(එම්. සුසිල් ප්‍රියන්ත)

කොරෝනා ආධාර වෙනුවෙන් ලැබුණු රුපියල් 5000 සුරාසලට පූජා කළ බේබදු සැමියාට අපූරු පාඩමක් ඉගැන් වූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

භාර්යාව, දරු තිදෙනා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ පවුලක ඔහු ගෘහ මූලිකයාය. එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත්වන්නෙකි. කුලියක් ලැබුණත් නැතත් ඔහු බොන එක ශක්‍රයාට තියා වයිමාටවත් නතර කිරීමට නම් නොහැකිය. ඒ තරමටම හේ බීමට ඇබ්බැහි වී සිටියේය.

කොරෝනා වසංගතයෙන් අවතැන් වූ පිරිසට රජයෙන් දෙන රුපියල් 5000 ආධාර මුදලට ඔහුගේ පවුල ද අසුවුණේය. ගෙදර ගෘහ මූලිකයා වූ බැවින් ආධාර මුදල් පොතේ අත්සන් කර අදාළ මේ මුදල ලබාගැනීමට තිබුණේ ඔහුටය. සැමියාගේ බේබදුකම ගැන හොඳින් දත් භාර්යාව මේ රුපියල් 5000 න් මත්පැන් නොගන්නා බවට ඔහුගේ අත තමන්ගේ ඔළුවේ තියා දිවුරුමක් ද ගත්තාය.

කොරෝනා වසංගතය නිසා කුලියක් මලියක් නැතිව අඩ කුස ගින්නේ සිටි දරු තිදෙනාගේ ළපටි බඩවල් අමතක කොට සිය සැමියා කෙතරම් බේබද්දකු වූවත් මේ ආධාර මුදලින් මත්පැන් තියා දුම්වැටියක්වත් නොගනු ඇතැයි භාර්යාව විශ්වාස කළාය. ඒ පිළිබඳ ඇයට පුංචි හෝ සැකයක් තිබුණේ නම් මේ ආධාර මුදල් ගැනීමට සිය සැමියා සමග ඇය ද යනු නොඅනුමානය.

පෝලිමේ සිට කොරෝනා ආධාර මුදල් ලබාගත් ඔහු සිය ඇඟේ අමාරුවට එක මත්පැන් බෝතලයක් ගැනීමට සුරා සලට ගොඩවූයේය. මේ මුදලින් එක බෝතලයක් මිලදී ගත්ත ද සිය භාර්යාවගෙන් අවුලක් ඇති නොවනු ඇතැයි ඔහු සිතුවාය. සුරා සලට ගිය සැනින් තවත් ස්වල්ප වේලාවකින් දින නියමයක් නොමැතිව සුරාසල වසන බවට වූ ආරංචිය ඔහුගේ කන වැකුණේය.

මේ ආරංචියත් සමගම ඔහුට දෙලොව සිහිවිය. රැකියාව නැතිව අඩ කුසගින්නේ සිටින සිය දරුවන් ගැන ද මතකය අමතක වී ගියේය. සුරාසල යළිත් විවෘත කරන දිනයක්වත් සිතා ගන්න බැරිව සිටි ඔහු තමාට ලැබුණු කෙරෝනා ආධාර මුදල් 5000 ටම සරිලනසේ මත්පැන් මිල දී ගත්තේය.

ආධාර මුදලින් මිලදීගත් මත්පැන් බෝතල් ටිකත් ඉතා පරිස්සමට රැගෙන නිවෙසට ගිය ඔහුගෙන් ආධාර මුදල් භාර්යාව ඉල්ලුවාය. ඔහු තමා ඒ මුදල්වලින්ගත් මත්පැන් බෝතල් ටික භාර්යාවට පෙන්වූවිට ඇයට යක්ෂයා ආරූඪ වූවාය.

දරුවන් අඩ කුසගින්නේ සිටිය දී කොරෝනා ආධාර මුදලින් මත්පැන් ගෙනා සැමියාට දෙස් දෙවොල් තැබුවාය. එයින් නොනැවතුණ ඇය තමන්ගේ දරුවන්ට අසල්වාසියකුගෙන් අතමාරුවක් ඉල්ලාගෙන කන්න බොන්න දුන්නත් සැමියාට මේ කළ වැඩේට දින පහක් යනතෙක්ම තමා කෑම තියා වතුර උගුරක්වත් නොදීමට තීරණය කළාය. තීරණය කළා විතරක් නොව එය ක්‍රියාත්මක ද කළාය.

සිය බිරිඳ තමාට කන්න නොදී ඉඳිවිය යයි ඔහු නොසිතුවේය. දහවල කෑම නොදුන්න ද රෑට කෑම දෙතැයි ඔහු සිතුවේය. රෑටත් ඔහුට කෑම තියා වතුරවත් ඇයගෙන් නොලැබුණාය. තමා කළ ක්‍රියාව නිසා තමාට ගෙදරින් කෑම නොදෙන බව කාටවත් කීමට ද බැරිව ඔහු අලි අමාරුවක වැටුණේය.

වේල් දෙකක්ම කෑම නැතිව ආධාර මුදලින් ගත් ඇල් කොහොල්වලින් පමණක් බඩගින්න ඔහුට නිවාගත නොහැකි විය. ඒ නිසාම ඔහු බැරිම තැන උදේ ගමේ පන්සලට රිංගුවේය. පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් උදේට කන්න යමක් ඉල්ලුවේය. ලොකු හාමුදුරුවන් සිතුවේ කොරෝනා නිසා කුලී වැඩ කරන මේ මනුෂ්‍යයාට කුලී නැතිව බඩ ගින්නේ සිටින දරුවන්ට කෑම ඉල්ලනවා යයි සිතාය.

මගේ හිතේ දන්ගෙයි දැන් ගෙදර කට්ටියටම ගිනියන්න නම් කෑම නැතිව ඇතැයි කියාය. නැහැ ලොකු හාමුදුරුවනේ කෑම මට විතරයි ඕනෑ ඔහු කීවේය.

මොකද මේ තමාගේ බඩ විතරක් පුරවගන්න දඟලන්නේයයි ලොකු හාමුදුරුවෝ විමසිලිමත් වූහ. අවසානයේ දී ඔහුගේ බඩ විතරක් පුරවා ගන්න හදන හේතුව ලොකු හාමුදුරුවෝ දැන ගත්හ. භාර්යාව දුන් දඬුවම වැරදි නැතැයි කී ලොකු හාමුදුරුවෝ භාර්යාවගේ තහනම ඉවත් කරන තෙක් පන්සලෙන් කන ලෙසත් හැකි ඉක්මනින්ම බොන්න වියදම් කළ මුදල භාර්යාවට ලබාදෙන ලෙසත් ඔහුට පැවසූහ.

කොරෝනා ආධාර මුදලින් මත්පැන් ගත් ඔහුට වූ ඇබැද්දිය ලොකු හාමුදුරුවන්ගේ කටින් පිටවූයේ කවදාවත්ම පන්සල පැත්තේ නොඑන මොහු පන්සලේ ගැවසෙනු දුටු දායකයන් කිහිප දෙනකුම ඇසූදේට පිළිතුරු ලෙසය.