(විනීතා එම් ගමගේ)
කල්පිටිය අර්ධද්වීපයේ කාන්තාවන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගු වන බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසයි.
එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ශරීරවල රසදිය අඩංගුදැයි බැලීමට රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු යැයි ඒ මහතා ලංකාදීපයට පැවසීය.
කල්පිටියේ අවුරුදු 18 සිට 44 දක්වා වයස් කාණ්ඩයන්හි කාන්තාවන් යොදා ගෙන සිදුකළ මෙම අධ්‍යයනයේ දී හෙළි වූයේ මිනිස් සිරුරේ තිබිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති රසදිය ප්‍රමාණය ඉක්මවා විශාල ප්‍රමාණයක් ශරීරගතව තිබූ බව ද විතානගේ මහතා කීය.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ පැවැතිය හැකි උපරිම රසදිය ප්‍රමාණය කොටස් මිලියනයකට එක් කොටසක් පමණක් බවත් අධ්‍යයනයට ලක් කළ සමහර කාන්තාවන්ගේ සිරුරුවල මිලියනයකට කොටස් හයක් හතක් පමණ තිබූ බව ද සඳහන් කළේය.
අධ්‍යයනයට ලක් කළ කාන්තාවන් සියලු දෙනා කළපුවෙන් අල්ලන මසුන් ආහාරයට ගන්නා බවත් ඒ අනුව කළපු මසුන්ගෙන් මෙම රසදිය ඔවුන්ගේ ශරීරවලට ඇතුල් වූයේ යැයි සිතිය හැකි බවත් කළපුවට රසදිය එක් වීමට ඇති එකම හේතුව එහි ඇති ගල් අඟුරු බලාගාරය විය යුතු බවත් විතානගේ මහතා කීය.
මෙරටට ගෙනෙන ගල් අඟුරුවල රසදිය ප්‍රමාණය බැලීමේ ක්‍රමයක් නොමැති බව පෙන්වා දුන් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා එවැනි ක්‍රමයක් සකස් විය යුතු බව ද කියා සිටියේය.
මිනිස් සිරුරේ රසදිය ප්‍රමාණය මැන බැලීමට තම සංවිධානයට හැකියාව නොමැති බවත් ඒ සඳහා රජයේ සෞඛ්‍ය අංශ වහා මැදිහත් විය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
ලෝකය ගල් අඟුරු තාක්ෂණය පාවිච්චි කරලා ඉවත්වෙලත් දැන් අවුරුදු 150කට වැඩි, අපි තාමත් මහා පරිසරය නසන ඉපැරණි ක්‍රමවල ගිලි ඉන්නවා, මේකත් කොහේදෝ රටක භාවිතා කරලා ඉවත් කරපු එකක් නේද අපි මිලදී ගත්තේ, අනේ අපේ පාලකයෝ, මිනිස්සුන්ට මොනා උනත් කමක් නැහැ . ලෝකේ අනිත් රටවත් කාබන් රහිත හරිත ලෝකයකට ගමන් කරද්දී අපි කොහෙද තාම,
මිනමාටා රෝගය ජපානයේ හැදුනා රසදිය විෂවීමෙන්. මාරාන්තිකයි.
සාමාන්‍යයෙන් නොගැඹුරු මුහුඳේ මාළු වල බැරලෝහ අධිකව අඩංගු විය හැකි බැවින් එම මාළු අධිකව නොගත යුතුය. ශරීරයේ බැරලෝහ අඩු කර ගැනීමේ ක්‍රමයක් නම් විශාල ප්‍රමාණයෙන් මිරිදිය ඇල්ගී වර්ග අහාරයට ගැනීමයි. මෙය ප්‍රායෝගිකව කල හැක්කේ අතිරික්ත ඖෂධ ලෙස වෙළඳපොලේ ඇති 'ස්පිරුලිනා, 'ක්ලොරෙල්ලා' ආහාරයට අඩංගු කර ගැනීමයි.
අපිත් පුදුම ජාතියක් මොකෙක් හරි කිව්වොත් අරක වැඩියි මේක අඩුයි කියලා විවේචනය කරන්න නම් උපන් ජාතියක් හරියටම චෙක් කරලා බලන්න ඕනෑ කල්පිටියේ විතරද? නැත්නම් අනිත් කලපු අාශ්‍රිතවත් මෙය තිබෙනවද? නැත්නම් වෙන පළාත් වලත් තියෙනවද කියලා නැතුව... මේ කවුරු හරි මතයක් ප්‍රකාශ කලාම කුලප්පුවෙලා දඟලන්නේ නැතිව...
මේක තවදුරටත් පරීක්ෂා කළ යුතු දෙයක්. මේ අධ්‍යනයෙන් හෙළි වෙන්නේ කාන්තාවන් සාම්පලයක හිස කෙස් වල රසදිය අඩංගු බව මිස එයට හේතුව නොවේ. හේතුව නොදැන මාළු ආහාරයට ගන්න එකද කියන්න බෑ. සමහර විට යම් කේශාලේපනයක බලපෑමක් වෙන්නත් හැකියි.
පෘථිවි තලයට දරාගන්න බැරි තරම් මනුස්ස ජනගහනයක් ජීවත්වෙන නිසා විද්‍යාව හා තාක්ෂණයේ උපකාරය නොමැතිව ඔවුන්ගේ ප්‍රාථමික අවශ්‍යතාවයන් වත් සපුරා ගැනීමට නොහැක. නමුත් නූතන යුගයේ සෑම උපකරණයක්ම ක්‍රියාත්මක කිරීමට ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරන්නේ පොසිල ඉන්ධන නිසා පරිසරයට වන හානිය ඉතා විශාලය. මේ ආකාරයට පරිසර දූෂණය දිගටම සිදුවුවහොත් තව අවුරුදු 100 කට පෙර මනුස්ස සංහතියම ලෝකයෙන් තුරන්වී යනු ඇත...