තිස්සගේ මතක වත-64

 

2010 මහමැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ ලොකු අර්බුද මතුවෙන්න පටන් ගත්තා. ඒ මැතිවරණය අවසානයත් එක්කම නැවත පක්ෂ අභ්‍යන්තර කැරැල්ල පටන් ගත්තා. රනිල් විරෝධී බලවේගයක් වේගයෙන් ඉස්මතු වෙන්න පටන් ගත්තා. මැතිවරණ කාලේ යටපත් වෙලා තිබුණත් මේ කැරැල්ල ඡන්දෙන් පස්සේ උඩට එන්න පටන් ගත්තා. මේ වතාවේ තත්ත්වය ටිකක් දරුණු වෙන්න පටන් ගත්තා. 

අපේ පක්ෂෙ ඉඳපු කීපදෙනෙක්ම මහින්ද රාජපක්ෂ ළඟට ගිහින් රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් වීමත් එක්ක එක්සත් ජාතික පක්ෂය ඇතුළේ පිපිරීම වැඩි වුණා. අපේ පක්ෂය මැතිවරණ පරාජයත් එක්ක දුර්වල අඩියකට වැටෙද්දී පාක්ෂිකයෝ වගේම මන්ත්‍රීවරුත් කලකිරීමෙන් හිටියේ. 


මේ වතාවේ රනිල් විරෝධී කැරැල්ල පාලනය කරගන්න බැරි මට්ටමකට ආවා. මේවටත් ඍජුවම මැදිහත් වෙන්න වුණේ මට. 


රනිල් විරෝධී කණ්ඩායම නිතරම කියන්න පටන් ගත්තේ රනිල් ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරනවා කියලා. ඔහුගේ නායකත්වය ජීවිත කාලයටම සකස් කරගෙන තියෙනවා කියලත් මේ අය කියන්න පටන් ගත්තා. මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් ඕනෑ කියලා තමයි මේ අයගෙ ඉල්ලීම වුණේ. ඒකට තමයි ඒ අයගේ සටන තිබුණේ. 


මේ කාලේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙන හැම අවස්ථාවකදීම සාමාන්‍ය ප්‍රශ්න කතා කරන්න ඉඩක් තිබුණේ නෑ. මේ හැම දවසෙම මේ රැස්වීම්වල කතා කළේ නායකත්වයේ ප්‍රශ්නය ගැන. මේ රැස්වීම් ගොඩක්දුරට කෙළවර වුණේ ගෝරියකින්. රනිල් විරෝධී පිරිස කියන්න පටන් ගත්තේ නායකත්වය වසරින් වසර තේරීමේ ක්‍රමයක් අවශ්‍යයි කියලා. යාවජීව නායකත්වයක් පිළිගන්න සූදානම් නෑ කියලා තමයි ඒ අය දිගටම කිව්වෙ. 


රනිල් වික්‍රමසිංහයන් මේ ප්‍රශ්නයේදී අනුගමනය කළේ දරදඬු ප්‍රතිපත්තියක්. ඔහු නම්‍යශීලී වුණෙත් නෑ. මේ ප්‍රශ්නය සමථයකට පත් කර ගන්න බැරි තැනකට තමයි ආවේ. මේ දෙපැත්ත පොදු එකඟතාවකට ගේන්න මම ජයවික්‍රම පෙරේරා, විජයදාස රාජපක්ෂ, ජෝෂප් මයිකල් පෙරේරා එහෙම ලොකු උත්සාහයක් ගත්තා. පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒ ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පියවරක් ගමු කියලා තමයි අපි යෝජනා කළේ. රනිල් විරෝධී පිරිසගේ මූලික යෝජනාව වුණේ පක්ෂ නායකත්වය යාවජීව පත්වීම වෙනුවට අවුරුද්දෙන් අවුරුද්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම හා මහා සම්මේලනයෙන් පත් කරගත යුතුයි කියලා. ඔවුන්ගේ තව ඉල්ලීමක් වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් බඳවා ගැනීමේදී පක්ෂ  නායකයත්වයට තියෙන බලතල සීමා කළ යුතුයි කියලා. ඒ වෙනුවට නිසි ක්‍රමවේදයකට මේ තෝරාගැනීම කළ යුතුයි කියලත් ඔවුන් කිව්වා. 


ඒ වගේම පක්ෂයේ සෙසු නිලයන් පත් කිරීමේදී පක්ෂයේ දේශපාලන කමිටුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ එකඟතාව අනුව පත් කළ යුතුයි කියන යෝජනාවත් ආවා. 


අපි මේ යෝජනා සියල්ල රනිල් වික්‍රමසිංහට දන්වලා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කළ යුතුයි කියලා දැනුම් දුන්නා. ඔහුත් මේකට ඒ වෙලාවේ එකඟ වුණා. 

ඊට පස්සේ අපි මේ සඳහා ජෝෂප් මයිකල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවත්, විජේදාස රාජපක්ෂ, දයා පැල්පොල එහෙමත් මේ ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ඇතුළත් වුණා. ඒ කමිටුවට අපි කාලය දුන්නා පක්ෂ නායකත්වයට එරෙහිව අදහස් දක්වන අයගෙ යෝජනාත් සලකා බලල කළ යුතු සංශෝධන මොනවද කියලා තීරණය කරන්න කියලා.


ජෝෂප් මයිකල් පෙරේරා, ප්‍රමුඛ මේ කමිටුව වරින් වර රනිල් විරෝධී පිලත් රනිල්ට පක්ෂ පිලත් හමුවෙලා සාකච්ඡා පවත්වලා මේ ව්‍යවස්ථා සංශෝධනය වෙන්න ඕන විදිය ගැන අදහස් එකතු කළා. අවසානයේදී මේ කමිටුව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කළා. මේක කෙටුම්පත් කිරීමේ ගෞරවය ඇත්තටම හිමිවෙන්න ඕනෑ විජේදාස රාජපක්ෂට. ඔහු මේකට ලොකු මැදිහත්වීමක් කළා. ඒකට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගණනාවක් ඇතුළත් වෙලා තිබුණා. ඊට පස්සේ මේ කෙටුම්පත අපි මහ සමුළුවට ඉදිරිපත් කළා. මහ සමුළුවේදී මේක ඒකමතිකව සම්මත වුණා. මේ ගැන පාක්ෂිකයන්ගෙන් ලොකු ප්‍රසාදයක් හිමිවුණා.


මේකෙන් පස්සේ 2011 වසරට පක්ෂයේ නව තනතුරුවලට සාමාජිකයින් පත් කළා. නායකත්වයට රනිල් පත්වුණා. සජිත් ප්‍රේමදාසත් ඒකට අකමැති වුණේ නෑ. සජිත් නියෝජ්‍ය නායක තනතුරට පත් වුණා. රුක්මන් සේනානායක උප නායක තනතුරට පත් කළා. ඊට කලින් රුක්මන් හිටියේ පක්ෂ සභාපති විදියට.


පක්ෂ සභාපති විදියට ජයවික්‍රම පෙරේරා පත්වුණා. මම මහ ලේකම් හැටියට වැඩ බාර ගත්තා. ඊළඟට ලොකුම ප්‍රශ්නය වුණේ  ජාතික සංවිධායක පත් කරන්න යාමේදී රනිල් වික්‍රමසිංහ දිගටම කිව්වේ ඒක රවී කරුණානායකට දෙන්න ඕන කියල. අනෙක් පිරිසගේ යෝජනාව වුණේ රංජිත් මද්දුමබණ්ඩාරට ඒ තනතුර දිය යුතුයි කියලා. 


මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදුණා. රනිල් බලෙන්ම වගේ රවී මේ තනතුරට පත් කළා. ඊට පස්සේ අනෙක් පිරිස මේකට විරුද්ධව උසාවි ගියා. උසාවිය තීරණයක් දෙනතුරු ජාතික සංවිධායක පත් කිරීම අත්හිටුවන තීන්දුව තමයි අධිකරණයෙන් ලැබුණේ. අපි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ගොඩනැගූ පක්ෂ එකමුතුව මේ සිදුවීමත් එක්ක ආපසු පළුදු වුණා. 

 

 

 

 

තව කොටසක් ලබන සතියට.

 

 

 

 

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි