(***මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට ගොදුරුව මියගිය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 23 දෙනෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවමංගල්‍ය කටයුතු කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් දීමනා ලබා දී ඇතැත් ඔවුන්ට රුපියල් ලක්‍ෂ 10 බැගින් දීමනාවක් ලබා දීමට රජය තීරණය කළත් මෙතෙක් එම මුදල් ගෙවා නැති බවත් එම දීමනා ලබා දීමට අවශ්‍ය ලේඛන හානිපූර්ණ කාර්යාලයට ඉදිරිපත් කොට ඇති බවත් කොළඹ ප්‍රාදේශීය ලේකම් සුරංගි කාංචනා ගුණසේකර මහත්මිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් පාස්කු ප්‍රහාරයන්ට ගොදුරුවූයේ කොච්චිකඩේ පල්ලියේ දී බවත් එම ප්‍රහාරයන්ට ගොදුරුවී මියගිය පුද්ගලයන්ට අමතරව බරපතළ තුවාල ලැබු පුද්ගලයන් 26 දෙනෙකුට වන්දි ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන තම කාර්යාලය විසින් හානිපූර්ණ කාර්යාලයට ඉදිරිපත් කොට ඇතැයි ද සුරංගි කාංචනා ගුණසේකර මහත්මිය කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් පැවසුවාය.

මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂමේ සාමාජිකයන් වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා (සභාපති), එහි පරීක්ෂකවරුන් වන බන්ධුල කරුණාරත්න, සුනිල් රාජපක්‍ෂ, බන්ධුල අතපත්තු සහ ඩබ්ලිව්. එම්.එස්. අධිකාරී මහත්ම මහත්මීහු කටයුතු කරති.

මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් බුවනෙක හේරත් මහතා කටයුතු කරන අතර කොමිසමේ භාෂා පරිවර්තකවරයා වශයෙන් විමල් ද සිල්වා මහතා කටයුතු කරයි.

කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි පරීක්ෂකවරුන්ගේ හා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් 2019 දෙසැම්බර් මාසයේදී තමන් කොළඹ ප්‍රාදේශීය ලේකම් තනතුරට පත්වූ බවත් තමන්ට කොටුව, පිටකොටුව, මෝදර, මට්ටක්කුලිය ඇතුලු ග්‍රාම නිලධාරී වසම් 35ක් අයත් බවත් කොළඹ ප්‍රදේශීය ලේකම් සුරංගි කාංචනා ගුණසේකර මහත්මිය පැවසුවාය.

සුරංගි කාංචනා ගුණසේකර මහත්මිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ප්‍රහාර වලින් මගේ බල ප්‍රදේශයේ පවතින සැංග්‍රිලා හා කිංස්බරී හෝටල්වලට ද කොච්චිකඩේ පල්ලියට ද ප්‍රහාර එල්ල වුණා. ඉන් මගේ  බලප්‍රදේශයේ පදිංචිකරුවන් 23 දෙනෙකු මිය ගියා. ඔවුන් සියලු දෙනාම කොච්චිකඩේ පල්ලියට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණා. තවත් 26 දෙනෙකු බරපතළ තුවාල ලැබ සිටිනවා.

පාස්කු ප්‍රහාරයන්ට ගොදුරුව මියගිය පුද්ගලයන් 23 දෙනාගේ බාරකරුවන්ට අවමංගල්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂය බැගින් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දීමනා ලබා දී තිබුණා. පාස්කු ප්‍රහාරයන්ට ගොදුරුව මියගිය පුද්ගලයන්ට රුපියල් ලක්‍ෂ 10 බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කළා. ඒ අනුව ඉතිරි රුපියල් ලක්‍ෂ 9ක මුදල් ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන හානිපූර්ණ කාර්යාලයට ඉදිරිපත් කළා. ඔවුන්ට මෙන්ම මෙම සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයන් 26 දෙනෙකුට වන්දි ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන ද මේ වන විටත් තම කාර්යාලය විසින් හානිපූර්ණ කාර්යාලයට ඉදිරිපත් කොට අවසානයි.

මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 23 දෙනාගේ බාරකරුවන්ට අවමංගල්‍ය කටයුතු සිදුකරගැනීම සඳහා රුපියල් ලක්‍ෂය බැගින් ලබා දුන්නේ ඔවුන් ලාංකීකයින් වීම සහ ඔවුන්ගේ පදිංචිය සළකා බැලීමෙන් පමණයි. මෙම ප්‍රහාරයන්ට ලක්වූ විදේශිකයන්ට අපි කිසිදු ගෙවීමක් කළේ නැහැ. එවැනි අවස්ථාවක විදේශිකයන්ට වන්දි  ගෙවන ක්‍රමවේදයක් මා දන්නේ නැහැ.
මේ අවස්ථාවේ දී සුරංගි කාංචනා ගුණසේකර මහත්මිය විසින් එලෙස වන්දි ලබාදුන් අයගේ නාම ලේඛනයක් කොමිසමට ඉදිරිපත් කළාය.

පාස්කු ප්‍රහාරයන්ට ගොදුරුව තුවාල ලැබු වැඩිහිටියන්ට හා පොඩි දරුවන්ට ප්‍රතිකාර ගැනීම සඳහා තම කාර්යාලයෙන් ආධාර ඉල්ලුවත් ඒ සඳහා රජයෙන් වන්දි ලබාදීමට ප්‍රතිපාදන නැති හෙයින් ආධාර ලබාගැනීම සඳහා ඔවුන් ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වෙත යොමු කළා. නමුත් ඔවුන්ට එම ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වලින් ආධාර ලැබුණ ද කියා දන්නේ නැහැ.

මෙම ප්‍රහාරයට ලක්වුවන් සියලු දෙනාට වන්දි මුදල් ලැබුණද කියා තවදුරටත් ලේඛන පරීක්‍ෂා කොට තහවුරු කොට ගතයුතුයි. විදේශිකයන්ගේ මෘත දේහයන් ඔවුන්ගේ රටවලට යැවීම සඳහා රජය හෝ තානාපති කාර්යාල විසින් යම් වියදමක් දරුවාද යන්න මා දන්නේ නැහැ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නාලක ගුණසේකර මහතා මෙසේ ද පැවසීය.

2019 අප්‍රේල් මස 21 වැනිදා කොච්චිකඩේ පල්ලියට එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව උදේ 9.30ට පමණ මගේ හිතවතෙකු විසින් මට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී මා වහාම පොලිසියේ සිටි සෙසු නිලධාරීන්ගේ සහයෝගයෙන් පොලිස්ථානයේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය පියවර ගත්තා. ඒ අතරතුර පොලිස්ථානයේ මෝටරෝලා යන්ත්‍රයෙන් ෂැංග්‍රිලා හෝටලයට එල්ල කෙරුණු ප්‍රහාරය පිළිබඳව සහ කිංස්බරී හෝටලයට එල්ල කෙරුණු ප්‍රහාරය පිළිබඳව දැනගත්තා.

ඒ අවස්ථාවේදී මා තවත් නිලධාරීන් තිදෙනෙකු සමඟ පාරට පැමිණ පාරේ ගිය ත්‍රීරෝද රථ දෙකක් නවතාගෙන උදේ 10.45 වනවිට ෂැංග්‍රිලා හෝටලයට ගියා. අපි එහි  යන විටත් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කළුආරච්චි මහතා එහි සිටියා. අපි එහි යන විට ෂැංග්‍රිලා හෝටලයේ දැඩි කළබලකාරී වතාවරණයක් තිබුණා. හෝටලයේ නේවාසික අමුත්තන් හෝටලයේ එක් පසෙක රැස්වී සිටියා.

ඒ අවස්ථාවේ දී පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කළුආරච්චි මහතා මට කතා කොට අපරාධ ස්ථානය ආරක්‍ෂා කිරීමට හා විමර්ශන ආරම්භ කරන ලෙස මට නියෝග කළා. ඒ අනුව මා ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා.

‘ටවුන් හෝල්’ බෝම්බ සිද්ධිය ඇතුළු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සිද්ධීන් බොහෝමයකට අදාළ විමර්ශනවලට මා සම්බන්ධ වුණා. ඒ නිසා එවැනි සිද්ධීන් බොහෝමයක් පිළිබඳව මට අත්දැකීම් තියෙනවා. ත්‍රස්තවාදීන්ගේ අවසන් මරාගෙන මැරෙන ප්‍රහාරය වන වව්නියාවේ දී පොලිස් නිලධාරීන් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව මා සිදුකළ සාර්ථක විමර්ශනයෙන් අනතුරුව එම අපරාධයට සම්බන්ධ බව හෙළි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එලෙස අත්දැකීම් ඇති මට ප්‍රහාරයෙන් හානි වූ ෂැංග්‍රිලා හෝටලය හා එහි සේවකයන්ගෙන් දැනගත් තොරතුරු අනුව මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට වැටහී ගියා.

ඒ වන විටත් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූ ෂැංග්‍රිලා හෝටලයේ ‘ටේබල් වන්’ ආපන ශාලාවේ තිබී පහළට ගෙනා මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර හා සිරුරු කොටස් ආදිය පරීක්‍ෂා කිරීමේ දී කඳින් වෙන් වූ හිස් දෙකක් මා දැක්කා. එම හිස් දෙකෙන් එකක් මා හොඳින් පරීක්‍ෂා කළා. එවිට මට මතක් වුණා මේ හිස කොටස ‘අවශ්‍ය පුද්ගලයකු’ වශයෙන් පොලිස්ථානයේ දැන්වීම් පුවරුවේ පළකොට ඇති දැන්වීමේ සඳහන් පුද්ගලයාගේ හිස බව.

මා ෂැංග්‍රිලා හෝටලයට ගොස් සුළු වේලාවකට පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා, පොලිස් අධිකාරී අම්පාවිල මහතා, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ විමර්ශන ආරම්භ කළා.

ඒ අවස්ථාවේ දී මා පෞද්ගලිකව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාට කතා කොට මෙම ස්ථානයට පැමිණ විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී අජිත් තෙන්නකෝන් මහතා කතා කොට සංකීර්ණ තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් මෘත ශරීර පොලිස් මෘත ශරීරාගාරයට එවන ලෙස දැනුම් දුන්නා. ඒ අනුව මෘත ශරීර සියල්ල ‘ටැග්’ කොට එම මෘත ශරීර පොලිස් මෘත ශරීරාගාරයට යැව්වා. මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ ලිපිනවලට ද මියගිය විදේශිකයන් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ද දැනුම් දීමට පියවර ගත්තා.

මේ අවස්ථාවේදී සාක්කිකරු ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා, ඒ අවස්ථාවේ දී එතැනට පොලිස්පතිවරයා පැමිණියාද?
පොලිස් පරීක්‍ෂක නාලක ගුණසේකර. මා ෂැංගිලා හෝටලයේ රැඳි සිටි කාලයේ දී පොලිස්පතිවරයා එතැනට පැමිණියේ නැහැ.
කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි පරීක්ෂකවරුන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් සාක්කිකාර පොලිස් පරීක්‍ෂක නාලක ගුණසේකර මහතා මෙසේද කීය.

ප්‍ර. ඔබ කීවා ෂැංග්‍රිලා හෝටලයේ දී දුටු කඳ කොටස නොමැති හිස දැක එය පොලිස්ථානයේ දැන්වීම් පුවරුවේ දමා තිබු පුද්ගලයාගේ බව එකවරම හඳුනාගත් බව.
පිළි. ඔව්.

ප්‍ර. පොලිස්ථානයේ දැන්වීම් පුවරුවේ දමා තිබු පුද්ගලයාගේ ඡායාරූපය සමඟ කුමක්ද සඳහන් කොට තිබුණේ?
පිළි. ඔහු පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙසත් තොරතුරු දැනුම් දෙන ලෙසත් එහි සඳහන් කොට තිබුණා.

ප්‍ර. හිස කොටස පමණක් දුටු විට පොලිස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබු ඡායාරූපය මතක් වෙන තරමට එහි ඔහු පිළිබඳව සඳහන් කොට තිබු විස්තර මොනවාද?
පිළි. තව්හිඩ් ජමාද් සංවිධානයේ නයකයා වශයෙන් ඔහු දිවයින පුරා අපරාධ සිදුකිරීම සඳහා ඔහු සුදානමින් සිටින නිසා ඔහු පිළිබඳව අවශ්‍ය තොරතුරු රැස්කරන ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එහි සඳහන් කර තිබුණා.

ප්‍ර. ඔහුගේ නම එහි සඳහන් කර තිබුණ ද?
පිළි. ඔව්. සහරාන් ලෙස සඳහන් කර තිබුණා.

ප්‍ර. ඔහු පිළිබඳව ඔබ පොලිස්ථානාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා ද?
පිළි. නැහැ. නමුත් ඡායාරූපයේ සිටි පුද්ගලයා පිළිබඳව මගේ මතකයේ තිබුණා. ඒ නිසා කඳින් වෙන්ව තිබු හිස දුටු විගස මා ඔහු හඳුනා ගත්තා.

ප්‍ර. පොලිස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබු ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව සුපරීක්‍ෂාකාරී වන ලෙස පොලිස්ථානාධිපතිවරයා දැනුම් දී තිබුණාද?
පිළි. නැහැ. ඒ නිසා ඔහු පිළිබඳව සුවිශේෂි අන්දමින් කටයුතු කළේ නැහැ. පොලිස්ථානාධිපතිවරයා සුපරීක්‍ෂාකාරී වන ලෙස දැනුම් දී තිබුණා නම් ඔහු පිළිබඳව සුවිශේෂි අන්දමින් කටයුතු කිරීමට හැකියාව තිබුණා.

ප්‍ර. ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබුණා නම්, පොලිස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව නිලධාරීන් දැනුවත් කරනවාද?
පිළි. ඔව්.


අතිඋතුම් මැල්කම් රන්ජිත් කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගිම්හානි ගමගේ මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නාලක ගුණසේකර මහතා මෙසේද පැවසීය.

මෙම ප්‍රහාරයෙන් පසු සොහොන් කොත් ඇති මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබුණා. ඒ අනුව කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඇති මුස්ලිම් පල්ලි පරීක්‍ෂා කළා. ඒ අතර කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදියේ ඇති මුස්ලිම් පල්ලිය පරීක්‍ෂා කිරීමේදී කඩු පිරවූ ගෝනියක් උප පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා  විසින් සොයා ගෙන තිබුණා. පසුව එම පල්ලියේ මව්ලවිවරයා සහ ඔහුට කඩු අඩංගු ගෝනිය ගෙනැවිත් දුන් පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.


ප්‍ර. කඩු අඩංගු ගෝනිය ගෙනැවිත් දීම සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගත්තේ කවුද?
පිළි. නාගරික මන්ත්‍රීවරයකු වන තාජුඩීන් මොහොමඩ් නමැත්තා. එලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු මට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තියෙනවා. නමුත් කඩු අඩංගු ගෝනිය මව්ලවිවරයාට ගෙනැවිත් දුන්නේ ඔහු බවට පැහැදිලි සාක්කි තියෙනවා.

ප්‍ර. ඔහු යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමඟ සම්බන්ධකම් පවත්වන බවට විමර්ශනවල දී හෙළි වුණාද?
පිළි. ඔව්. නාගරික මන්ත්‍රී තාජුඩීන් මොහොමඩ් නමැත්තා ඔහුගේ ඡන්ද කටයුතුවල දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමඟ සමීපව කටයුතු කළා.

ප්‍ර. මෙම සිද්ධියට අදාළ විමර්ශනවල දී අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔබට කතා කළා ද?
පිළි. නැහැ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් ෂැංග්‍රීලා හෝටලයේ හිටපු ආරක්‍ෂක අධ්‍යක්‍ෂ එරන්ද මාලක චන්ද්‍රදාස මහතා මෙසේද පැවසීය.

නාවික හමුදාවේ අධිකාරීලත් නිලධාරීවරයාකු ලෙස රාජකාරී කළ මා විදේශ රටක ආරක්‍ෂක විශ්ලේෂකයකු වශයෙන් පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති මා දැනට අග්‍රාමාත්‍යවරයාගේ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරීයා ලෙස කටයුතු කරනවා. මේ සිද්ධිය වන විට මා වාර්ෂික නිවාඩුව ගතකරමින් විදේශගතව සිටියා. 2019 අප්‍රේල් මස 12 වැනිදා විදේශගතවූ මා ප්‍රහාරය පිළිබඳ දැනගත් විගස අප්‍රේල් මස 22 වැනිදා යළි ලංකාවට පැමිණියා.

මෙම කොමිසමට පාදක වන සිද්ධිය  වන අවස්ථාවේදී ෂැංග්‍රීලා හෝටලයට පැමිණෙන අමුත්තන්ගේ ශරීර හෝ ඔවුන්ගේ ගමන්මලු පරීක්‍ෂා කළේ නැහැ. ඒ වන විට රටේ යහපත් ආරක්‍ෂක තත්ත්වයක් තිබු නිසා අපේ හෝටලයේ විතරක් නෙවේ කිසිදු හෝටලයක එවැනි පරීක්‍ෂා කිරීම් සිදුවූයේ නැහැ. අනිත් හෝටල් නොකරන ආකාරයේ පරීක්‍ෂා කිරීම් අපි කළා නම් අමුත්තන්ගෙන් මෙන්ම වාණිජ්‍යමය ආකාරයෙන් අපිට ගැටලු පැන නගිනවා.

ෂැංග්‍රීලා හෝටලයේ ඇති කාමර 521ක පුද්ගලයන් 900 කට පමණ නවාතැන් ගැනීමට හැකියාව තියෙනවා. හෝටල් සේවකයන් 250ක් 300 ක් විතර ඉන්නවා.

කතෝලික පල්ලිවලට හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට පහරදීමක් පිළිබඳව හෝ එවැනි අවදානමක් ගැන කිසිවකු මා දැනුවත් කොට තිබුණේ නැහැ. පාස්කු ඉරිදා ෂැංග්‍රීලා හෝටලයේ ‘ටේබල් වන්’ අවන්හලේ දී උදේ ආහාරය හා දවල් ආහාරය අතර ‘බ්‍රන්ච්’ එකක් සුදානම් කර ඇති බවට දැන්වීම් පළ කොට තිබුණා. මෙම ‘බ්‍රන්ච්’ එක 2018 වසරේදී සූදානම් කර තිබුණේ පළමු වතාවටයි.

ෂැංග්‍රීලා හෝටලයේ ‘ටේබල් වන්’ අවන්හල ඇත්තේ එහි තුන්වැනි තට්ටුවේයි. මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ පැමිණ හෝටලයේ හය වැනි තට්ටුවේ කාමරයක නවාතැන් ගෙන තිබුණා. ඔහු ප්‍රහාරයට පෙර මධ්‍යම රාත්‍රීයේදී හෝටලයෙන් පිටවී ගොස් පැය කිහිපයකට පසු යළි හෝටලයට පැමිණෙන අයුරූ සී.සී.ටී.වී. දර්ශන වල පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඔහු පිටතට ගොස් යළි පැමිණියත් ඔහු සමඟ පැමිණි පුද්ගලයා කාමරයටම වී සිටි බවට පැහැදිලි වනවා.

‘ටේබල් වන්’ අවන්හල තුළට එල්ල වූ පළමු ප්‍රහාරයෙන් විනාඩියකින් අනතුරුව දෙවැනි ප්‍රහාරය එල්ල වී තිබුණා. එම දෙවැනි ප්‍රහාරයෙන් තමා වැඩිම ජීවිත හානී සිදුව තියෙන්නේ.

අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීනී කාන්තා පොලිස් පරීක්‍ෂක එච්.එම්. සුමනලතා මහත්මිය, පොලිස් පරීක්‍ෂක ප්‍රසාද් සේනාදර ද සිල්වා, කිංස්බරී හෝටලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂක විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ධම්මික තුඩුවේවත්ත මහතා ඇතුළු පිරිසක් කොමිසමේ දී සාක්කි දුන්හ.

වැඩිදුර සාක්කි විමසීම අද (22) දක්වා කල් තබන ලදී.