ආසියාවේ යෝධයන් මෙල්ල කළ “සිරිලක සිරිකත”07
 
1960 වසරේ මාර්තුවේදී පරාජය වැලඳගත් ශ්‍රීලනිපය එම වසරේම ජූලි මාසය වනවිට පණ ගසා නැගී සිටියා පමණක් නොව ලෝකයේ පළමු අගමැතිනිය ශ්‍රීලනිපයෙන් බිහිකර ජාත්‍යන්තර කීර්තිය ලැබීය.
 
උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් අගමැති ධුරයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්වූදා සිට පිරිමියකු මෙන් ජාත්‍යන්තර දේශපාලනයේදී ආසියාවේ මෙන්ම බටහිර රටවල ද විශ්වාසය දිනා ගැනීමට ඇය සමත් වුවාය. 
1960 දී පැවැති  පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන්ගේ ලන්ඩන් සමුළුවට එක්වී දෙවෙනි එළිසබෙත් මහ රැජින සමඟ එක පෙළට සිටි මෙම දිරිය නායිකාව 1961 සැප්තැම්බර් මාසයේ යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඞ් නුවර පැවැති නොබැඳි ලොව නායකයන් 25 දෙනකු සහභාගි වූ ස්වාධීන සංවිධානයේ පළමු සමුළුවට එක්වූවාය. 
 
1961 සැප්තැම්බරයේ එතෙර මෙතෙර ජනමාධ්‍ය ඇයගේ ආගමන ප්‍රකාශ කළේ මෙසේය. 
 
“මැතිනිය තද නිල් පැහැති සාරියකින් සැරසී සිටියාය. සෙසු නායකයන් කතා පවත්වන විට මුලදී පමණක් අත්පොළසන් නද නැගුණත් මැතිනියගේ කතාවේ මුලත් අගත් මැදත් උදේවේගකර එම හඬ නැගුණි. 
සිරිලංකා නායිකාව බෙල්ග්‍රේඞ් නුවරට පැමිණෙන විට හැඳ සිටියේ ඇම්ඩ්‍රොයිඩර් කරන ලද රන්පැහැය තැවරුණු සුදු සාරියකි.  බෙල්ග්‍රේඞ් කාන්තාවෝ එය චාම් හා විසිතුරු බව අගය කරනු පෙනිණ. එම ඇඳුම සහිත ඡායාරූප උස් කඩ සාප්පු මුදුනක ලෙළ දෙමින් තිබිණි. ප්‍රදර්ශනාත්මකව නොහැසිරුණු මැතිනිය හෝටල් කාමරය තුළ කාලය ගතකළ අතර ඇයගේ කුටියේ වටිනා යමකට වූයේ දරුවන්  තිදෙනාගේ ඡායාරූප හා ඔවුන්ට ලියූ පෝස්ට්කාඞ් පමණි.”
 
පරමාණු විෂට ගොදුරුවී තම දරුවන් කාලයක් තිස්සේ නරා දුක් විඳිමින් සිට මියයෑම අම්මා කෙනෙකුට වාවා ගන්න බෑ. නමුත් අද යුද ගින්නේ ඇවිළුණ ලෝකයේ සිදුවන්නේ එවන් විපත්තියි. න්‍යෂ්ටික යුද්ධයට අප එරෙහි විය යුත්තේ කොන්දේසි විරහිතවයි. 
 
මැතිනිය බෙල්ග්‍රේඞ් සමුළුවේදී කීවාය. යම් දේශපාලන මතයක් රැකගැනීමට යුද්ධය අපේක්ෂා නොකරන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් වනසන න්‍යෂ්ටික යුද්ධයක් ඇති කිරීමට කාටවත් බලයක් නෑ. ඔවුන් ඉල්ලා සිටියේ සාමකාමී සහජීවනයයි. යුද්ධය නොමැතිව ප්‍රශ්න විසඳන්නයි. සෑම මධ්‍යස්ථ ජාතීන් සියලු වාදභේද දුරලා එකම මේසයකට පැමිණ යුද්ධයට එරෙහිව ලෝක ජනමතයක් ඇති කිරීමට කාලය පැමිණ තිබේ. මෙහිදී ඇතැම් අන්තගාමී නොවූ රටවල් තම තමන්ගේ අනන්‍යතාව හෙවත් නම්බුව රැක ගැනීමට කල්පනා කිරීම අනුමත නොකළ හැකි බව පැවසූ ඇය සියල්ලටම වඩා වැදගත් වන්නේ මිනිස් ජීවිත රැක ගැනීම බැව් පැහැදිලි කළාය.
යුගෝස්ලෝවැකියානු ජනාධිපති මහසෙනවි ටිටෝ ඇයට පූර්ණ ආරක්ෂාවක් රැකවරණයක් ලබා දුන්නේය. ඔහු විසින් බණ්ඩාරනායක අගමැතිනියට රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ බොහෝ පාඩම් හා උපදෙස්  ලබාදුන් අතර නේපාල අගරජු මහේන්ද්‍ර සමඟ හමුදා පෙරට්ටු නැරඹුවාය. 
 
මාර්ෂල් ටිටෝ, හසන් කුමරු, සඵල් සලාම්, ඇඩාස් ඔස්මන්, ඉබ්‍රාහිම් අබුබි, ෂෙයික් ඉබ්‍රාහිම් සොවායෙල් මකාරියෝ ආච්බිෂොප්තුමා, දෙවන හසන් රජු, හබීබ් බෝගුයිබා, අහමඞ් සුකර්ණෝ, ඔස්වල්ඞ් ඩෝටි කෝස්, ක්වාමේ එන්. කෘමා, ජනාධිපති අබ්දුල් නසාර්, හේල් සෙලාසි රජු, මොඩිබෝ කෙයිනා, ජවහර්ලාල් නේරු, ෂහිම් ජවාඞ්, මහේන්ද්‍ර රජු, බෙන්යුෂුප් බෙන් ඛෙඞ්ඩා, ලුයි ලන්සානා බිවෝයි, සිරිල් අදවුලා, ඇන්ටොයින් ගිසෙන්ගා සහ ඌනු යනාදී 60 දශකයේ නොබැඳි රාජ්‍ය නායකයෝ සිරිමාවෝ මැතිනිය සමඟ සමුළුවට එක්වූහ. 
 
මුදල් අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු නියෝජිත කණ්ඩායමක්ද ඇය සමඟ වූහ. මෛත්‍රීපාල සේනානායක අමාත්‍යවරයාද දූත පිරිසට එක්වූ අතර මැතිනිය සමග පැමිණි ගුවන් යානයෙන්ම ඔහු බ්‍රසල්ස් නුවර පැවැත්වූ අන්තර් ජාතික පාර්ලිමේන්තු සම්මේලනය නියෝජනය කිරීමට ගියේය. 
 
ස්වාධීන ජාතීන් 25ක් එකම මේසයක් වටා ඒකරාශි වූ බෙල්ග්‍රේඞ් සමුළුව ලොව මහ ජාතීන්ගේ ඇස් අරවන බලවේගයක් විය. එතෙකින් නොනැවතුණු නියෝජිතයෝ එම පියවර සිහිපත් කිරීම සඳහා යුගෝස්ලාවියාවේ සමූහාණ්ඩු මන්දිරය හා ඩැනියුබ් ගඟ අතර පිහිටි මිත්‍රත්වයේ හා සාමයේ උද්‍යානයේ පැළයක් රෝපණය කළහ. 
 
අගමැතිනිය සිරිමාවෝගේ ජාත්‍යන්තර දේශපාලන  ප්‍රවණතාව ප්‍රකට කළ තවත් වැදගත් පියවරක් වනුයේ ඉන්දු - ලංකා ගිවිසුමයි. බි්‍රතාන්‍යයන් විසින් මෙරටට රැගෙන ආ ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරු ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පදිංචිව සිටියේ රටක් නැත්තවුන් ලෙසිනි.
 
 
නිදහස ලැබුණු පසු රටේ ආරම්භක සංවර්ධනයට මහත් හිසරදයක් වී තිබූ මෙම ප්‍රශ්න විසඳීමට සියලු ආණ්ඩු දැරූ ප්‍රයත්නයන් ඵල රහිත වූයේ තම තමන්ගේ අනන්‍යතාව අත්හැර නම්‍යශීලී තීන්දුවකට එළඹීමට එකඟ නොවූ බැවිනි. අප අගමැතිනිය ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රි සමඟ 1964 දී අත්සන් කළ මෙම ගිවිසුම අනුව වැඩි වාසිය හිමිවූයේ අප රටට ය. දෙරට අතර හොඳහිත පළුලු වන්නට ඔන්න මෙන්න කියා තිබියදී සිරිමාවෝ  මැතිනිය හා ඉන්දීය නායකයන් අතර වූ මිත්‍රත්වය මත මෙවැනි එකඟතාවකට පැමිණීමට ලැබීම විශාල ජයග්‍රහණයකි. 
 
 
නවදිල්ලියේදී පැවැති සාකච්ඡාවලට සහභාගිවීමට පෙර ඇය ලන්ඩන් නුවරදී බි්‍රතාන්‍ය අගමැති හැරල්ඞ් විල්සන් ඇතුළු ප්‍රභූන් සමඟ සාකච්ඡා කළේ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මුල පටන්ම විසඳාගත යුතු බැවිනි. බි්‍රතාන්‍යයන් ගෙන ආ වතු කම්කරු වන්ගේ අනන්‍යතාව දෙරටට බරක් නොවී විසඳා ගැනීම හා ජාත්‍යන්තර බලපෑම් වළක්වා ගැනීම ඇගේ දූර්දර්ශී දේශපාලන ඥානය අනුව ඉන් හැකිවිය. 
 
බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ අගමැතිවරයා ලෙස පත්වූ හැරල්ඞ් විල්සන් සහ මෙරට සමාජවාදී කම්කරු පක්ෂ හා බැඳුණු සිරිමාවෝ බණ්ඩාරනායක නායිකාව සමඟ ඉතා සුහදව මෙම කරුණු සාකච්ඡා විය. මෙම අවස්ථාවට බි්‍රතාන්‍යයේ නව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් ආතර් බොටම්ලි ද සහභාගි වී ඇත. 
 
සිරිමාවෝ අගමැතිනිය නවදිල්ලියට පැමිණි අවස්ථවේ දෙරටේ රාජ්‍ය නිලධාරීහූ මහත් හරසරින් පිළිගත්හ ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රි හා සිරිමාවෝ අගමැතිනිය රාස්ට්‍රපති භවනට කැඳවාගෙන යනු ලැබුවේ එකම රියෙනි. එහිදී ඇයට ඉන්දියානු ජනාධිපති ආචාර්ය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් ද මුණ ගැසිණි. 
 
ඉන්දියාවේ මෙන්ම ඇගේ පුනරාගමනය බලාපොරොත්තුව සිටි ශ්‍රී ලංකාවේදී ද ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඇයට උණුසුම් සුබපැතුම් ලැබිණි. වහා සියරට එන්නට සැරසුණු මැතිනියට දින කිහිපයක්ම නතරවන ලෙස අගමැතිවරයා ඇරයුම් කළේය. 
 
මෙරටට බරපතළ ලෙස බලපෑ අර්බුද රැසක් විසඳා ලක්මව බරෙන් නිදහස් කළ අගමැතිනිය පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි මැති ඇමැති නිලධාරි හා ප්‍රභූන් පිරිස අතර කැලණි විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමි, විද්‍යොදය විශ්වවිද්‍යාලයේ අධිපති පලන්නොරුවේ විමලධම්ම නාහිමි ඇතුළු මහ සඟරුවන ද වූහ.
 
ගුවන් යානයෙන් බට අගමැතිනියට මුලින්ම සුබ පතනු ලැබුවේ ලකිසුරු විලියම් ගොපල්ලව මහතා විසිනි. එතුමිය සමග වෙළඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා ද විය. 
 
සුහදත්වයත් උතුම් පරමාර්ථත් ඇතිව රට වෙනුවෙන් ඔබතුමිය ගිය ගමනින් හිතුවාටත් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබීම ශ්‍රී ලාංකිකයන් ලැබූ භාග්‍යයක්. මහ සඟරුවන ඇයට ආසිරි පැතූහ. 1064.05.16 දින එම කියමන සනිටුහන් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සුදු මල් වට්ටියක් රැගෙන කැලණි සැතපෙන බුදුරුව අබියස සිටින ඡායාරූපයක් පළ විය. 
 
මෙවැනි පැතුමක්ද එහි විය.
 
සිතින් වදනින් කයින් යන තුන් දොරින්  සිල් ගුණ සුවඳ විහිදේ
බැතින් සහ සැදැහැයෙන් හදවත් කුසුම සිව් විසි පැයම පිබිදේ 
අතින් දැරු මල් බඳුන සහිතව බුදුන් වැඳ සිත පැහැද නිබඳේ 
නිතින් තෙසරණ පිහිටි මැතිනිය, යළිත් අගමැති විලස සැරදේ
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි