැජ්ජා විය යුතු වෙනවා.. දෙවෙනි ෆොටෝ එක දුටුවිට මගේ ඇස් වලට කදුළු පිරුණා. එයා ඔලුව බිත්තියේ ගසාගෙන, තමන්ගේ දුක, වේදනාව ලොවටම කියාපානවා. මෙයාව හැකිතාක් ඉක්මනටම ලංකාවට ගෙන්වාගෙන, එයාට ලැබුණු නිදහස වචනයට පමණක් සීමා නොකොට සිත්සේ විඳීමට ඉඩ සලසා දෙනු ඇතැයි විශ්වාස කරනවා.
සමිත, මේ දෙවන ෆොටෝ එක බලන්න.. ඒ සතා අවුරුදු 35 ක් පුරාවට විඳපු දුක් කන්දරාවම ඒ ෆොටෝඑකෙන් කියාපානවා. ඔලුව බිත්තියට ගහගෙන එයා හිතනවා ඇති " මේ තරම් දුකක් මට දෙන්න ..මම මේ මිනිස්සුන්ට කරපු වරද කුමක්ද.." කියලා. එයාගේ ඔලුවේ තියෙන තණකොළ කෑලි එයාම විසුරුවගත්ත ඒවා. අධික උණුසුමෙන් ශරීරය බේරාගන්න මේගොල්ලෝ දුහුවිලි.. තණකොළ ආදිය මෙසේ ශරීරය පුරාවට හලා ගන්නවා. ඒ ෆොටෝඑකේ " කාවන්ගේ " ඇස් බිමට යොමාගෙන ඉන්නේ. එයින් අදහස් කරන්නේ ජිවිතයේ යම්කිසි බලාපොරොත්තුවක් තිබුණානම් තිබුනේ " සහේලි " ගැන පමණයි.. නමුත් ඒ බලාපොරොත්තුවත් මා අතහැර ගිහින්.. දැන් මම ජීවිතය ඔහේ ඉබාගාතේ ජීවිතයට කැමති විදහකට යන්න ඉඩහැරලා ඉන්නේ. හෙට..නැත්නම් ළඟ එන දවසකදී. මගේ අවසන් බලාපොරොත්තුව ඉටුවෙනකම් මම බලාගෙන ඉන්නම්. ඒ තමයි මරණය. ඊට කලින් මට මිනිස්සුන්ගෙන් යමක් අහන්න අවසරයි.. "කුරාකුහුඹියෙකුටවත් වරදක් නොකළ මට ඇයි මේ අපරාධය කළේ..? මම අහලා තියෙනවා මම ඉපදුණු රට බොදුනුවන්ගේ රටක් කියලා. බුදුන්වහන්සේ දේශනාකරලා තියෙනවාද සතුන්ට මෙවැනි හිංසා කරන්න කියලා. මට මගේ රටේවත් අවසන් හුස්ම හෙලන්න ඉඩ ලැබුනොත්. එ්ත් එය සිහිනයක් පමණයි.. මම කාටත් පොදු ඉරණම් ගමන යන්නම්..