2001 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කළේය. ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රීධූර 13ත් සමඟ එම පක්‍ෂයට ලැබුණු මන්ත්‍රීධූර සංඛ්‍යාව 109 කි. 1994 සහ 2000 මහ මැතිවරණවලින් ජයගෙන සිටි පොදුජන එක්සත් පෙරමුණට එවර හිමි වූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 77කට සීමා වී තිබුණේය.


එලෙස එ.ජා.පෙට ආණ්ඩුබලය හිමිවූවද රටේ විධායක බලතල රැදී තිබුණේ චන්ද්‍රිකා ජනාධිපතිනිය අතය. ඒ අනුව රටේ විධායක බලයත්, ව්‍යවස්ථාදායක බලයත් පාර්ශව දෙකක් අතර බෙදී ගියේය.


1994 දී ද එලෙස විධායක සහ ව්‍යවස්ථාදායකය දෙපාර්ශවයක් අතර බෙදී තිබුණත් එය සීමා වූයේ සුළු කාලයකටය. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා මැතිනිය ජයග්‍රහණය කළ බැවින් ඉතා සුළු කාලයකට පමණක් සීමා වූ එම අවදානම් සහගත තත්ත්වය ද සුබවාදී ලෙස විස ඳී ගියේය.


එසේ වූවද 2001 මහ මැතිවරණයෙන් පසු උදා වූ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගෙන තිබුණේය. එසේ වූයේ එවර විධායක බලය දැරූ චන්ද්‍රිකා ජනාධිපතිනිය විජේතුංග ජනාධිපතිවරයාට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ බැවිණි.


“දැන් ඉතින් පටන් ගැනිල්ලෙ ඉදලම ගිනිකෙළි තමයි”යි කී වැඩි දෙනෙකු උපකල්පනය කළේ පොදු ජන එක්සත් පෙරමුණෙන් පත් වු ජනාධිපතිනියත්, එක්සත් ජාතික පෙරමුණෙන් පත් වූ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර ආරම්භයේ සිටම ගැටුම් ඇතිවීමට ඉඩ තිබෙන බවය.


“හැබැයි මුලදී නං එහෙම දෙයක් වුණේ නෑ. කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී වගේම රටේ සාමාන්‍ය පාලන කටයුතුවලදීත් ජනාධිපතිතුමියයි, අගමැතිතුමයි ඉතාමත් සහයෝගයෙන් සහ අන්‍යොනය අවබෝධයකින් යුතුව කටයුතු කරන බවක් පෙනුණා. වෙන එකක් තියා රටේ රාජ්‍ය නායකත්වය යටතේ තිබිය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් කර තිබෙන ආරක්‍ෂක අමාත්‍යංශය පවා චන්ද්‍රිකා මැතිනිය එක්සත් ජාතික පක්‍ෂයට පවරා දුන්නා... යි” කියන හිටපු අගමැතිවරයෙකු සහ ඇමැතිවරයෙකු වන ආචාර්ය දි. මූ. ජයරත්න මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව ආරක්‍ෂක ඇමැතිවරයා වශයෙන් තිලක් මාරපන මහතාත්, අභ්‍යන්තර ආරක්‍ෂක ඇමැතිවරයා වශයෙන් ජෝන් අමරතුංග මහතාත් පත් කෙරුණු බවය.


බහුතර මහජන කැමැත්ත මත පත් වූ නව ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර ගැනීමට තිබූ අකමැත්ත නිසාම ඇය එවැනි ක්‍රියා මාර්ගයක් ගන්නට ඇතැයි හෙතෙම පවසයි. 


එහෙත් කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී දෙපාර්ශවය අතර මුලින් පැවැති සුහදත්වය කිසිවකුත් නොසිතූ පරිදි වියැකී ගියේය. එසේ වූයේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරුන් කීපදෙනෙකු ජනාධිපතිනියගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන අයුරින් ඇමැති මණ්ඩල සාකච්ඡාවේ දී විවිධ ප්‍රකෝපකාරි ප්‍රකාශ කිරීමට පෙළඹී ගිය බැවිනි.


සාමාන්‍යයෙන් චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති මංදිරයේ පැවැත්වෙන ඇමැති මණ්ඩල සාකච්ඡාවලට පැමිණෙන්නේ තම ‘හෑන්ඞ් බෑගය’ ද රැගෙනය. ඇයගේ සුපුරුදු සිරිත වී තිබුණේ තම ‘හෑන්ඞ් බෑගය’ මේසය උඩින් තබා ඇමැති මණ්ඩල සාකච්ඡාවට සහභාගි වීමය.


“අතිගරු ජනාධිපතිතුමිය තමන්ගේ හෑන්ඞ් බෑග් එකේ ටේප් රෙකෝඩර් එකක් දමාගෙන ඇවිත් අපේ කතා ටේප් කරනවා යි දිනක් රවි කරුණානායක මහතා විහිළුවට මෙන් කීවේය. ඒ ඇසූ එස්. බී. දිසානායක සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙදෙනාම කියා සිටියේ එම ‘හෑන්ඞ් බෑගයේ’ සූක්‍ෂම කැමරාවක් ද සඟවා ගෙන සිටින බවය.


රජයට පක්‍ෂපාතී ඇතැම් මාධ්‍යකරුවෝ එම විහිළු කතාව එකට හත කරමින් එම සූක්‍ෂම කැමරාව සහ පටිගත කිරීමේ යන්ත්‍රය ජනාධිපතිනිය වෙත ලබාදී ඇත්තේ එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු විසින් යැයි තම දේශපාලන ඕපාදූප තීරුවල සඳහන් කර තිබුණහ. අන්තිමේ දී ඇමැතිවරුන්ගේ එම විහිළුව බොහෝ දුර දිග ගියේය.


එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ රවී, රාජිත සහ එස්. බී. වැනි ජනාධිපතිනිය සමඟ යම් කෝන්තරයකින් පසුවූ ඇමැතිවරුන් ඇමැති මණ්ඩල සාකච්ඡාව පැවැත්වෙන අතරතුර පවා ඇයට ඇනුම්පද කීමය. එවැනි බොහෝ අවස්ථාවල දී ජනාධිපතිනිය ද ඔවුන් සමඟ කටගසා ගෙන ගියාය. එකී බහින් බස් වීම් බොහෝ විට සිදුවූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. එවැනි බහින්බස්වීම් සිදුවන බොහොමයක් අවස්ථාවල දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිහඬව අසා සිටින බවක් ඒ දිනවල සති අන්ත පුවත්පත්වල පළ වී තිබුණි. ඒ සියලුම දෑ සැලසුම් සහගත ක්‍රියාවන් බව පොදු පෙරමුණේ ඇතැම් ප්‍රබලයන්ගේ අදහස විය.

 

මේ කාලය වන විට ආණ්ඩුවත්, කොටි සංවිධානයත් අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කර තිබුණ ද, කොටින් අවස්ථා කීපයකදීම ඒක පාර්ශ්විකව එම සටන් විරාම කොන්දේසි කඩකර තිබුණේය. දෙපාර්ශ්වය අතර අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුමට අනුව රටපුරා පැවැති මාර්ග බාධක රජය මගින් ඉවත්කර ගෙන තිබුණේත් කොටි සංවිධානයට අයත් විනාශකාරී අවි ආයුධ කිසිදු පරීක්‍ෂාවකින් තොරව දකුණට ගෙනැවුත් රහසිගතව සඟවන ලද්දේ ප්‍රභාකරන්ගේ උපදෙස් පරිදිය.


කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද බුරුතු පිටින් දකුණට පැමිණ ස්ථානගතව සිටියේ සුදුසු අවස්ථාවක් එළඹෙනතුරුය. මේ අතර සුනිල් තාබෲ මුතාලිප් වැනි අති දක්‍ෂ ආරක්‍ෂක නිලධාරින්ට කොටින්ගේ රුදුරු වෙඩි උණ්ඩයට ලක්ව අකාලයේ මැරු වැළඳ ගැනීමට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.


මේ කාලය තුළ නෝර්වේ රාජ්‍යයේ මෙහෙයවීමෙන් ඔස්ලෝ නගරයේ දී කොටි සංවිධානයත්, ආණ්ඩුවේ පාර්ශ්වයත් අතර පැවැති සාම සාකච්ඡාද බිඳ වැටෙමින් තිබුණේය. එය මුළුමනින්ම කොටින්ගේ ඇස්බැන්දුමක් බව මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස විය. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම එම මායාවේ එල්ලී ගෙන සිටියේය.


මෙම තත්ත්වය තව දුරටත් පැවතුණ හොත් තමන්ට දැඩි පියවරක් ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේදී ජනාධිපතිනිය අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළ බව දීමූට මතකය. මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සමුළුවකට සහභාගි වීම සඳහා එතෙර ගොස් සිටියේය. මේ වන විට ආණ්ඩුවේ ඇමැතිවරුන් අතරින් දෙතුන් දෙනෙකුගෙන් ජනාධිපතිනියට එල්ල වූ තර්ජන ගර්ජන සහ අපහාස කිරීම් ද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබුණේය.


“මං හිතන්නේ චන්ද්‍රිකා මැතිනියගෙත් ඉවසීමේ සීමාව පැන්නා...යි කියන දි. මු. ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ 2003 නොවැම්බර් මස 5 වැනිදා එතුමිය එක්තරා තීරණාත්මක තීන්දුවක් ගත් බවය. 


ඒ අනුව ඇය ආණ්ඩුවේ මුල් පෙළේ අමාත්‍යාංශ තුනක් ඒවායේ ඇමැතිවරුන් ඉවත් කර තමන් වෙත පවරා ගත්තාය.


මෙරට විධායක ජනාධිපතිනිය වශයෙන් තමන් සතු බලතල ක්‍රියාත්මක කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය, අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ජනසන්නිවේදන, තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යංශය තමන් යටතට පවරාගත් ජනාධිපතිනිය දි. මු. ජයරත්න සහ ලක්‍ෂ්මන් කදිරගාමර් යන මහත්වරුන්ට වහාම පැමිණ තමන් හමුවන ලෙස දැනුම් දුන්නාය. එම පණිවුඩය ලැබෙන විටත් දිමූ සිටියේ ගම්පොළ දොළුවේ පිහිටි තම මහ ගෙදරට වී පුවත්පතක් කියවමිනි. 


“මොකද..... දන්නෙ නෑ. මට එන්න කියල තියෙන්නේ?” යි තමාගෙන්ම අසාගත් ඔහු ඒ මොහොතේම කොළඹට පැමිණ රජගෙදරට ගියේය. ඔහු එහි යනවිට ඇය සිටියේ මගබලා ගෙනය. හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඒ වන විටත් එහි පැමිණ සිටියේය.


“මම ඔය දෙන්නට එන්න කිව්වේ වැදගත් වැඩකට. දන්නවනේ මම ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් පවරා ගත්තා. මම ඔය ගොල්ලන්ට එන්න කිව්වේ ඒ අමාත්‍යංශ දෙකක ඇමැතිවරුන් හැටියට පත් කරන්නයි.


එසේ කී චන්ද්‍රිකා ජනාධිපතිනිය ඒ වන විටත් සූදානම් කර තිබූ ඊට අදාළ පත්වීම් ලිපි භාර දෙන විට දිමූටත්, කදීර්ටත් උඩබිම බැලුණේ ඉබේටමය. කෙසේ වෙතත් එම දෙපළ තමන්ගේ ඇමැතිධූරවලට අයත් පත්වීම් ලිපි භාරගනු ලැබූවද මොනම හේතුවක් නිසාවත් එම අමාත්‍යාංශ කාර්යාල වෙත නොයාමට ඒ මොහොතේම සිතට ගෙන තිබුණහ.


එම සිද්ධිය මෙරට දේශපාලන ඉතිහාසයට එක් වී ඇත්තේ තම පක්‍ෂයට අයත් නොවන ආණ්ඩුවක ඇමැතිධූර සඳහා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ආණ්ඩුවේ කැමැත්ත පිළිබඳව නොසලකා පත්කළ ප්‍රථම සහ එකම අවස්ථාව වශයෙනි.


“හැබැයි ඉතින් ජනාධිපතිතුමිය ඒ දිනවලම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඒ ප්‍රශ්නය දුරදිග නොගිහින් බේරුණා. එහෙම නොවුණ නම් කැබිනට් සාකච්ඡාවේදී අපි දෙන්නට ගුටි කන්නයි සිද්ධ වෙන්න තිබුණේ...” යි කියන දිමූට අදටත් එම සිද්ධිය මතකයට නැගෙන විට මුවගට සිනා රැල්ලක් නැගෙන්නේ ඉබේටමය.

 

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර