(විජේරත්න රත්නායක)
 
ඇල්ල ප්‍රාදේශීය සභාව මගින් ඇල්ල කරඳගොල්ල මඩුගස්තලාව ගම්මානයේ අක්කර 5ක භූමියක ආරම්භ කිරීමට යෝජිත කසළ ව්‍යාපෘතියකට විරෝධය දක්වා එම ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් අද (25) විරෝධතාවයක නිරතවූහ.

 
කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අසළට රැස්වූ ප්‍රදේශවාසීන් විරෝධය දක්වන අවස්ථාවට පැමිණි ඇල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජී.ප්‍රියංගිකා, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක හා ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර යන මහත්ම මහත්මීන් විරෝධතාකරුවන්ගෙන් කොටසක් සමඟ මඩුගස්තලාව ප්‍රජාශාලාවේදී සාකච්ඡාවක නිරත වූ නමුත් එම සාකච්ඡාව සාර්ථක නොවීය.
 
මෙම කසළ ව්‍යාපෘතිය කිසිසේත් පරිසරයට හානිකර නොවන, ප්‍රදේශවාසීන්ට කිසිදු ගැටළුවක් නොවන, නවීන යන්ත්‍රසූත්‍ර සහිත ව්‍යාපෘතියක් වන අතර එහි කසළ ගොඩකිරීමක් සිදුනොවන බවද, දිරන කසළ කොම්පෝස්ට් කිරීම, පොලිතීන් ප්ලාස්ටික් ආදියෙන් බෝට්ටු ඉන්ධනයක් නිපදවීම හා තෝරාගත් ඉඩමේ අක්කරයක් වගා භූමියක් කිරීම ආදියද සිදුවන බව අදාළ නිලධාරීහු පැවසූහ.
 
ඒ සම්බන්ධයෙන් විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ එතරම් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් නම් මෙය කොට්ඨාසයේ කෙළවරක, සභාවේ සිට කිලෝමීටර් 20 ක පමණ දුරක ස්ථාපිත නොකර සභාවට ආසන්නව ඇති ජනශූන්‍ය ප්‍රදේශයක් ඒ සඳහා තෝරාගන්නා ලෙසයි. ඒ සඳහා ඉඩම් කොතෙකුත් ඒ ආන්නව පවතින බවද ඔවුහු පෙන්වාදුන්හ.
 
කෙසේ වුවද මෙතෙක් කසළ ව්‍යාපෘති සම්බන්ධයෙන් රටේ සෑම තැනම විශාල ගැටළු මිස විසඳුමක් නොමැති බැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද විශ්වාසයක් තැබිය නොහැකි බවත් එබැවින් මෙම ව්‍යාපෘතිය සිය ගම්මානයේ ස්ථාපිත කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ගම්වාසීහු අවධාරණය කළහ.