1977 වසර වනතුරු ආණ්ඩු පක්ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා කොළඹට පැමිණිවිට ඔවුන්ට නතරවීම සඳහා ශ්‍රාවස්ති මන්දිරය වෙන්කර තිබුණේය. එහි එම පිරිසට නතරවීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයා තිබූ අතර ඒ වෙනුවෙන් අය කෙරුණේ ද ඒ කාලයේ හැටියට ඉතා සුළු මුදලකි.


කෙසේ වෙතත් එහි නවාතැන් පහසුකම් ලබාගත හැකි වූයේ දුර බැහැර ඡන්ද කොට්ඨාස නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට පමණි. කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට කොළඹ නගර සීමාව තුළ නිල නිවාස වෙන්කර තිබූ බැවින් ඔවුන්ට ශ්‍රාවස්තියේ නේවාසික පහසුකම් ලබා ගැනීමට නොහැකි විය.


එහෙත් 1977 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු බලය දිනාගත් ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහසුකම් සැපයීම සඳහා දැඩි උනන්දුවක් දැක්වූ අතර එතෙක් ශ්‍රාවස්තියේ නතර වී සිටි දුරබැහැර ප්‍රදේශ නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස තාවකාලිකව ලබා දී තිබුණේ ඊට අමතරව මාදිවෙල ප්‍රදේශයේ ඉඩමක මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹීමට ද හෙතෙම පියවර ගත්තේය.


මේ දිනවල උඩරට ප්‍රදේශයේ එක්තරා මන්ත්‍රීවරයෙකු සුපුරුදු පරිදි ශ්‍රාවස්තියේ නතර වී සිටි අතර 1980 වසරේ දී ඔහුට නියෝජ්‍ය ඇමැති ධුරයක් හිමි වූයෙන් ජාවත්තේ පිහිටි සමුළු නිවාසවලින් එකක් ඔහුට ද නිල නිවසක් ලෙස ලැබී තිබුණේය.


“ෂා.... මේ ගෙදර පංකාදුයි නේ....!” යි කියමින් ශ්‍රාවස්තියේ වාසය අතහැර දමා නව නිල නිවසට ගිය නියෝජ්‍ය ඇමැතිවරයාට එම නිවස එපා වීමට සතියකට වඩා කාලයක් ගත නොවීය.


“අපොයි මේ මොන කරුමයක් ද? ශ්‍රාවස්තිය මීට වඩා කොයි තරම් අපූරු ද?” යි තමාටම කියාගත් ඔහු තම නිල නිවාසය වසා දමා ශ්‍රාවස්තියේ සුපුරුදු කාමරයේ ලැගුම් ගත්තේය. ඔහුට එය වඩාත් පහසුවක් වූයේ ඒ වනවිටත් ශ්‍රාවස්තිය මන්ත්‍රී නේවාසිකාගාරයක් ලෙස පවත්වා ගෙන ගිය බැවිනි.
මේ කාලයේ ඔහුගේ අමාත්‍යංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් එක්තරා තරුණ නිලධාරියෙකු නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේය.


“කොහොමද මලයා උඹේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනවද?” යි නියෝජ්‍ය ඇමැතිවරයා ඇසූ හැම අවස්ථාවකදීම “කොහේ පාඩම් කරන්න ද සර්, අපේ චමරියේ කොල්ලො ටික හැමදාම රෑට බීගෙන බජව් දමනවා. උන්ට නින්ද ගියාට පස්සෙයි මට පාඩම් කරන්න වෙන්නේ.”යි කියමින් ගෝලයා නාහෙන් ඇඬුවේය.
තම පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියාගේ එම අඳෝනාව ඇසූ නියෝජ්‍ය ඇමැතිවරයාගේ හදවත උණු විය. විශේෂයෙන්ම ඊට හේතු වූයේ ඔහු ද ඉතා දුක් මහන්සි වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අයෙකු වූ බැවිනි.

 

“ඒ කියන්නෙ මලයා උඹට ඔය බෝඩිමේ දිගටම ඉන්න ගියොත් ඉගෙනීමක් කෙරෙන්නේ නෑ....?” යි කියමින් මඳක් නිහඬව සිටි නියෝජ්‍ය ඇමැතිතුමා ඊළඟට කියා සිටියේ ගෝලයාට සිතා ගැනීමට පවා අපහසු කරුණකි.

“හරි මලයා... අර සමිට් ප්ලැට් එකේ මට වෙන් කරපු නිල නිවාසෙ දිගටම වහල දාලනේ තියෙන්නේ. උඹ ගිහින් එතන නතර වෙයන්. එතකොට උඹේ බෝඩිං ගාස්තුවත් ඉතුරු වෙනවනේ”යි කී ඔහු තම නිල රියෙන්ම ගෝලයා කැඳවාගෙන ගොස් එහි නතර කළේය. තමන්ගේ නිල නිවස ගෝලයාට දුන් ඇමැතිතුමා ඉන්පසු කාලයක්ම ශ්‍රාවස්තියේ නතර වී සිටියේය.


මේ අතර දිනක් ඇමැතිතුමාට දුරබැහැර ප්‍රදේශයක පැවැති විවෘත කිරීමකට සහභාගි වීමට සිදුවිය. ඊට පසුදා පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් වූ බැවින් ඔහුට එදින අනිවාර්යෙන්ම කොළඹ ඒමට ද සිදුවී තිබුණේය. ආපසු එන අතරමග දී දැඩි වර්ෂාවකට මැදිවූ ඇමැතිවරයා එදින කොළඹට පැමිණෙනවිට මැදියම් රැය ද පසුවෙමින් තිබුණේය.
“මේ වෙලාවෙ ශ්‍රාවස්තියට යන එක අනිත් අයට කරදරයක්...!” තමාටම කියාගත් නියෝජ්‍ය ඇමැතිතුමා කැප්පෙටිපොළ මාවතේ පිහිටි තම නිල නිවාසය වෙත යන්නැයි රියැදුරන්ට උපදෙස් දුන්නේය. ඒ වන විට මැදියම් රැයත් පසුවී තිබුණෙන් ඇමැතිවරයා පසුවූයේ දැඩි නිදිමතකිනි.


එහෙයින් ඔහුට අවශ්‍ය වූයේ හැකිතාක් ඉක්මනින් ඇඳට වැටී හොඳ නින්දක් ගැසීමටය.


රියැදුරා නිල නිවාසය අසල රිය නතර කළ පසු ඇමැතිවරයා රියෙන් බසිනවිටම දෙතුන් දෙනෙකු තාලය වරද්දමින් ගීත ගායනා කරන හඬක් ගෙතුළින් ඇසුණි. ඒ අවට පිහිටි හැම මන්ත්‍රී නිවාසයකම පාහේ විදුලි බුබුළු නිවාදමා තිබුණෙන් එම ගී හඬ නික්මෙන්නේ තම නිල නිවස තුළින් බව හෙතෙම එසැණින් වටහා ගත්තේය.


මේ අතර නියෝජ්‍ය ඇමැතිතුමාගේ රියැදුරා ලොක්කාගේ නිවසේ සීනුව නාද කිරීමෙන් පමණක් නොනැවතී ඉදිරිපස දොරට ද කීප වරක්ම තඩි බෑවේය.
එසැණින් ගෙතුළෙන් ඇසුණු ගී හඬ මඳක් අඩු වූ අතර බාගෙට ඇරුණු දොරෙන් එළියට හිස දමා බැලූ නාඳුනන පුද්ගලයෙක් “ඇයි කවුරු හම්බ වෙන්නද?” යි ඇසුවේ තරමක නොරිස්සුම් හඬකිනි. ඔහු වෙතින් නික්මුණු සැර මත්පැන් ගඳ ජීවිතයේ කිසිම දිනෙක මත්පැන් බී නැති නියෝජ්‍ය ඇමැතිවරයාගේ ඉහ මොළ සිසාරා ගියේය.
“කෝ අපේ පී.ආර්.ඕ. මහත්තයා ඉන්නව ද?”


නියෝජ්‍ය ඇමැතිවරයා එලෙස තම ගෝලයා ගැන විමසද්දී අද එයා ගමේ ගිහින් හෙට මිනිස්ටි්‍රයට ගිහින් හම්බවෙනවා යි කී එම පුද්ගලයා  ‘දඩා...ස්’ ගා දොර වසා දැමුවේය.
තමන්ගේ පරිහරණය සඳහා රජයෙන් ලැබුණු නිල නිවාසයේ දොර එලෙස තමන්ට වැසී යද්දී නියෝජ්‍ය ඇමැතිවරයාට සිදුවූයේ අවිස්සාවේල්ලටත් එහායින් පිහිටි තම බාල සොහොයුරියගේ නිවසට ගොස් පැයක් හමාරක් නිදා ගැනීමටය. 


තම නියෝජ්‍ය ඇමැතිතුමාගේ කාරුණිකත්වය මත ඔහුගේ නිල නිවසේ නතරවීමෙන් නොනැවතී එහි තම මිතුරන් සමග චමරියක් දමාගෙන සිටි ඇමැති ගෝලයාට ඊට පසුදා සිටම එම නිවසෙන් ඉවත්ව යාමට සිදුවීම එම ක්‍රියාදාමයේ ඊළඟ ප්‍රතිඵලය විය. කෙසේ වෙතත් එම නිසා ඔහුගේ රැකියාවට කිසිදු අගතියක් නොකිරීමට ද නියෝජ්‍ය ඇමැතිවරයා වග බලාගෙන තිබුණි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි