1965 මාර්තු 22 වැනි දින පැවැති හයවැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එ.ජා. පක්‍ෂය පක්‍ෂ ගණනාවක් එකතු කර ගනිමින්  ආණ්ඩුවක්  බිහිකළ අතර එම ආණ්ඩුවේ සම්පූර්ණ නිලකාලය අවසන් කර 1970 මාර්තු 25 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.


මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය 1968 ජුනි 05 වැනි දින සභාග රජයක් පිහිටුවීමට ඇති කර ගන්නා ලද සම්මුතිය අනුව 1970 මැයි 27 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේ තුනෙන් දෙකක බලයක්ද සමගිනි. 


ආසන 151 න් එකසිය දහසයක් සභාග ආණ්ඩුවට හිමිවූ අතර 1970 මැයි 29 වැනි දින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර රටේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ආචාර්ය පදවි දෙකක් (ඩබල් ඩොක්ටර්) හිමිවූ ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 
මෙරට ව්‍යාපාරික ලෝකය සසල කරමින් පීඩිත ජනතාවගේ අපේක්‍ෂාවන් උද්දීපනය කිරීමට මෙම පත්වීම හේතු විය. හත්වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 1970 ජුනි 14 දින උත්සවාකාරයෙන් ඇරඹුණ අතර ප්‍රථම අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කරනු ලැබුවේ 1970 ඔක්තෝබර් 25 වන දින දී ය.


කම්කරු නායකයකු ලෙස ඇන්. ඇම්. පෙරේරා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ ඉල්ලීම් 21 ලබාගැන්මට අනවරත අරගලයක යෙදී සිටි පුද්ගලයෙකු නිසාත් ඒ වෙනුවෙන් පිකටින් පෙළපාළි වර්ජන රැල්ලකට නායකත්වය දුන් අයකු නිසාත් ඇන්. ඇම්. ගේ පළමු අයවැයට කාගේත් නෙත් සිත් යොමුවිය.


නමුත් අය - වැය ඉදිරිපත් කළ පසු බාහිරින් පෙනුණු වැදගත්ම යෝජනා වූයේ සංසරණයේ පවතින රුපියල් 50 හා 100/= නෝට්ටු (එවකට ඉහළම මුදල් නෝට්ටු දෙක) අවලංගු කිරීමේ යෝජනාව පමණි. ඉල්ලීම් 21 ලබාදීම පිළිබඳව කිසිදු සඳහනක් නොවීය.  


කවුරු මුදල් ඇමති වුවද අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ විට ඒ පිළිබඳව හදාරා පසුදා විශේෂ දේශනයක් පැවැත්වීම ඇන්. ඇම්. පෙරේරාගේ (ලංකා සම සමාජ පක්‍ෂයේ) පුරුද්දක් විය. ඒ වෙනුවෙන් සැමවිටම මෙන් යොදාගනු ලැබුවේ කොළඹ නවනගර ශාලාවයි. ඒ මගින් අය-වැයක අභ්‍යන්තරයේ පවතින කරුණු සරල බසින් ඉදිරිපත් කිරීම සිදුවිය. ඒ අනුව තමන් ඉදිරිපත් කළ අයවැය පිළිබඳව කරුණු දැක්වීමටද පසුදා නවනගර ශාලාවේදී විශේෂ දේශනය සංවිධානය කරන ලදී. අයවැය ලේඛන පිළිබඳ කරුණු දැක්වීමේදී ආචාර්ය, මහාචාර්ය උගතුන් නායකත්වය ගත්තත් ඇන්. ඇම්. ගේ දේශනය ඇසීමට කම්කරු ජනතාව විශාල වශයෙන් එක්රැස් විය. විශේෂයෙන් වරාය කම්කරුවන් ඇතුළු අතිමහත් කම්කරු ජනතාවක් අවශේෂ ජනතාවගෙනුත් නව නගර ශාලාව අතුරු සිදුරු නැතිව පිරී පැවතුණි. ඉදිරිපත් කළ අයවැය පිළිබඳ  මූලික කරුණු හා එහි බලපෑම් පිළිබඳව ඉතා හරවත්ව ඇන්. ඇම්. පැහැදිලි කර දුන් අතර විශේෂයෙන් 50/- හා 100/- නෝට්ටු අවලංගු කර නව නෝට්ටු නිකුත් කිරීම පිළිබඳ වූ නවමු වැඩසටහන විශේෂයෙන් පැහැදිලි කරන ලදි. බැංකුවල තැන්පත් නොකර නෝට්ටු වශයෙන් සඟවාගෙන තිබූ ධනවතුන් සතු මුදල් එළියට ගැනීම මෙහි ප්‍රධාන අරමුණ  වූ අතර ඒවා සඳහා බදු අයකිරීම තවත් අරමුණක් විය. සියලු නෝට්ටු වෙනුවෙන් නව මුදල් නෝට්ටු ළඟම ඇති බැංකුවෙන් මාරුකර ගන්නා ලෙස උපදෙස් දුන් අතර බුලත්විට විකුණන කෙනෙක් වුවද තමන් සතු වූ 50/- හා 100/- නෝට්ටු රැගෙන බැංකුවට ගොස් ඒවා බැංකුවට භාරදී තමාගේ බව සඳහන් කර නව නෝට්ටු රැගෙන ආ යුතු විය. මේ තුළින් ඇන්. ඇම්. බලාපොරොත්තු වූ අනෙක් කරුණු වූයේ ධනපතීන්ගේ ආයතනයන් ලෙස හැඳින්වූ බැංකුවලට සාමාන්‍ය ජනතාව ද ආකර්ෂණය කිරීමට අවස්ථාව උදාකර ගැනීමයි.


මේ සියලු පැහැදිලි කිරීම්වලින් පසුව ප්‍රශ්න ඇසීමේ වාරය ඇන්. ඇම්. සභාවට ලබාදුන්නේය. ක්‍ෂණිකව නැගී සිටි වරාය කම්කරුවකු තමා ගැන හඳුන්වා දී මෙසේ ඇසීය. ‘සහෝදරයා කම්කරු පංතියේ ඉල්ලීම් 21ක් පිළිබඳ අවුරුදු ගණනාවක් තිස්සේ උගුර ලේ රහ වෙනකම් කතා කළා. පෙළපාළි ගියා. පිකටිං කළා. ස්ට්‍රයික් කළා. අපිව ධනපති ආණ්ඩුවලට විරුද්ධව මෙහෙයවූවා. ඇයි සහෝදරයා ඒ ඉල්ලීම් 21 ගැන කම්කරුවන්ට ලබාදෙන වරප්‍රසාද ගැන අය වැයේ සඳහන් නොකළේ.’


ඇන්. ඇම්. ඉතා සංසුන්ව සුහද ලෙසින් නැගී සිට ‘සහෝදරයා මම ධනපති ආණ්ඩුවලින් ඉල්ලීම් 21 ඉල්ලා සටන් කළා. ඇත්ත තමයි! අද අප වමේ බලවේග ශ්‍රී.ල.නි පක්‍ෂය සමග එකතු වී නව සභාගයක් තුළින් සමාජවාදි රටක් ගොඩනැගීමේ ක්‍රියාදාමයක නිරතවෙලයි ඉන්නේ. සහෝදරයා කියන විදිහට මට පවතින “දුර්වල ආර්ථිකය”  නමැති කේක් ගෙඩිය එක් එක් පුද්ගලයාට පංගු කර දෙන්න පුළුවන්. ඒ ලැබෙන පංගුව ඉතා කුඩයි. සහෝදරයා දැන් මේ කේක් ගෙඩිය ලොකු කරන අවස්ථා උදාවෙලා තියෙන්නේ. මේක අපි එක්කොට එකතුවෙලා ලොකු කරමු. කේක් ගෙඩිය ලොකු කළොත් අපිට ලොකු කොටසක් ඉදිරියේදි  බුක්ති විඳින්න පුළුවන් වෙයි. මගේ අයවැය ඒ කේක් ගෙඩිය ලොකු කරන්නත් උදව් කරන එකක්. ඒ සඳහා සහෝදරයත් උදව් කරන්න. ඇන්. ඇම්. ගේ මේ පිළිතුර  හමුවේ සියලු දෙනා නිශ්ශබ්ද වූයේ එම අදහස ඉත සිතින් අනුමත කරමිනි. එම පිළිතුර අවසන්වත්ම තවත් කම්කරුවෙක් නැගී සිට මෙසේ ප්‍රකාශ කළේය. 


‘සහෝදරයා මගේ පඩිය හැමදාම රේස් ඔට්ටු දාලා ඉවරවෙනව. ගෙදරට, ගෑනිට, දරුවන්ට ගෙනියන්න දෙයක් ඉතුරු වෙන්නෑ. මට රේස් ඔට්ටු දැමිල්ල නවත්ව ගන්නත් බෑ. මම හිතුවා මේ නීතිවිරෝධි සමාජ විරෝධි රේස් බුකි මේ අයවැයෙන්වත් සහෝදරයා තහනම් කරයි කියලා. රේස් ඔට්ටු හොඳ සමාජයකට අවශ්‍ය නෑ. මම කැමැත්තෙන් හිටියා සහෝදරය මේ සමාජය ගොඩනගන්න රේස් ඔට්ටු, බුකි තහනම් කරයි කියලා කෝ ඒක කළේ නෑනේ. ඒ වෙනුවට රේස් බුකි වලින් බදු අරගෙන ඒවා නීත්‍යානුකූල කරලා මොකක්ද සහෝදරයා මේ කරපු වැඬේ’


ඇන්. ඇම්. සිනාසී ප්‍රශ්නය ඇසූ සහෝදරයාට මෙසේ පිළිතුරු දුන්නේය. ‘සහෝදරයා රේස් ඔට්ටු ඇල්ලීම තහනම් කරන්න කියනව. රේස් ඔට්ටු නීතියෙන් තහනම් කරල නවත්වන්න පුළුවන්. දෙයක්ද? මගේ යාළුවෙක් ඉන්නවා මිනිහා හවසට තවත් යාළුවෙක් එක්ක වත්තෙ බංකුව උඩ වාඩිවෙලා මුදල් ඔට්ටු දානව. මොකක්ද ඔට්ටුව.. අර ගසේ වහල ඉන්න කපුටා විනාඩි දෙකක් ඇතුළත ඉගිලෙයිද නැද්ද? දෙන්න මුදල් දාල බලා ඉන්නව. විනාඩි දෙකෙන් ඉගිලුනොත් එක්කෙනෙක් දිනනව. එක්කෙනෙක් පරදිනව ඒ වගේ සහෝදරයා මට රේස් ඔට්ටු තහනම් කරන්න  පුළුවන්. නමුත් නවත්තගන්න බෑ. තමතමන් හිත හදාගන්න ඕනෑ ඔට්ටු නොදාන්න. මම කළේ මගේ අය වැය පියවා ගන්න ලක්‍ෂ කෝටි ගණන් මුදල් ගැවසෙන රේස් ඔට්ටුවලට බද්දක් දැමීම  පමණයි. ඒ තුළින් ඒ ඔට්ටුවලට ගැවසෙන මුදල් කන්දරාවෙන් කොටසක් බදු වශයෙන් මම ගත්තා. ඔවුන් අතේ ගැවසෙන සල්ලි රටේ යහපතට මම ගත්තහම ඇති වැරැද්ද මොකක්ද?’ එම පිළිතුරෙන් කම්කරුවා නිහඬ කිරීමට හැකි වූවා පමණක් නොව ඉදිරියේදී රේස් නොදාන බවටද ඔහු ඇන්. ඇම්. ට සහතික විය.

 

 

 

 

 

 

බණ්ඩාරගම සමරසේන මුදලිගේ