(සුමිත් ප්‍රේමතිලක)

කළුතර නගරයේ සතොස ගබඩාවෙන් මුදල් සොරකම් කිරීමට ගිය කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට සැකකරු වීදුරු කටුවකින් කපා පැන යාමට උත්සහ කිරීමේදී පොලිසිය වෙඩි තබා සැකකරු අල්ලා ගත් බව පොලිසිය කියයි.

තුවාල ලැබූ කොල්ලකරු සහ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

කළුතර දකුණ පිහිටි සතොස සුපිරි වෙළෙඳ සැලෙන් මුදල් කොල්ල කෑමට සූදානම් වෙන බව පොලිස් ජංගම රථයට දැනුම් දී තිබේ.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් අසල තිබූ වීදුරුවක් රැගෙන පොලිස් සැරයන්වරයාගේ දකුණු අතට පහර දී ඇති බවත් ආත්මාරක්ෂාව සඳහා පොලිසිය එල්ල කළ  වෙඩි පහරින් සැකකරුගේ දකුණු කකුලට තුවාල සිදුව ඇති බවත් පොලිසිය කීය.

නාගොඩ , සෙන්ට්‍රල් හන්දිය මහ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, පොලිස් සැරයන් අල්විස් (55284) දකුණු අතට සිදුවූ තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.