සිංහල රාජ වංශයේ පරිපාලන තන්ත්‍රයේ මුදලි තනතුරට දිගු ඉතිහාසයක් හිමිවේ. විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් එම තනතුරේ බලතල විවිධාකාර වූ බවද යටගියාව විමසීමේදී පෙනී යයි. කෝට්ටේ යුගයේදී හයවැනි විජයබාහු රජුගේ රාජ්‍ය සභාවේ ඉහළම නිල දැරූ ඒකනායක, කඳුරේ බණ්ඩාර වැනි ප්‍රභූන් පවා සමහර ලේඛනවල මුදලි නාමයෙන් හඳුන්වා ඇති බව මූලාශ්‍රවල දැක්වේ. සීතාවක පළමුවැනි රාජසිංහ රජුගේ අග්‍ර සේනාපති වික්‍රමසිංහයන් මුදලි යනුවෙන් සඳහන් කරන අවස්ථා වංශ කථාවේ දැක්වේ.


පසුකාලීන යුගවලදීද මෙය එසේම පැවති බව වටහා ගත හැකිය. ලන්දේසි යුගයේදී යම් යම් හේතු වන රාජකාරිමය විවිධ කාර්යාංශ භාර පුද්ගලයන්ට සහ ප්‍රාදේශීය පාලකයන්ට මුදලි තනතුරු පිරිනමා ඇති බව පෙනී යයි. රාජ්‍යයේ ඇත් පන්තිය භාර නිලධාරියා හැඳින්වූවේ කූරුවේ මුදලි යන නාමයෙනි. කූරුවේ මුදලි ජෝන් ලුවී පෙරේරා ලන්දේසි පාලනයේ අයුක්ති සහගත නියමයන්ට එරෙහිව නැගී සිටීම නිසා ඔහුත් ඔහුගේ බෑනා වූ ලියැන්ඩර්ද සේරම් මුදලි සහ තවත් කීප දෙනකු කේප් කොලනියට පිටුවහල් කරන ලද බව සඳහන් වේ. මේ යුගයේදී මෙම තත්ත්වය තවදුරටත් සංවර්ධනය වී මුදලි තනතුරේ බලතල මෙහෙයවීමට මහමුදලි තනතුරක්ද බිහි වූ ආකාරයක්ද දැකිය හැකි විය. ඉංග්‍රීසි යුගය වන විට මුදලිවරු යනු ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරියකුගේ බලය ඇති රාජ්‍ය නිලධාරියකුගේ තැන් ගත් අතර මහ මුදලි යනු රාජ්‍ය තන්ත්‍රයේ දේශීයයකුට ලැබිය හැකි ඉහළම තනතුර වූ බව කියැවේ. එමෙන්ම තම ධනයෙන් සමාජ සේවය සඳහා රෝහල් පාසල් ආදී සේවාවන් ඉටු කළ දානපතියන් සහ ඉහළ මට්ටමේ සමාජ නායකයන්ටද නම්බු නාමයක් වශයෙන් මුදලි තනතුරු පිරිනැමුණු අවස්ථාද යටත් විජිත පාලනයේ කටයුතු විමසීමේදී දැකගත හැකිය. අනගාරික ධර්මාපලතුමාගේ පියාණන් වූ දොන් කරෝලිස් හේවාවිතාරණයන් සහ එතුමාගේ මාමණ්ඩිය වූ ධර්ම ගුණරත්න ආදීහු එවැන්නෝ වූහ. ඩී. ඇස්. සේනානායක සහ ඇෆ්. ආර්. සේනානායක වැනි දේශප්‍රේමීන්ගේ පියාණන් වූ දොන් ස්පේටර් සේනානායක මුදලිතුමාද එවැන්නෙකි. තවත් දේශප්‍රේමී පරපුරක පුරෝගාමීයා වූ දොන් පිලිප් තුඩුගල විජේවර්ධන මුදලිතුමාද ජාතික ආගමික සේවය හා සමාජ සුබසාධනය උදෙසා වැය කරන ලද අප්‍රමාණ ධනය සලකා මුදලි තනතුරක් එම ප්‍රභූවරයාට පිරිනැමුණි.


සුප්‍රසිද්ධ බණ්ඩාරනායක පරපුරේ සාමාජිකයෝද වරින් වර මුදලි, වාසල මුදලි සහ මහමුදලි තනතුරුද දරමින් රාජ්‍ය සේවයේ නියුක්ත වූහ. ඒ අය අතර කොළඹ ග්‍රීන් වීදියේ බණ්ඩාරනායක මහ වලව්වේදී වර්ෂ 1827 පෙබරවාරි 24 වැනි දින උපත ලද කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායක මහතාද එවැන්නෙකි. දොන් ජොහැන්නස් ප්‍රැන්සිස්කස් ඩයස් බණ්ඩාරනායක වාසල මුදලිතුමා එතුමාගේ පියාය. පරපුරෙන් කිතුනු බැතිමතකු වුවත් පසු කල බොදුනුවෙකු බවට පත් වූ එතුමා පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද යන මහා ස්වාමීන් වහන්සේලාත් අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, රුසියානු ජාතික පැට්‍රොවිනා බ්ලැවට්ස්කි මැතිනිය වැනි දේශමාමකයන් සමග එක්වී බොදු ජනතාවගේ සහ බෞද්ධ ශාසනයේ උන්නතිය සඳහා විශාල මෙහෙයක් ඉටු කළේය. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සංකේතය ලෙස සැලකෙන බෞද්ධ කොඩිය ඕල්කට්තුමාගේ මෙහෙයවීමෙන් නිර්මාණය කිරීමෙන් පසු 1885 වෙසක් පොහෝ දින ප්‍රථම වරට එසවීමේ අවස්ථාවට මහමුදලි සී. පී. ඩී. බණ්ඩාරනායක මහතාද අනෙකුත් බෞද්ධ නායකයන් සමග සහභාගි වූ බව සඳහන් වේ.


බෞද්ධ පුනර්ජීවනයේ මුල් පියවර ලෙස බෞද්ධ අධ්‍යාපන මෙන්ම උගත් භික්ෂූන් වහන්සේලා බිහිවිය යුතු බවත් එකල බොහෝ බෞද්ධ නායකයෝ වටහාගෙන සිටියහ. ඒ අනුව ගොඩනගනු ලැබූ භික්ෂු අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස සැලකිය හැකි මාලිගාකන්දේ විදෝදය පිරිවෙන ඇරඹීමටත් එය පවත්වාගෙන යාමටත් මෙම මහ මුදලිවරයා විශාල ලෙස උදව් උපකාර කළ බව කලක් එම පිරිවෙනේ ආධිපත්‍යය දැරූ අතිපූජ්‍ය අකුරැටියේ අමරවංශ නාහිමියෝ මෙම ලියුම්කරු සමග පැවසූහ.


සී. පී. ඩී. බණ්ඩාරනායක මහතා දකුණු අලුත් කූරු කෝරලේ මුදලි පදවියක් දැරූ අතර අනතුරුව වාසල මුදලි පදවියත් දැරූ දැරුවේය. පසුව මහ මුදලි පදවියට පත් විය. කලින් මහමුදලි ජූලියස් වැලන්ටයින්ද සේරම් මහතාගේ දියණිය වූ ලැයිසාද සේරම් මෙනවිය සමග විවාපත් විය. මෙම යුවළගේ වැඩිමහල් පුත්‍රයාගේ නාමය වූවේද පවුලේ චාරිත්‍රය පරිදි කොන්රඞ් පීටර් යනුවෙනි. 


පවුලේ වැඩිමහල් දරුවාට කොන්රඞ් පීටර් යනුවෙන් නම් කිරීම ඔවුන්ගේ සිරිතකි. වර්තමානයේ වුවද සී. පී. ඩී. බණ්ඩාරනායක ලෙස නම් කිරීම සිදුවේ. මෙම කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායකයන්ද පසු කලෙක සියනෑ කෝරලේ මුදලි පදවිය දරමින් සහ වාසල මුදලි තනතුරක්ද දැරීය. එමෙන්ම ජනතාවට ඉතා සමීපව කටයුතු කළේය. 1915 සිංහල - මුස්ලිම් ජාතිභේදවාදී අරගල අවස්ථාවේදී බි්‍රතාන්‍යයන්ගේ හමුදා විසින් යම් කිසි හේතුවක් නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. එම අවස්ථාවේදී සර් ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඇෆ්. ආර්. සේනානායක, හෙන්රි පේද්‍රිස්, දොස්තර හේවාවිතාරණ ආදී නායකයන් සමග එක්ව හිරබත් කෑවේය.
මුදලි, මහමුදලි තනතුරු දැරූ සෑම පවුලක්ම සමාජයේ උසස් සමාජ තත්ත්වයක් දැරූහ. ඔබේසේකර, සේනානායක, බණ්ඩාරනායක, සේරම්, ලිවේරා, සමරක්කොඩි, පීරිස් සිරිවර්ධන ආදී මෙවැනි පෙළපත් නාම දැරුවෝ අක්කර සිය දහස් ගණන් වූ වතුයායවල අයිතිකරුවෝ වූහ. හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රජු ලංකාවට පැමිණි විට තේ කෝප්පයක් පානය කිරීමට හෝ බණ්ඩාරනායක වලව්වලට ගොඩ වී යාම එකල සිරිතක් විය. මෙම වලව්කාරයින්ගේ සාමාජිකයෝ ඉඳහිට බි්‍රතාන්‍යයේ සංචාරය කිරීම සිරිතක් කොටගෙන සිටියහ. එහිදී බකිම්හැම් මාලිගයේදී ඔව්හු මහරජු බැහැ දුටුවහ. සමහර අවස්ථාවල ඔව්හු රජමාලිගයෙහි දිනක් දෙකක් මහ රජුගේ අමුත්තන් ලෙස ගත කළහ. මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාර නායකයන් ලියූ සිහිකටයුතු පෙර දවස් නමැති කෘතියේ මෙම විස්තර මනාව සඳහන් කර ඇත. සර් සොලමන් වෙත මහ මුදලි පදවිය පිරිනැමුණේ කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාර නායක මුදලිතුමාගේ අභාවයෙන් ඇතිවූ පුරප්පාඩුවට බව සර් සොලමන් තම කෘතියේ සඳහන් කර ඇත.


දහ අටවැනි සියවසේදී පමණ යුරෝපයේ ඇති වූ කාර්මික විප්ලවයෙන් පසු වැටුපට සේවය කරන කම්කරු පංතියක් ඇති වූ බව අපි දනිමු. එයට පෙර පැවති සමාජ ක්‍රමය වැඩවසම් සමාජය යනුවෙන් ලෝකයේ සමාජ විද්‍යාඥයෝ හැඳින්වූහ. එම ක්‍රමය යටතේ පැවතුණේ ඉඩම්, ධනය සහ බලය හිමි රදල පන්තිය සහ ඔවුනට සේවය කළ ප්‍රවේණිදාස පිරිසය. මෙම රදල ප්‍රභූ සමාජය වූවේ නිසැකවම පෙර සඳහන් කළ මුදලි මුහන්දිරම් පන්තියයි. යටත්විජිතවාදයේ පීඩාවට අමතරව මෙම ප්‍රභූ සමාජයේ ගොදුරු බවට පත්වීමට ගැමි ගොවි ජනතාවට සිදු වූ බවද සමහරවිට වාර්තා විය. නැගී එන බෞද්ධ පුනරුදයටද සහාය දෙමින් වටිනා සමාජ මෙහෙවක් ඉටු කළ කොන්රඞ් පීටර් මුදලිතුමා එවැනි දූෂිතයෙකු නොවූ නමුදු වෙනත් බොහෝ පළාත්වලින් ලැබුණු ආරංචිය වූවේ පෙර සඳහන් කළ ආකාරයෙනි.


සියනෑ කෝරලයේ මුදලිඳු කණිෂ්ඨ කොන්රඞ් පීටර් බණ්ඩාරනායකයන්ගේ සහ එම පතිනිය වූ මාතර පොකුණවත්ත වලව්වේ හිල්ඩා රොස්ලින් ඩි ඕතා ඒකනායක ළමාතැනියට දාව 1917 දෙසැම්බර් මස 01 වැනි දින මාතරදී උපත ලද දරුවා සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක යැයි නම් ලැබුවේය. තවත් සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙක් එම පවුලේ සාමාජිකයෝ වූහ. 


කලක් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ පසුව මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇස්. ඩී. දරුවා එහිදී එවකට පැවති බටහිර අධ්‍යාපන රටාවට අනුව ග්‍රීක්, ලතින්, ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්‍යය ආදී විෂයයන් හැදෑරුවේය. මාතර මවගේ නිවසේ දිවි ගෙවද්දී එතුමියගේ බලපෑම මත මාතර මහා මන්තින්ද පිරිවෙනේ දී එම පරිවේනාධිපති බඹරැන්දේ ධම්මාවාස නාහිමපාණන් වහන්සේගෙන් බුද්ධ ධර්මය, සිංහල භාෂාව පමණක් නොව පාලි සහ සංස්කෘත භාෂාවන් පිළිබඳවද යම් පමණක දැනුමක් ලබා ගත්තේය.


ලෝකයේ දේශපාලන ගමන් මග වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය යැයි බොහෝ විශාරදයෝ ප්‍රකාශ කරති. එම ජයග්‍රහණයෙන් මාසයක එහා මෙහාවේදී එම වසරේම දෙසැම්බර් පළමු වැනිදා උපත ලද ඇස්. ඩී. තුළ දෛවයෙන්ම එම ආභාෂය පිහිටියාක් මෙනි. පසුකාලීන සිදුවීම්වලින් ඒ බව මනාව තහවුරුව දක්නට ලැබුණි.


උසස් අධ්‍යාපනය සඳහා බි්‍රතාන්‍යයට යාමත් එහිදී නීතිය හදාරා බැරිස්ටර්වරුන් බවට පත්ව මෙරටට පැමිණ අධිකරණයන්හි කටයුතු කිරීම එකල උසස් සමාජ තලයේ දරුවන්ගේත් දෙමාපියන්ගේත් කැමැත්ත විය. 
එහෙත් සැමුවෙල් ඩයස් තරුණ ශිෂ්‍යයා තෝරා ගත්තේ එයට වෙනස් මගකි. ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගිය හැක්කේ අධිකරණය තුළ කටයුතු කරන නීතිඥයකු වීමෙන් නොව බත බුලත සරුකර ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කළ හැකි වන පරිදි කෘෂිකර්මය හැදෑරීමෙන් බව ඔහු අවබෝධ කර ගෙන සිටියේය. ඒ නිසා 1930 වසරේ අගභාගයේදී ඔහු ඉන්දියාව බලා පිටත් වූවේය. 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ