මරණ දඬුවම නිල වශයෙන් අහෝසි කිරීමට ලෙබනන පාර්ලිමේන්තුව  තීරණය කර ඇත. ඒ අනුව, නීතිගතව මරණ දඬුවම අහෝසි කළ පළමු මැදපෙරදිග රාජ්‍යය වන්නේ ලෙබනනයි.

මරණ දඬුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ බව නිවේදනය කළේ පාර්ලිමේන්තු කථානායක කාර්යාලයයි. මේ අතර, 2024 වසරෙන් පසු ලෙබනනයේ කිසිදු මරණ දඬුවමක් ක්‍රියාත්මක කර නොමැති බව ද පැවැසෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ලෙබනන අධිකරණ අමාත්‍ය අඩෙල් නසාර් කියා සිටියේ මෙය ඓතිහාසික පියවරක් බවය.

මරණ දඬුවම පැවතීම හේතුවෙන්,  විදේශවල සිටින සැකකරුවන් පවා නැවත ලෙබනනයට ගෙන්වා ගැනීමේදී පැවැති බාධා ඉවත් කිරීමට මෙම පියවර හේතුවක් වනු ඇති බව අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කළේය.

'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ලෙබනන පර්යේෂක රැම්සි කයිස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙය රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් තැබූ දැවැන්ත පියවරක් බවත්, අමානුෂික දඬුවම් නතර කිරීමේ පැහැදිලි සන්ධිස්ථානයක් බවත්ය.