1931 පටන්ම විවිධ ජාතීන්ගෙන් ජනාකීර්ණ වූ මැද කොළඹ ආසනය රජයේ හා පෞද්ගලික අති ප්‍රධාන ස්ථාන කිහිපයකින් සමන්විත වූ අතර වෙළෙඳ ක්ෂේත්‍රයෙහිද මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් විය.


විවිධ ජනකොටස් මධ්‍යයේ කම්කරු පන්තියේ බහුතරයක් ද මැදකොළඹ නිජබිම කරගෙන සිටි අතර මොවුන්ගෙන් සැලකිය යුතු කොටසක් ප්‍රසිද්ධ කාණු ආශ්‍රිතව අටවා ගත් පැල්පත් හා මුඩුක්කුවල දවසැරියේ සාමාන්‍ය පවුල්වලට පවා තිබූ ජල හා වැසිකිළි පහසුකම්ද ක්‍රමවත්ව හා අවශ්‍ය පරිදි නොමැතිවය. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ශාපයක් බවට මේ තත්ත්වය පත් වෙමින් තිබෙන උසස් විදුහල් කිහිපයක්ම මෙහි පැවැති නමුත්, සාමාන්‍ය හෝ කම්කරු දරුවන්ට ඒවායින් අධ්‍යාපනය ලැබීමට තරම් වරම් නොවීය. මේ අනුව වීදි දරුවන්ගේ සංඛ්‍යාවද ඉහළ විය.


1931 දී පවත්වන ලද රාජ්‍ය සභා මැතිවරණයේදී ප්‍රදේශයේ දළ කාරයන් වූ ටී. බී. ඡයා, පී. ජීවේන්ද්‍රසිංහ පරදවා වැඩි ඡන්ද 5000 කට වඩා ලබමින් ජයග්‍රහණය කිරීමට කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ සමත් විය.
උතුරු කොළඹ ඡන්ද පෙත්සමෙන් ආසනය අහිමිවූ තම මස්සිනා වූ ජෝශප් සිල්වාට ආධාර හා අනුබල දුන්නැයි චෝදනා ලැබූ ඒ. ඊ. ගුණසිංහට මන්ත්‍රී පදවිය අහෝසි වීමෙන් පසු මැද කොළඹ ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රබල අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.


මෙම කාලය වන විට දෙවැනි ලෝක සංග්‍රාමයේ අඳුරු සෙවනැලි මුළු ලොව මෙන්ම ලංකාවෙන් පැතිරී යෑමත් අනතුරුව ජපන් බෝම්බ ප්‍රහාරයකට ද කොළඹ නගරය ලක්වීමත් හේතුවෙන් පුරවැසියන් මෙන්ම ඉන්දියානුවන් වැනි වෙනත් ජාතීන් ද නගරය අතහැර යෑමෙන් මුළු ප්‍රදේශයම යකුන් නැටූ පිට්ටනියක් බවට පත්ව තිබිණ. අතුරු මැතිවරණයකට මෙය ඉතා තදින් බලපෑ අතර ඡන්ද දායකයන් බහුතරයක් කොළඹ හැරයෑම නිසා ඡන්ද ප්‍රකාශය ද ඉතා අල්ප විය.


ටී. බී. ජයාගේ උදව් ඇතුව ඇම්. සී. ඇම්. කලීල් ද ඒ.ඊ. ගුණසිංහගෙන් වෙන්වූ පී. ජිවේන්ද්‍රසිංහ ද ඉදිරිපත් වූ මෙම තරගයට රිච්මන්ඞ් ධර්මසේන, රඹුක්කන එන්. එච්. කීර්තිරත්න, රෝලන්ඞ් ඊ. පෙරේරාද එක්ව සිටියහ.
එදා 38,000 ක් පමණ වූ ඡන්ද දායකයන්ගෙන් ඡන්දය දීමට පැමිණ සිටියේ 10,000 කට ආසන්න සංඛ්‍යාවකි. මෙම අතුරු මැතිවරණයෙන් දොස්තර ඇම්. සී. ඇම්. කලීල් ජය ලබා ගත්තේය.


1939 සිට 1945 දක්වා වූ කාල සීමාව තුළ පැවැති දෙවැනි ලෝක යුද්ධයේ උණුසුමෙන් තැවි තැවී උන් ජනතාවට සූරියමල් ව්‍යාපාරය පාදක කරගෙන ජන මෙහෙවරක යෙදුණු වාමාංශික ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් හිස එසවීම නිසාත් ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය කොළඹ නගර සභාවට තරගකොට ආසන දෙක තුනක් දිනා ගැනීම නිසාත් රටේ දේශපාලන වාතාවරණය සැලකියයුතු අන්දමින් වෙනස් වීමකට තුඩුදෙන ප්‍රවණතාවක් පැවතුණි.


රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවැති 50 කින් යුත් මන්ත්‍රී සංඛ්‍යාව 1947 දී ඡන්දයෙන් පත්වන 95 කින් හා ආණ්ඩුකාරයා පත් කරන 06 කින් යුක්තව සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාව 101ක් බවට පත් කෙරිණ.


ඡන්ද කොට්ඨාස යළි නිර්ණය කිරීමේදී මැද කොළඹ බහු ආසනයක් බවට පත්වී මන්ත්‍රීන් තිදෙනකුගේ නියෝජනයක් සහිත විය.


මේ අනුව 1947 පළමුවන පාර්ලිමේන්තු මන්ත්‍රී තරගයට එක්සත් ජාතික පක්ෂයෙන් ටී. බී. ජයාත්, කම්කරු පක්ෂයෙන් ඒ.ඊ. ගුණසිංහත්, කොමියුනිස්ට් පක්ෂයෙන් පීටර් කේනමනුත් ලංකා සමසමාජ පක්ෂයෙන් ඩබ්ලිව්. ඒ. පෙරේරාත් ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙකුත් ඉදිරිපත් වූහ.


මැතිවරණ ප්‍රතිඵලය වූයේ පිළිවෙළින් ඒ. ඊ. ගුණසිංහ, ටී. බී. ජයා හා පීටර් කෙනමන් 01.02.03 මන්ත්‍රීන් වශයෙන් තේරී පත්වීමය. 1950 දී ටී. බී. ජයා පාකිස්තානයේ ලංකා මහ කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබ යෑම හේතුවෙන් මැද කොළඹ හිස්වූ 02 වන ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය.


1940 දී ආරම්භ කළ ජන ශක්තිය නමැති පුවත් පතින් 1946 දී පමණ බි්‍රතාන්‍යය රජයට පහර ගැසීම හේතුවෙන් එම පුවත්පත අයිතිකාර කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහට සිර දඬුවම් විඳීමට සිදුවිය.


මැද කොළඹ අතුරු මැතිවරණ සමයේ එයින් නිදහස ලැබූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මැද කොළඹ හිස්වූ ආසනය සඳහා තරග කිරීමට ඉදිරිපත්වූ අතර සෙසු අපේක්ෂකයින් වූයේ එක්සත් ජාතික පක්ෂයේ දොස්තර එම්. සී. එම්. කලීල්, ලංකා සම සමාජ පක්ෂයේ ඇම්. ඇස්. අබුබකර් ය. මෙම අතුරු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ දොස්තර එම්. සී. එම්. කලීල් ජයග්‍රහණය කළේය.


1952 පැවැති දෙවැනි මහ මැතිවරණයේදී ඉතා උණුසුම් තත්ත්වයක් පැවැති අතර කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් වැඩි ඡන්ද 6699 කින් පළමුවන මන්ත්‍රී වශයෙන්ද එක්සත් ජාතික පක්ෂයේ දොස්තර එම්. සී. එම්. කලීල් වැඩි ඡන්ද 736 කින් දෙවන මන්ත්‍රී වශයෙන්ද ස්වාධීන අපේක්ෂක සර් රසික් ෆරීඞ් වැඩි ඡන්ද 5068 කින් තුන්වන මන්ත්‍රී වශයෙන්ද තේරී පත්වූහ.


1931 සිට 1947 දක්වාම මන්ත්‍රී පදවිය හෙබවූ ඒ. ඊ. ගුණසිංහට හිමිවූයේ සිව්වැනි තැනය. 1947 රජයේ උප ඇමැති පදවියක් හා පසුව කාර්ය නියමයක් නැති ඇමැති පදවියකට පත්වූ ඒ. ඊ. ගුණසිංහ බුරුමයේ ලංකා තානාපති පදවියට පත්විය.


1956 මහ මැතිවරණ කාලසීමාවේදී බුරුමයේ සිට යළිත් ලංකාවට පැමිණ ඒ. ඊ. ගුණසිංහ, ප්‍රබල දේශපාලන පක්ෂවල දළ කාරයන් සමඟ කරට කර හැප්පී කළ සටන්වලින් ලබා තිබූ පරිණත භාවයට දෛවයේ සරදමක් වශයෙන් මෙම කම්කරු නායකයාට අභියෝගයක් වූයේ කම්කරු පන්තියේ තැපැල් සේවකයෙකුවූ ඇම්. ඇස්. තේමිස්ය. ප්‍රතිඵල මෙසේ විය.


පීටර් කේනමන් කො.ප. - 45,296 (1)
සර් රසීක් ෆරිඞ් එජාප - 26,522 (2)
ඇම්. ඇස්. තේමිස් ම.එ.පෙ - 20,375 (3)


මැද කොළඹ ආසනය සඳහා මන්ත්‍රීන් 03 දෙනා එලෙස තේරී පත්වෙද්දී කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහට ලැබුණේ 06 වන තැනය.


1960 මාර්තු මැතිවරණයේදී පිළිවෙළින් දොස්තර එම්. සී. එම්. කලීල් පළමුවන තැනට ද පීටර් කෙනමන් දෙවන තැනට ද ආර්. ප්‍රේමදාස තුන්වෙනි තැනට ද පත්වූ අතර එම අවුරුද්දේම පැවැති ජුලි මැතිවරණයේදී පළමුවන තැන සර් රසීක් ෆරීඞ්, දෙවන තැන පීටර් කෙනමන්ටත් දොස්තර ඇම්. සී. එම්. කලීල් තෙවන තැනටත් පත්වූහ.

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර