1920 දශකයේ මැද භාගයේ බිහිවූ, ආරම්භයේදී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණු දේශපාලන දැක්මක් තිබූ සංවිධානය ලෙස සැලකිය හැකිය. එය කුලභේදයට එරෙහිව ක්‍රියාකාරි ලෙස සටන් කළ සංවිධානයක් විය. එය වාර්ගික එකමුතු බව හා ආගමික එකමුතු බව වෙනුවෙන් පෙනී සිටියේය. යාපන තරුණ කොංග්‍රසය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලාංකේය ජාතික වාදයක් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් වූ අතර පරමාදර්ශි අරමුණු ඇති පරමාදර්ශීන්ගේ ව්‍යාපාරයක් විය.


1920 වසර වන විට යාපන විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියේ ඇමෙරිකානු ධර්මදූතයෙකු වූ ගරු ජෝන් බික්නෙල් පියතුමාය. සිතීමේ, භාෂණයේ හා ක්‍රියාවේ නිදහස සම්බන්ධයෙන් දැරූ නිදහස් අදහස් නිසා ඔහු ප්‍රසිද්ධව සිටියේය. 1920 ගණන්වල ඉන්දියාව තුළ ඇති වූ ව්‍යාපාරය යාපනයේ තරුණයන් කෙරෙහි අතිමහත් බලපෑමක් ඇතිකර තිබුණි. විශේෂයෙන් 1920 වන විට ගාන්ධි නිදහස සඳහා වූ නිදහස් ඉන්දියානු අරගලයේ නායකයා ලෙස ඉස්මතු වූ අතර මොන්ටේගු චෙල්ම්ස්ෆෝඞ් ප්‍රතිසංස්කරණය අන්තර් ගත වූ 1919 ඉන්දියා පනත මගින් ස්වයං පාලනයක් වෙත ඇති වන ක්‍රමික පරිවර්තනයක් ගැන බලාපොරොත්තු ඇති කළ නමුත් රෝලට් පනත් සම්මතයෙන් පසු ඇති වූ ජාල්ලියන් වල්ලාභාග් ඝාතන නිසා ඉන්දියානු ජාතිකවාදීහු මහත් කම්පනයකට පත් වූහ. එබැවින් ඔවුන් බි්‍රතාන්‍ය පාලකයන්ගේ අභිප්‍රායන් ප්‍රශ්න කිරීමට වූහ. ගාන්ධිගේ නායකත්වය යටතේ බහු ජනතාව දේශපාලනය කරා ගෙන එනු ලැබූ අතර නිදහස සඳහා අරගලය එහි සටන් කාමී අදියරට අවතීර්ණ විය. ඉන්දියානු ශිෂ්‍යයෝ අරගල තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කළහ.


1920 ගණන්වල මුලභාගය වන විට යාපන විද්‍යාල සිසුහු “වාර්ගික නියෝජනයට වඩා භෞමික නියේජනය යහපත්ය.” ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කළ යුතුයි.” සහ ලාංකිකයන් නව ප්‍රතිසංස්කරණය යෝජිත ක්‍රමයට අනුව නව නියෝජිතයන් ව්‍යවස්ථාදායක සභාවට නොයැවිය යුතුයි.” බඳු මාතෘකා ගැන විවාද කිරීමට මුල් වූහ. එසේම 1921 - 1922 කාල පරිච්ඡෙදය වන විට ඔවුහු විදේශීය ඇඳුම් පැලඳුම් ගිනිලෑමේ ගාන්ධිගේ පියවර යුක්ති යුක්ත බවත්, ලංකාවට ස්වයං පාලනයක් ප්‍රදානය කළ යුතු බවත්, විදුහල්පතිවරයා ස්වදේශිකයෙකු විය යුතු බවත් සහ ශිෂ්‍යයන් ජාතික ඇඳුම ඇඳිය යුතු බවත්, ආදි වූ දේශද්‍රෝහි යැයි චෝදනා ලැබිය හැකි රැඩිකල් මාතෘකා ගැන විවාද පැවැත් වුහ. “මහත්මා ගාන්ධි සිරගතව සිටීම, මහත්මා ගාන්ධි සිරගෙයින් පිටත සිටිනවාට වඩා අනතුරුදායකය” යන මාතෘකාව පිළිබඳව 1923 කාලපරිච්ඡෙදය වන විට විවාද කර තිබුණු අතර, මෙසේ විවාද කළ තරුණයන්ගෙන් කීප දෙනෙක් 1922 දී යාපන විද්‍යාලයේ මැටි්‍රකියුලේශන් පංතිවල ගුරුවරු හා ශිෂ්‍යයන් සමග එක්ව නිදහස හා සමාජ ප්‍රතිසංස්කරණය සඳහා වන ආවේගකාරී වූද, පරමාදර්ශි වූද, ලාලසාවෙන් යුතුව “ලංකා සමාජයේ සේවකයෝ” නම් වූ සංවිධානයක් බිහි කළහ. එහි ආරම්භක සාමාජිකයන් අතර හැන්ඞ් පෙරින්පනායගම්, සභාපති කුලේන්ද්‍රන්, එස්. ආර්. කනගනායගම්, සී. සුබ්‍රමනියම්, ඒ. එම්. බෲස්, කේ. ඊ මතියපරානම්, එස්. දුරෙයිරාජසිංගම් සහ බොනි කනගතුංගම් යන අය වූ අතර එය වඩාත්ම සාමාජිකයන් විසින් සකස් කළ නිබන්ධන කියවනු ලබන රටේ ගැටලු හා මුහුණ පා ඇති ආපදාවන්ට පිළියම් සාකච්ඡා කරනු ලබන අධ්‍යයන කණ්ඩායමක් විය. එය ලාංකීය තරුණයන් අතර පවත්නා ගැටලු හා අභිලාෂයන් ගැන සලකා බැලීමට දැරූ ප්‍රයත්නයක් විය. විදුහල්පති බික්නේල් මේ සම්බන්ධයෙන් කිසිවක් දැන සිටියේ ද යන්න දැනගන්නට තැනක්, හැන්ඩි පෙරින්පනායගම් පසු කාලීනව පාපොච්චාරණය කළේ “ඔහු අපගේ අභිලාෂයන් කෙරෙහි සහානුභූතිය දක්වන්නට ඇති අතර ඒ ගැන කිසිවක් නොදැන සිටීම ඥානාන්විත යැයි කල්පනා කරන්නට ඇති බව” යන්නය.


1924 ජූනි මාසයේදී ශාස්ත්‍රවේදී උපාධි පරීක්‍ෂණයට පෙනිසිටි හැන්ඩි පෙරින්පනායගම් ඉන්පසුව යාපන විද්‍යාලයේ ඉගැන්වීම සඳහා පැමිණියේය. නිවාඩු දිනයන්හි සහ සති අන්තයන්හි හැන්ඞ් පෙරින්පනායගම් තම අදහස්වලට සමාන අදහස් ඇති මිතුරන් හමුවීමට පුරුදු වී සිටියේය. ඔවුන්ගෙන් සමහරෙක් යාපන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ වූහ. මේ අවධිය වන විට තරුණ ජනයාගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් පැවත්වුණු බව පෙනෙන්නට තිබුණි.


“මගේ ලන්ඩන් උපාධිය මට සමාජ තත්ත්වයක් මෙන්ම විශ්වාසය පිළිබඳ මානයක් ලබාදුනි. එහෙත් මම ජාතික නිදහස දිනා ගැනීමට සංවිධානයක් පිහිටුවීම සඳහා වූ දුෂ්කර මූලික කටයුතු කිරීමට උපාධිය ලබාගන්නා තෙක් බලා නොසිටියෙමි.” හැන්ඞ් පෙරින්පනායගම් පැවසීය.


ඒ අනුව 1924 නොවැම්බර් මස පළමු වැනිදා සවස් යාමයේ එවකට යාපනයේ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ දී තරුණයන් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ප්‍රාථමික රැස්වීමක් පැවැත්විණි. ඔවුන් අතර ගුරුවරුද, නීතිඥයෝද, යාපන විද්‍යාලයේ ඉහළ පංතිවල ශිෂ්‍යයෝ ද, ස්වාධීන දේශපාලන චින්තකයෝ ද වූහ. ගණිතය පිළිබඳ විශ්වවිද්‍යාල වියතෙකු වූ බාලසුන්දරම් හා එස්. දුරෙයිරාජසිංහම් සමලේකම්වරු ලෙස තේරී පත් වූහ. මූලික අදහස් හුවමාරුවකින් අනතුරුව බහුතරයේ කැමැත්ත මත නව සංවිධානයට “ශිෂ්‍යයන්ගේ කොංග්‍රසය යාපනය” නමින් හැඳීන්වීමට තීන්දු කරන ලදී. රැස්වීමට සහභාගි වූ පුද්ගලයන්ගේ බලාපොරොත්තුව වූයේ දිවයිනේ අනෙක් පළාත් තුළින්, ඒ සමගම සංවිධාන බිහිවනු දැකීමත්, අවසානයේ එකම පරමාදර්ශයන්ට කැපවුණු දීප ව්‍යාප්ත සංවිධානයක් මතු වී එනු දැකීමත්ය. සමස්ත ලංකා තරුණ කොංග්‍රසය නම් වූ එබඳු සංවිධානයක් යාපනයේ 1931 සිදු වූ වර්ජනය කිරීමේ ව්‍යාපාරයෙන් පසු මතුව විත් කෙටි කලක් පැවතුණි. සංගමය ආරම්භ කිරීම සඳහා පවත්වන ලද මූලික සාකච්ඡාව සඳහා මෙම අවධියේ යාපනය පරමේශ්වර විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ ගෝර්ඩන් පියර්ස් මහතා සමග දකුණේ සිට සිංහල ශිෂ්‍යයන් කිහිප දෙනෙක්ද යාපනයනට පැමිණ සිටියහ. ඒ අනුව පසුකාලීනව පුවත්පත් කලාවේදියකු බවට පත් වූ ඩී. බී. ධනපාලද, යාපනයට ගෙන්වා ගත් අතර පළමු සම්මේලනයේ සභාපතිත්වය පවරන ලද්දේ පී. ද ඇස් කුලරත්නටය. සාම්ප්‍රදායික සියලු දෙමළ නායකයන් වාර්ගික නියෝජනය වෙනුවෙන් පෙනී සිටින විට ශිෂ්‍ය කොංග්‍රසය වාර්ගික නියෝජනයට තරයේ විරුද්ධ විය. එය වාර්ගික සමගියක් වෙනුවෙන් පෙනී සිටියේය. දෙමළ ළමුන් සිංහල භාෂාවත්, සිංහල ළමුන් දෙමළ භාෂාවත් ඉගෙන ගත යුතු බව කියා සිටිමෙන් නොනැවතී සිංහල භාෂාව ඉගෙන ගැනීමට යාපනේ දෙමළ ළමුන් උනන්දු කරවීය. යාපනේ හින්දු හා ක්‍රිස්තියානි යන ආගම් අතර සහජීවනයක් ඇති කිරීම සඳහා ක්‍රියා කළේය. අස්පර්ශවාදයට හා කුලපීඩනයට එරෙහිව ජනතාව අතර වැඩ කළේය. හැම සම්මේලනයකටම දකුණේ සිංහල නායකයන් කිහිප දෙනෙකු සහභාගි කරවා ගත්තේය.


ශිෂ්‍ය කොංග්‍රසය නිර්මාණය කිරීමට මූලික වූ හැන්ඩි පෙරින්පනායගම් යෝජිත කොංග්‍රසයේ අරමුණු පිළිබඳව ෘ්සකහ බැඅි පුවත්පතට දීර්ඝ ලිපියක් සැපයූවේය. වර්තමානයේ මුහුණ දෙන සමහර ගැටලු විසඳීමේ අරමුණ වෙනුවෙන්, මේ රටේ ශිෂ්‍ය බලවේග පෙළගැස්වීම සඳහා ආරම්භ කිරීමට යෝජිත නව ව්‍යාපාරය පිළිබඳව මහජනයාට දැනුම් දීම එම ලිපියේ අරමුණ විය. තවද ඔහු ලිපිය මගින් මෙසේ සඳහන් කළේය. “මේ රටේ සමාජීය, දේශපාලනමය, සංස්කෘතික හා ආර්ථික අභිවෘද්ධිය සඳහා තමන්ට සම්ප්‍රදානයක් කරන්නට තිබෙන බවත් තම නායකයන්ගේ දැක්මෙහි පවත්නා ගතානුගතිකත්වය හා පටුත්වය විසින් තම ක්‍රියාකාරකම් පිළිබඳ යුක්ති සහගත ක්ෂේත්‍රයට අදාළ එම කර්තව්‍යයෙන් තමන් වළක්වනු ලැබ තිබෙන බවත් ශිෂ්‍යයෝ හඟිති.”


ඒ අනුව ලංකාවේ විවිධ පළාත්වල බොහෝ තරුණයන් විසින් බෙදාහදා ගත යුතු නව ලංකාවක් දර්ශනයකට ප්‍රකාශනයක් ලබා දුන්නේය. ඒ අනුව පොදුවේ ක්‍රියා කළ හැකි සංවිධානයක් ඇති කිරීමට මේ කරන ලද ආරාධනා ඒ සැටියෙන් ගත් කල 1920 යාපනය තුළ ඇති වූ මුලවිපර්යාසි දුෂ්කර ක්‍රියාදාමයක් විය. සියලු ජනවර්ගවලට, ලබ්ධීන්ට හා කුලවලට අයත් ජනයා ඇතුළත් වන පරිදි ව්‍යාපාරය සංවිධානය කෙරිණි.


1924 දෙසැම්බර් මස 29, 30 සහ 31 යන දිනයන්හි ශිෂ්‍ය කොංග්‍රසයේ ප්‍රථම සැසිවාරය යාපනයේ රිවේ ශාලාවේ දී පවත්වනු ලැබූ අතර මේ සඳහා සුප්‍රකට අධ්‍යාපනවේදීහු කීප දෙනෙක්ද සහභාගි වූහ. ප්‍රධාන සංවිධායකයා හැන්ඞ් පෙරින්පනායගම්ය. එම්. බාලසුන්දරම් හා එස්. දුරෙයි රාජසිංගම් යන තරුණයන්ගේ දායකත්වය ද එහි දී ඔහුට හිමිවිය. එසේම උපාධිධාරීන් මෙන්ම උපාධි අපේක්‍ෂකයන් ද සහභාගි වූ අතර තක්සේරු කර ඇති අන්දමට තුන්සියයක් පමණ වන ශිෂ්‍යයෝ පිරිසක් ආරම්භක සැසිවාරවලට සහභාගි වූහ. සමුළුවට සහභාගි වූවෝ “ජාතික” පන්නයට බුමුතුරුණු මත හිඳ සිටි අතර සියලුම දෙනා ජාතික ඇඳුමින් සැරසී සිටියහ. කොංග්‍රසය සභාපතිවරයා ලෙස වී. චෙල්ලයියා මහතා තෝරාපත් කර ගැනිණි. සභාපතිවරයාගේ ප්‍රධාන කාර්ය වූයේ වාර්ෂික සභාවාරයේ ආරම්භක දේශනය පැවැත්වීමය. මෙය ඉංග්‍රීසි උගත් පන්තීන් ඉංග්‍රීසි බස සමග ජාතික භාෂාවන්ගෙන් එකක් භාවිත කළ ප්‍රථම සංවිධානය බවට පත් විය. ශිෂ්‍ය කොංග්‍රසය පිහිටුවීමේ යෝජනාව එම්. බාලසුන්දරම් විසින් ඉදිරිපත් කරන ලද අතර යුනිවර් සිටි කොලිජියෙහි එස්. නඬේසන් විසින් ස්ථිර කරනු ලැබීමෙන් අනතුරුව ඒකමතිකව සම්මත විය. මෙහි දී හැන්ඞ් පෙරින්පනායගම් විසින් ජාතික එකමුතුභාවය සඳහා ඒත්තු ගන්වන සුලු ආයාචනයක් සිදු කරන ලදී. දෙවන දිනයේ දී “දෙමළ සාහිත්‍ය යළි නගා සිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව ටී. එන්. සුබබයියා, නවනීතා ක්‍රිෂ්ණ භාරති, ආර්. සී. සත්ගුණසිංහම්, වී. එස්. රාජායානර් සහ එස්. නඬේපිල්ලෙයි යන පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් දෙමළ බසින් සාකච්ඡාවක් පැවැත්විණි. තෙවන දිනයේ දී “බහුජන අධ්‍යාපනය” පිළිබඳව සාකච්ඡාවක් වී. මුතුකුමාරු හා එස්. ජේ. ගුණසේකරම් විසින් මෙහෙය වන ලදි. කොංග්‍රසයේ අවසාන සැසිවාරයේ දී හැන්ඞ් පෙරින්පනායගම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවක් ද සම්මත කෙරිණි.

 

 

මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි