(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය හේතුවෙන්  අපේ රටට හිමි කොරියානු රැකියා කෝටාව අපෙන් ගිලිහී වෙනත් රටවලට හිමි වීමේ අවදානමක් පවතින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එය මෙරටට ලැබෙන විශාලතම විදෙස් විනිමයක් හිතාමතාම අහිමිකර ගැනීමක් මෙන්ම මේ වනවිටත් සියලු සුදුසුකම් සපුරා ඇති පන්දහසකට ආසන්න තරුණ පිරිසට සිදුව ඇති බරපතල අසාධාරණ තත්ත්වයක්  බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"2018වසරේ කොරියානු ප්‍රවීණතා විභාගය ලියා ඉන් සමත්වී කොරියානු රැකියා සදහා යාමට සිටින පන්දහසකට ආසන්න තරුණ පිරිසක් මේ වනවිටත් රජයේ දැඩි නොසැලකිල්ල සහ වගකීම් විරහිතකම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටී.

1600ක් පමණ සේවා ගිවිසුම් මතද,2500ක් පමණ පොරොත්තු ලේඛනයේද සිටින අතර මේ වනවිට ඔවුන්ගේ දෙවසරක රැකියා ව්‍යාප්ති කාලයද අවසන් වෙමින් තිබේ.

කොරෝනා ව්‍යසනයට මුවා වෙමින් පදනම් විරහිතව ආණ්ඩුව මෙම තරුණ පිරිසගේ ජීවිත සමග සෙල්ලම් කරන අතර මේ වනවිටත් තායිලන්ත,චීන,ලාඕස්,වියට්නාම් වැනි රටවල් සිය ශ්‍රමිකයන් කොරියාවට යවා ඇත.

මේ හේතුවෙන් අපේ රටට මතුව ඇති බරපතල අර්බුදය පිළිබඳව ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ උනන්දුවක් නැත.

එහෙත්, රට ගැන හෝ තරුණ පරපුරේ ජීවිත ගැන අංශුමාත්‍රයක හැගීමක් නැති ආණ්ඩුව මේ සරල කටයුත්ත හෝ ඉටු කරන්නේ නැත.

අප ආණ්ඩුවට නැවත බල කරමින් අවධාරණය කරන්නේ කඩිනමින් එම තරුණ පිරිසට සාධාරණය ඉටුකරන ලෙසයි.