සෑම වසරකම දෙසැම්බර් මස විසිපස්වැනිදා මද්දහන දොළහට පාප්තුමා විසින් පවත්වන්නට යෙදෙන නත්තල් විශේෂ දේශනය ශ‍්‍රවනය කිරීමට හා ආශ‍්‍රීවාදය ලබාගැනීමට එක් ලක්ෂය ඉක්මවූ කතෝලික බැතිමතුන් පිරිසක් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට චතුරශ‍්‍රයට එක්රොක් වෙති. මෙදින ශාන්ත පීතර චතුරශ‍්‍රයේ පවතින තදබදය හේතුවෙන් මෙන්ම එහි ඉදිකර ඇති නත්තල් මහා ගවලෙන දැකබලා ගැනීමට ද, ජනතාව උදයේ සිටම ශාන්ත පීතර චතුරශ‍්‍රයට ඇතුළුවීමට වගබලා ගනිති. පසුගිය දෙසැම්බර් මස විසිපස් වැනිදා ද සිරිත් පරිදි පෙරවරු දහය වෙන විට ශාන්ත පීතර චතුරශ‍්‍රයට පනස්දහසක පමණ පිරිසක් එක්රැස්ව සිටියහ. මෙම පිරිස අතර සිටි එක් කාන්තාවක හදිසියේ ම තම උඩුකබාය ගලවා දමා වතිකාන ගවලෙන ආරක්ෂක වැට පනිමින්, උඩුකය නිරුවතින් ගවලෙන දෙසට දිවයන්නට වූවාය. වහාම ක‍්‍රියාත්මක වූ වතිකාන ආරක්ෂක නිලධාරියෙකු විසින් ඇය අල්ලා මෙල්ලකර ඉතාලි පොලිසියට භාර දෙන ලද අතර, ඉතාලි පොලිසිය කාන්තාවගෙන් කරන ලද ප‍්‍රශ්නකිරීම්වලදී ඇය යුක්රේන ජාතික තරුණියක බව ද, ෆේමෙන් සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකාවක බව ද හෙළි විය. 


නත්තල් දින වතිකානයට උඩුකය නිරුවත් තරුණියන් කඩා වැදුණු ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. පසුගිය වසර නවයක කාලය තුළ කීපවරක් ම උඩුකය නිරුවත් තරුණියෝ වතිකානයට කඩා වැදුණු බවට වාර්තා ඇත. මේ සැම විටම හෙළිවී ඇත්තේ මෙම තරුණියන් යුක්රේන ජාතික ෆේමෙන් සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකාවන් බව ය. 


කාන්තා අයිතිවාසිකම් මහා පරිමාණයෙන් උල්ලංඝනය වෙන රටක් ලෙස යුක්රේනය ඉදිරි පෙළේ සිටි. කාන්තා ලිංගික අපචාරය සංචාරකයන් ඇදගන්නා උපාය මාර්ගයක් ලෙස යුක්රේනයේ භාවිතා වෙන බව ද වාර්තා වේ. අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය වෙන නිල් චිත‍්‍රපට වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය වෙන්නේ යුක්රේනයේ බවට ද ආරංචි පැතිර ඇත. 


උක්ත වාතාවරණයෙන් කාන්තාව මුදවා ඔවුන්ට තම අයිතිවාසිකම් රැකෙන ගෞරවණීය ජීවන තත්ත්වයක් ලබාදීමේ පරම චේතනාවෙන්, 2008 වසරේදී යුක්රේනයේ අගනගරය වන කිව් හිදී ෆේමෙන් නමින් කාන්තා සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. මෙම සංවිධානයේ නිර්මාතෘවරිය යුක්රේන දෙමාපියන්ට දාව 1984 දී රුසියාවේ උපත ලැබූ අන්නා හට්සන් නැමැති තරුණියකි. 


ෆේමෙන් සංවිධානයේ මූලික අරමුණ වෙන්නේ යුක්රේන කාන්තාවට ආයුධ සන්නද්ධ සටනකින් තොරව මානව සම අයිතිවාසිකම් හිමිකර දීම ය. කාන්තා අයිතිවාසිකම් රැක දී යුක්රේනය ලිංගික සංචාරකයන් ඇදගන්නා ගමනාන්තයක් නොව පරමාදර්ශි රටක් බවට පත් කිරීම තමන්ට තනිවම කරගත නොහැකි බැවින්, ඒ සඳහා ජාත්‍යන්තර අවධානය යොමුකරවා සහාය ලබාගැනීම මොවුන්ගේ මූලික අරමුණ ය. කළහකාරී උද්ඝෝෂණයන්ගෙන් හෝ පිකටින් ව්‍යාපාර මගින් හෝ තම අදහස මුදුන්පත් කරගත නොහැකි බව මෙම සංවිධානය කියයි. මේ නිසාම මෙම සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකාවෝ ජනයා මහා පරිමාණයෙන් රැස්වෙන ස්ථානවලදී උඩුකය නිරුවතින් සාමකාමී ලෙස උද්ඝෝෂණ කරති. ෆේමෙන් සංවිධානයේ මුල් පෙළේ ක‍්‍රියාකාරී සාමාජිකාවක වන ඉන්නා ෂ්වෙචෙන්කෝ පසුගිය දා එංගන්තයේ ‘‘ද ගාඩියන්’’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටියේ, ෆේමෙන් සාමාජිකාවෝ උද්ඝෝෂණයට උඩුකය නිරුවතින් සහභාගී වෙන්නේ තමන් නිරායුධ බව සනාථ කිරීමට බව ය. 


මේ වෙන විට ෆේමෙන් සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකාවන් සංඛ්‍යාව තුන්සියයක් පමණ වෙති. මෙම සංවිධානයට ලොව පුරා විසුරුණු හිතවතුන් පහළොස් දහසක් පමණ වෙතැයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. මෙම හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග මත සංවිධානය පවත්වාගෙන යති. යුක්රේන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන දේශපාලන පක්ෂයක් ලෙස ද ෆේමෙන් සංවිධානය ලියාපදිංචිව සිටී. දැනට මෙම සංවිධානයේ මුලස්ථානය ප‍්‍රංශයේ පැරිස් නුවර පවත්වාගෙන යති. 


ෆේමෙන් සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකාවෝ මේ වෙන විට උඩුකය නිරුවතින් ඔස්ටි‍්‍රයාවේ වියානා, ප‍්‍රංශයේ පැරිසිය, එංගලන්තයේ ලන්ඩන් නුවර, තුර්කියේ ඉස්තාන්බුල් නගරය, ඉතාලියේල මිලානෝ, වැනිසිය, රෝමය හා වතිකානයේ ද උද්ඝෝෂණ පවත්වා ඇත. සෑම වසරකම දෙසැම්බර් මස විසිපස්වැනි දින දහවල් දොළහට පාප්තුමා විසින් පවත්වන්නට යෙදෙන සම්ප‍්‍රදායික නත්තල් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණෙන බැවින්, මෙම අවස්ථාව ජාත්‍යන්තර අවධානය තමන් වෙත ඇදගැනීමට සුදුසු ම අවස්ථාවක් ලෙස ෆේමෙන් සංවිධානය සලකයි. යුක්රේන කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා උඩකය නිරුවතින් උද්ඝෝෂණය කිරීමට ෆේමෙන් සංවිධානය නත්තල් දින වතිකානය තෝරාගෙන ඇත්තේ මේ නිසාය. 


ෆේමෙන් සාමාජිකාවකගේ නිහඬ උද්ඝෝෂණයකට පොලිසිය මැදහත් වුණු අවස්ථාවක් ඡායාරූපයෙන් දැක්වේ. 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.