සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහරදාණෝය
සංකර සිරිතට එරෙහිව හඬදුන් කථිකයාණෝය
මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයාණෝය
 
මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ නන්දා මාලනියගේ අඬහැර ගීතාවලියට එසේ ලිවූහ.
 
මෙරට කීර්තිමත් ප්‍රභූ පරම්පරාවක් වූ දොන් කරෝලිස් හේවාපතිරණ මහමුදලිතුමාගේ පුත්‍රයා, ලෙස දොන් ඬේවිඞ් නමින් මෙලොව එළිය දුටු මෙම කීර්තිධරයා දේශමාමක බෞද්ධ ජනයා අතර ප්‍රචලිත වූයේ අනගාරික ධර්මපාල නැමැති සටන්කාමී යුගපුරුෂයා ලෙසිනි.
 
සුදු අධිරජවාදීන්ගේ ග්‍රහණයට නතු වී සිටි මෙරට පාලනය කළ “කළු සුද්දන්” ගේ අණසකට බියෙන් නිදහස් සිතුවිලි වෙනුවට පරගැති චින්තනයෙන් වෙළුණු මෙරට වැසියන්ගේ නැණ ගුණ බලය වර්ධනය කරලීම පිණිස එතුමා කළ සේවය දේශපාලනඥයන්ට පවා පූර්වාදර්ශයකි.
 
සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර සංස්කෘතිය හමුවේ හෑල්ලු කරමින් දුසිරිත හා කම්මැලිකම කරපින්නා ගත් ස්වදේශකයන්ට එතුමා ප්‍රසිද්ධියේ බැන වැදුණේ “ගොන්තඩියා”, “මීහරකා” වැනි වදන් වලිනි. සුදු ජාතිකයන්ට “පරසුද්දා” යැයි බැන වැදුණේය.
 
“සුද්දා සිංහල වර්ගයාගේ සතුරෙකුය යනු මගේ කල්පනාවයි. ඔවුන් මෙරටට පැමිණුනු දින පටන් අපේ ජාතියට ද නිර්මල බුදුදහමට ද අන්තරය පැමිණ තිබේ. සිංහලයාට සුද්දාගේ ප්‍රේමයත් නැත. සිංහලයාට විස පොවා උන්ගේ ඉඩම් ටික ගෙන තේ, රබර් වවා ගැනීමට සුද්දා කටයුතු කරන විට සිංහලයා සුරා බී උන්මත්තකයකු මෙන් ක්‍රියා කරයි.”
 
සමුද්‍ර වෙත්තසිංහගේ දැදුරු කළ සියපත ග්‍රන්ථයෙහි ධර්මපාල චින්තනය ගැන එසේ සඳහන් වේ. මත්පැන් ව්‍යාපාරයට එරෙහිව එතුමාම නිර්මාණය කරගත් “සෝබන මාලිගාව” නම් රථය එදා ගම් නියම්ගම් සැරිසරා ගියේ “හරක් මස් නොකනු” යන පාඨය ප්‍රදර්ශනය කරමිනි.
 
“රා අරක්කු විස්කි බ්‍රැන්ඩි ආදී මත්පැන් බොමින් හරක් කකුල, හරක් වලිගය, හරක් බඩවැල, හරක් දිව කෑම සුද්දාගෙන් සිංහලයා උගත් දෑය. හංබංකාර, පරවර, නාට්ටුකොට්ට ආදී පරදේශිකයන් පවා, වෙද, සිංහලයා මෝඩයා කියා නිග්‍රහ කරති. සුදු පාදිලිරාළලා, සිංහල ගොන්තඩියා රවටාගෙන කුකුල්මස්, තාර මස්, කළුකුන් මස්, ඌරු මස්, ඇද බාමින් විස්කි බ්‍රැන්ඩි පානය කරමින් කල් මරති.
 
ධර්මපාලතුමාගේ වාග් ප්‍රහාර ද ඉතා දරුණුය. ස්වදේශිකයන් “හාමුදුරුවනේ” කියමින් සුද්දාට වැඳ වැටෙන කළ එතුමා කීවේ පරසුද්දා කියාය.
 
1865 - 1908 යුගයේ විසූ ඉන්ස්පෙක්ටර් ජෝන් කොතලාවල කාය ශක්තියෙන් පිරිපුන් බලවතෙකි. ඔහු කිහිප විටක්ම සුද්දන් හා ගැටී ඔවුන්ට පහර දීමට තරම් නිර්භීත විය. ඔහුගේ ක්‍රියාවන් ගැන ධර්මපාලතුමාට අසන්නට ලැබිණ.
 
“අපේ නිර්භීත ජෝන් කොතලාවල ආදර්ශයට අරන් සුද්දන්ට තඩිබාපල්ලා” යැයි එතුමා රැස්වීම්වල දී සිංහලයාට කීහ. එතුමාගේ සමීපතමයන් වූවේ වලිසිංහ හරිස්චන්ද්‍ර සහ මාටිනස් පෙරේරාය.
 
“බලාපල්ලා මරක්කල මිනිස්සු ඔවුන්ගේ සන්ථාගාරවල දී (මුස්ලිම් පල්ලිය) හමුවෙලා සමගියෙන් කතාබහ කරනවා. දවසට පස්පාරක් ආගමට ප්‍රේමයෙන් චාරිත්‍ර කරනවා. රික්ෂෝ අදින දෙමළ මිනිහා. උදේම නැගිටලා ඇඟපත හෝදා පිරිසිදුවටව ඇඳගෙන නළලේ අළු ගාගෙන වැඩට බහිනවා. අපේ කාලකණ්ණි මොනවද කරන්නේ ඇට්හෝම්, හනිමුන් දදා කේක් ෂැම්පිං, ගවුම්, බ්‍රොස්තෙක්ක, බම්බුසාය, පිදුරු තොප්පි, මෝර්නින් කෝට්, ඩ්‍රස්සුම්, ටුවිඞ් කැප් අරන් තියෙන පිච්චියත් නැතිකරගෙන සුද්දට දාසකම් කරනවා.”
 
රට වැටී තිබෙන තත්ත්වය අමු බසින් කියන්නට ගිය ධර්මපාලයන්ට ස්වදේශකයන්ගේම දෝෂ දර්ශනයට ලක්වන්නට සිදුවිය.
 
“අනගාරික ධර්මපාල මාක්ස්වාදියෙකි” “මුදල් සම්මාදම් කාරයෙකි.” සමලිංගිකයෙකි. අධිරාජ්‍ය විරෝධියෙකි. වර්ගවාදියෙකි. පිස්සෙකි. යන චෝදනාවලට ධර්මපාලතුමා කල්යල් බලා පිළිතුරු දුන්නේය.
 
එතුමාගේ කතා අසා අන්‍යජාතිකයෙක් අනුරාධපුයේ පොලිස් නඩුකාර තැනට පැමිණිලි කළේය. බ්‍රෙන්නම් සුදු ජාතිකයා ධර්මපාලතුමා කැඳවීය.
“ඔබතුමා මොකද ඉංග්‍රීසින්ට බණින්නේ.?”
 
“මං ඉංග්‍රීසින්ට බැනලා නැහැ. ධර්මපාලතුමා පැවැසීය. එහෙනම් පරසුද්දා කියල බනිනවා කියන්නේ”
 
“ඔව් ඒකෙ වැරැද්ද මොකක්ද පර කියන්නෙ ඉංග්‍රීසියෙන් “ෆොරින්” කියන එකනේ. සිංහල තේරුම් ගොඩක් තියෙනවා පරදේශ, පිටරට වගේ. සුද්දා කියන්නෙ සුදු නොහොත් කළුනිල් හෝ පච්චවර්ණ නොවන කියන තේරුමනේ. ඉතින් පරසුද්දා කියන එක භාෂා රීතියට ගැළපෙනවා.” ධර්මපාලතුමා බ්‍රෙන්ට කීය.
 
එතුමාගේ අර්ථකථනය නිවැරදි වුව ද කුපිත වූ පිරිස් බි්‍රතානය රජමැදුර වෙත ගොස් මේ ගැන පැමිණිලි කළහ. මේ ගැන රාජ්‍ය නිලධාරින් ධර්මපාලතුමාගෙන් යළි විමසා ඇත. ඔබ්සෝවර් පත්‍රයට ලිපියක් ලියූ අයෙක් පරසුද්දා යනු “ෆොරින් ඩෙවල්’ යැයි ලියා තිබිණි.
 
“ඒක වැරදියි. ෆොරින් ඩෙවල් කියන්නෙ සුදු යකාටනෙ. මං කිව්වේ පරසුද්දා කියල. එහෙනම් ෆොරින් වයිට් වෙන්න එපායැ. පරසුද්දට පරයකා යැයි කීම මිනිසුන් මුලා කිරීමක්.”
ආගමික පරිසරය අවුල් කරන මත්පැන් වෙළෙඳසැල්, මස්කඩ හා විදේශික පල්ලි නගරයෙන් ඉවත් කරන ලෙස බෞද්ධයන් ඉල්ලා සිටින බව 1903.07.24 දින එංගලන්ත මහරජුට ධර්මපාලතුමා ලියා යැවීය.
 
අනගාරික ධර්මපාලතුමාගේ හැසිරීම පිළිබඳව බි්‍රතාන්‍ය කිරීටයට යටත් විජිත ලේකම්වරයා දැනුම්වත් කිරීමට සිදුවිය. රජුගේ නියෝජිත ජේ.එම්. පොන්සොන්බි මෙසේ නිවේදනය කළේය.
 
“ලංකාවේ බෞද්ධයන් ආණ්ඩුව සමග සුහදව සිටිනවා. ඒ නිසා අනගාරික ධර්මපාල දක්වන බිය පදනම් විරහිතයි.”
 
එහෙත් ධර්මපාලතුමා නිහඬව නොසිටියහ. 
 
“ආණ්ඩුවේ පරිපාලකයෝ මත්පැන් අබිං ගංජා, හරක් මස් දීලා ගම්වැසියන් උමතු කිරීම නිසා අධ්‍යාපනය ගැන ඔවුන්ගේ සැලකිල්ලක් නැහැ. අන්‍යාගමිකයන්ට අනුරාධපුරය ඔවුන්ගේ මක්කම වගෙයි. ආර්ය ආගමට අතපොවන්නට සුදු නිලධාරින්ට ඉඩ දෙන්න බැහැ.”
 
මෙම අදහස 1903 ඔක්තෝබර් 28 වැනිදා සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරයා විකෘති කරමින් කියා සිටියේ එවකට ඇමරිකාවේ ග්‍රින්එකර්හි සිටි ධර්මපාල මහත්මයා බෞද්ධ නොවන හැමෝම රටින් පන්නා දමා අනුරාධපුරයම ඉල්ලා සිටින බවකි.
 
බි්‍රතාන්‍ය ආණ්ඩුව තිබෙන තුරු මෙවැනි විකාර අමන යෝජනා සාර්ථක වීමට ඉඩ නොතබන” බව ඔහු කීවේය.
 
 1915 දී සිංහල මුස්ලිම් කෝලාහලය නිසා ධර්මපාලතුමා ද කල්කටාවේ කොලේජ් ස්ක්වෙයාර්හි නිවාස අඩස්සියට පත්කරනු ලැබිණ. ජාතික හා ආගමික කාර්යයන් හිදි එතුමා තම දිවි පරදුවට තබා කටයුතු කළ අන්දම ලිපි ලේඛනවල මෙසේ සටහන් වෙයි.
 
“අතේ තුට්ටු දෙක නැතිව සිටිය දවස් මට මතකයි. කෑම නැතිව බඩගින්න නිවා ගැනීමට තුට්ටුවේ බුලත් විට කාලා බුලත්හප ගිල දැමු දවස් මට මතකයි. නිදන්නට ඇඳක් නැත. අද රාත්‍රී බංකු දෙකක් එකතු කොට නිදන්නට වීරිය දරමි.”
 
ස්වදේශීය අධිරාජ්‍ය ගැති ආණ්ඩ්‍රා සහ මිෂනාරි අධ්‍යාපනයෙන් ඔද්දල් වූ සමාජය සමග මෙසේ නිරායුධ සටනකට අවතීර්ණ වූ ධර්මපාලතුමා බුදුන් උපන් දේශය වන භාරතයේ හින්දු සමාජය හා අන්‍යාගමික බලවේග විසින් අත්පත්කර ගෙන ඇති බෞද්ධ සිද්ධස්ථාන මුදවාගෙන බෞද්ධ ජනතාව අතට පත්කිරීම සඳහා මහත් සටනකට යෙදීමට සිදුවිය.
 
මහබෝධි සමාගම තුළින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව අවදිකරවා මෙම බලවේග පැරදවීමේ සටන මෙහෙය වූ අනගාරික ධර්මපාලතුමා තම පෞද්ගලික ධනය හා දේපොළ ද අහිමිකර ගත්තේය.
 
1917 මැයි 08 වැනිදා එතුමා කල්කටාවේ නිවාස අඩස්සියේ සිට ලියූ ලිපියක මෙසේ සඳහන් වේ.
 
“මා තරුණයකු ලෙසත් වැඩුණු මිනිසකු ලෙසත් පසුවද්දී මට විරුද්ධව චෝදනා ඉදිරිපත් නොකරන ලදී. දැන් මා මහලුය. දුබලය, රෝගිය. එහෙයින් අනවශ්‍ය ලෙස මා චෝදනාවලට ලක් කරන්නේත් මානසිකව හිංසාවට පත් කරන්නේ කුමක් නිසා ද?
 
ආසියාවේ යටත් විජිතවාදී දේශපාලන නායකයන් වඩා බි්‍රතාන්‍ය ආණ්ඩුව සන්ත්‍රාසයට පත් කළ පුද්ගලයෝ දෙදෙනෙක් වූහ. ඉන්දියාවේ භයානකම පුද්ගලයා ජවහර්ලාල් නේරු ලෙස ද ශ්‍රී ලංකාවේ භයානකම පුද්ගලයා අනගාරික ධර්මපාලතුමා බව ද රහස්‍ය වාර්තාවල පළ විය.
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි