(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
සිව් හැවිරිදි දරුවා ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරු පැදියක යමින් සිටි අඹු සැමි යුවලක්  අද (21)  පිළියන්දල ජාලියගොඩ දී අනතුරකට ලක්වීමෙන් එම දරුවා සහ දරුවාගේ පියා මිය ගිය බව පිළියන්දල  පොලීසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචි ව සිටි ප්‍රදීප් උදය කුමාර (32) හා ඔහුගේ පුතු වන සදෙව් අබිරාශ් ය( අවුරුදු 4).

එම අඹුසැමි යුවල කුඩා දරුවා සමග පිළියන්දල දම්පේ නිවසක තාවකාලිකව නැවතී සිටින අතර ඊයේ  උදේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යොමු කර ඔවුන් දෙදෙනා රැකියාවට යාම සදහා  කොළඹ දෙසට යමින් සිටිය දී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි 
 
හොරණ කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ  මංතීරු දෙක වෙන් කිරීම සදහා යොදා තිබෙන මැද දූපතේ තබා තිබූ විශාල මල් පෝච්චියක යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
 
අනතුර සිදු වීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.