(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් 13 දෙනකු එහි චැපල් වාට්ටුවේ වහලය මත නැගී සිදුකළ විරෝධතාවය හේතුවෙන් එම ගොඩනැගිල්ලට සහ පොදු දේපළවල රුපියල් කෝටි 60කට අධික හානියක් සිදුවී ඇති බවට තක්සේරු වාර්තා මගින් තහවුරු කර ඇතැයි බොරැල්ල පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) කරුණු වාර්තා කර තිබේ.
මෙම ගොඩනැගිල්ල පෞරානික වටිනාකමකින් යුතු මිල කළ නොහැකි එකක් බව ද එම තක්සේරු වාර්තාව මගින් දක්වා ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
තමන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මරණිය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් 13 දෙනකු ඉකුත් 2021 වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා සිට ඔක්තෝම්බර් මස 28 වැනිදා දක්වා කාලයේ මෙම විරෝධතාව සිදුකළ බවත් එයින් මෙම දේපල හානිය සිදුවූ බවත් පැමිණීල්ලේ සදහන්ව ඇතැයි බොරැල්ල පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ, වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයේ ප්‍රධාන ජේලර් ජයකොඩිගේ දොන් ජයවංශ ප්‍රියංකර ජයකොඩි මහතා ය.
COMMENTS
කොමිස් එකක් එක්ක හදලාද කොහෙද?