ප්‍රජාතන්ත්‍රවාදී වේවා කොමියුනිස්ට්වාදී වේවා පැසිස්ට්වාදී වේවා, ඒකාධිපතිවාදී වේවා, මොන වාදයකින් වුව බලලෝභී දේශපාලනය විසින් උසි ගන්වනු ලැබූ බලකාමය තුළින් රටක පාලනය එම රටේ නීත්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට පරිබාහිරව ඝාතනයකින් හෝ වෙනත් ක්‍රමයේ නෙරපීමකින් හෝ වෙනස් විය හැකි බව ඉතිහාසයෙන් මොනවට පැහැදිලිවේ.


රාජාණ්ඩුක්‍රමයේ පටන් ඉහතකී කුමන වාදයකින් හෝ ප්‍රතිෂ්ඨාපනය වූ ආණ්ඩු ක්‍රමයන් තුළද එම ඝාතන රැල්ල ගතානුගතිකව ඇදී එමින් අදටත් වලංගු වෙමින් ඇති බව ඇස්පනාපිට සක්සුදක්සේ පැහැදිලිය. එසේම විවිධ ජාතීන් වසන රටක වර්ගවාදී ගැටුම් තුළින්ද පාලකයන්ට විරුද්ධව යමින් ඔවුන් ඝාතනය කරවීමේ බිහිසුණු ක්‍රියාදාමයක්ද නොවූවා නොවේ.


අප රට ගැන පමණක් සලකා බැලුවද සිටින පාලකයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සාමකාමීව බලයෙන් ඉවත් කිරීම මෙන්ම උපක්‍රමශීලීව හෝ ඝාතනයකින් හෝ බලයෙන් පහ කිරීමද සිදුවී ඇත.


ලංකා ඉතිහාසය තුළට එබී බැලීමේදී 1947 සිට 1994 දක්වා එවැනි සිදුවීම් කිහිපයක්ම සොයාගත හැක.


අගමැති ඩී. ඇස්. සේනානායක දෛනිකව උදෑසන කරන අසුන්පිටින් යෑමේ ව්‍යායාමය ඉලක්කකොට හොර රහසේ අසුගේ සෑදලයට ඉඳිකටු ගසා ධාවනය වීමේදී අසු වේදනාවට පත්කොට ඌ කුලප්පු කරවමින් ඩී. ඇස්. බිමට වට්ටවා ඝාතනය කර ඇතැයි වූ ප්‍රචාරයෙන් අනාවරණය වූයේද උපක්‍රමශීලී ඝාතනයකි.


නිල නොවන ආරංචියක් වුවද මෙහි සැලසුම ඊළඟ අගමැති අපේක්ෂකයාගේ බවට කටකතා ඇතිවිය.


අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සමග උරණවූ ගිහි පැවිදි සගයන් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඝාතනය කිරීමේ සුලමුල අගමැතිකම අපේක්ෂාවෙන් ඔහුගේ කැබිනට්ටුවේම සිටි එක් ප්‍රබල ඇමතිවරයෙකු දැන සිටි බවටද රාවයක් පැතිරිණ. මේ අනුව එයද දේශපාලනමය ඝාතනයක් බවට පත්විය.
ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි ගාමිණී දිසානායක ත්‍රස්තවාදියකුගේ බෝම්බයකින් ඝාතනයවීම ද ප්‍රතිවාදී පිලේ බලවත් අයකු දැනුවත්ව සිදුවී ඇති බවටද කතා පැතිරිණි.


එසේම මේ රටේ ජනාධිපතිවරයෙකු අමු අමුවේම මහ දවල් මැයි දින පෙළපාළියක් හැසිරවීමේදී එවැනිම මිනිස් බෝම්බයකින් ඝාතනය කිරීම වර්ගවාදී ගැටුමේ අති අමානුෂික බිහිසුණු ප්‍රතිඵලයකැයි, නිගමනය වූයේ එවැනි ලේ විපාසිත සටනක නියැළී සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ මිනීමරු සංවිධානය ඊට වගකිවයුතු බවට තීරණය වූ බැවිනි.
ඝාතකයාත් ජනාධිපතිවරයාත් එකම ලේ විලක මස් ගොඩක් බවට පත්වීමෙන්, වෙන් වෙන්ව හඳුනා ගැනීමට පවා බොහෝ අපහසු වුවත් ජනාධිපති ප්‍රේමදාසගේ අත්ඔර්ලෝසුව ඔහුව හඳුනාගැනීමට එකම සාක්ෂියවී ඇත.


ලෝක කම්කරු දිනයදා මෙරට කම්කරු පෙළපාළියකදී සිදුවූ මෙම කුරිරු ඝාතනය පිළිබඳව ලෝකප්‍රකට “ඒෂියා වීක් සඟරාව” 1993 මැයි 12 වැනි සඳු දින තම නවතම කලාපයෙන් ඉතා වැඩි ප්‍රසිද්ධියක් දෙමින්, “කඩුවෙන් රට පාලනය” නම්වූ ශීර්ෂය යටතේ ලොවටම හඬ ගා කියා ඇත්තේ ‘පොදු ජනතාවගේ ජනාධිපතිවරයාගේ වෙස් මුහුණට යටින්’ යන උප ශීර්ෂයද යොදා බව එවකට ‘සමුදුර’ වාර්තා කර තිබුණි.


“හතළිස් වියැති දේශපාලන ජීවිතයේ වැඩි දිනවලදී මෙන්ම ඔහු මියගිය දිනයේද හැටඅට හැවිරිදි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පිබිදුණේ උදෑසන 4.00 ටය. ඉන්පසු යෝග ව්‍යායාම්වල යෙදුණු ඔහු 5.15 ට පමණ පුවත්පත් කියවූයේය. උදෑසන 7.30ට ඔහු සිය මහජන සම්බන්ධතා නිලධාරියා ඇමතීය. තමා ජනාධිපති වූවාට පසු වාර්තාවල දත්ත හා සංඛ්‍යාලේඛන එකතු කිරීමට ඔහුට උපදෙස් දුනි. කොළඹ පිහිටි ගාලු මුවදොර පිට්ටනියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේදී ඔහු ඒවා ප්‍රයෝජනයට ගනු ඇත්තේය.”


“මම ජාතියට මග පෙන්වූ ආකාරය මිනිසුන්ට කිව යුතුයි. ඔහු කීවේය.”


“හැමවිටම සුපරීක්ෂා කාරයෙකුවූ ප්‍රේමදාස දවල් 11.30ට සිය පක්ෂ හිතවතුන් සමඟ පෙළපාළිය පරීක්ෂා කිරීමට ගියේය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ සිට ගාලු මුවදොර නිල්ලට ඔහු පෙරමුණ ගෙන එම පෙළපාළිය ගමන් කරනු ඇත. ප්‍රේමදාස ජීවමාන ප්‍රමාණයේ පෝස්ටර්වලින් මාර්ගය පෙළ ගැසී තිබුණි. ආරක්ෂාව ලිහිල් විය. ඒ දෙමළ කොටින්ගේ ප්‍රහාරක කණ්ඩායමක් ප්‍රධාන නගරයට ඇතුළුවී ඇති බව යුද හමුදාව දන්වා තිබියදීත්ය.”


“ආමර්වීදියේදී ජනාධිපතිවරයා සිය රේන්ජ් රෝවර් රථයෙන් බිමට බටුයේ සිය උදව්කරුවන් පෙළපාළියේ පෙළ ගැස්වීමටය. කොළපාට බේස්බෝල් කැප් තොප්පියක් පැලඳ අත් වනමින් සිටි ජනාධිපතිවරයා වෙතට බයිසිකලයක් තල්ලු කරගත් තරුණයෙක් පැමිණියේය.”


ප්‍රේමදාසගේ දීර්ඝ කාලීන පෞද්ගලික සහායකයාවූ මොහිදීන් මේ තරුණයාව හඳුනා ගත්තේය. ඔහු ජනාධිපතිවරයාගේ නිවසට නුදුරුව පිහිටි මොහිදීන්ගේ කඩයක සේවය කරන බාබු නම්වූ දෙමළ තරුණයෙකි. ජනාධිපතිවරයාට මීටර් පහක් පමණ දුරක් තිබියදී මොහිදීන් බාබුගේ බයිසිකලයේ හැන්ඞ්ල් බාර් එක අල්ලා ගත්තේය.


කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ප්‍රේමදාසගේ නිවසටද  පිපිරීම් හඬ ඇසුණි. ප්‍රේමදාස ඉපදී හැදී වැඩුණු මේ නිවසේ ප්‍රේමදාස ඒ වනතෙක්ම ජීවත් විය. ඝාතකයාගේ ඉණ වටා බැඳ තිබුණ බෝම්බය ප්‍රමාණයෙන් කැසට් රෙකෝඩරයක් තරම් විය. ජනාධිපතිවරයා හා ඔහු වටකොට සිටි පෞද්ගලික ආරක්ෂක වළල්ලෙන් 16 දෙනෙකු එක් සැණෙකින් මරා දැමීමට තරම් එය බලවත් විය. අනතුරට පත්වූවන් 30 දෙනෙකි. ප්‍රේමදාස හඳුනා ගැනීමට පුළුවන් වූයේ ඔහුගේ අත්ඔරලෝසුවෙනි.”

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූපය අන්තර්ජාලයෙනි