රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරමින් මෙරට දුක් විඳින ගොවි කම්කරු ජනතාවගේ ජීවන ප්‍රශ්න, ගැටලු පිළිබඳව සමසමාජ පක්‍ෂයේ නියෝජිතයන් දෙදෙනා ගෙන ගිය දැවැන්ත ක්‍රියාදාමයෙන් මේ වන විට මුළුමහත් පොදු ජනතාවම අවදි වෙමින් සිටියහ. පිලිප්ගේ මෙන්ම ඇන්. ඇම්. ගේත් මෙකී ක්‍රියාවලිය අධිරාජ්‍ය ගැති පාලකයන්ට උසුලාගත නොහැකි තරමේ වේදනා ගෙන දෙන්නක් විය. සමසමාජ පක්‍ෂ ක්‍රියාදාමය වඩාත් වේගවත්ව ඉදිරියට ගෙන යෑමට පිලිප්ගේ සොයුරු රොබට් ගුණවර්ධනගෙන් ද ලැබුණේ අතිශය වූ සහයෝගිතාවකි. 


මේ අතරතුර අපූරු සිද්ධියක් ඇති විය. ඒ 1936 අවුරුද්දයි. මුළුමහත් දේශයේම ප්‍රධානතම අපනයන වෙළෙඳාමේ අරටුව වූ තේ වගාව මුළුමනින්ම වාගේ අත්පත් කරගෙන සිටියේ බි්‍රතාන්‍ය ජාතිකයන් හා ඔවුන්ට ගැතිකම් කළ ධනපති පන්තිය විසිනි. ඕස්ටේ්‍රලියානු ජාතික මාක් ඇන්ටනි බ්‍රෙස්ගර්ඞ්ල් මඩොල්කැලේ රොලුගස් වතු යායේ උප වතු පාලකයකු ලෙසින් කටයුතු කරන්නට පැමිණියේය. වතු කම්කරුවන් ගෙන යන අන්ත දුක්ඛිත ජීවන රටාව ඔහු හොඳින්ම දැන සිටියේය. එමෙන්ම වතු පාලකයන් විඳින අනන්ත සැප සම්පත් ද ඔහු ප්‍රායෝගිකව දැකගෙන තිබුණි. සමසමාජ පාක්‍ෂිකයන් ජනතාව හමුවේ කරන නිරන්තර උද්ඝෝෂණ සත්‍යය මත පිහිටා කරන ජන අරගලයක් ලෙස දුටු ඔහු ඔවුන් සමග එක්ව කම්කරු විමුක්තිය උදෙසා තම මෙහෙය ඉටු කරන අටියෙන් 1936 මාර්තු 8 වැනිදා සමසමාජ පක්‍ෂයට බැඳී එහි මධ්‍යම කාරක සභිකයෙකු ලෙස පත්විය. බුද්ධිමත් කම්කරුවන් කිහිප දෙනකු තෝරාගෙන ඉතා රහසිගතව සමසමාජයට එක්වූහ. කම්කරුවෝ ඔහුගේ අනුග්‍රහය ලැබ සංවිධානය වූහ. මහනුවර බදුල්ල අවට වතුකරයේ කම්කරු සටන් ඇවිල යන්නට පටන් ගති.


මුළු පෙරදිගම නිදහස උදෙසා අවදි වෙමින් තිබිණ. සමසමාජ පාක්‍ෂිකයන් ගෙන යන දැවැන්ත ජන අරගලය හෙවත් නිදහස උදෙසා ගෙන යන ක්‍රියාදාමයට සහයෝගය දක්වන්නට ඉන්දියානු ජාතික සටනේ මුල් පෙළෙහි සිටි කමලාදේවි චත්තෝපද්‍යාය මැතිනිය පිළිගැනීමට නාවලපිටියේ පැවති රැස්වීමක දී පළමුවරට මාක් ඇන්ටනි මහජනතාව ඇමතූයේ මුළුමහත් ජන කන්දරාවගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.


“සහෝදරවරුනි, අර සුදු කඳු ගැට නුඹලාට පෙනෙන්නේද? අර සුදු බංගලා නුඹලාට පෙනෙන්නේද? එහි සුද්දෝ සුඛෝපභෝගීව ජීවත් වෙනවා. ඒ තමයි ලේ උරා බොන පරපුට්ටෝ. මාත් වැවිලිකරුවෙක් හින්දා ඒ අයගේ රහස් දන්නවා. මම මේ රටට ආවේ පොහොසත් රටක්ය කියල දැනගෙනයි. ඇත්තටම මේ රට බොහොම පොහොසත් රටක්. ඒත් මේ රටේ ඉපදෙන ධන සම්භාරය වැටෙන්නේ මගේ රටේ රටවැසියන්ගේ ඒ කියන්නේ සුද්දන්ගේ සාක්කුවලට. සුද්දෝ ඇවිත් තියෙන්නේ මේ රටේ දුප්පත් කම්කරුවන්ගේ ජීව රුධිරය මිරිකගන්නයි. වතු අයිති කාරයන්ට බය වෙන්න එපා. අපි එක්ක එකතු වෙන්න. අපි එක්ක මන්ත්‍රණ සභාවේ ඇන්. ඇම්. - පිලිප් සහෝදරවරුන් දෙන්න ඉන්නවා. මේ වෙනකොටත් වතුකාරයන් ගෙන යන අධම වැඩකටයුතු ඒ දෙන්නා කියල දීලයි තියෙන්නේ.”


කම්කරු ජවය පණ ඉපැද්දිණි.


වතු හිමියෝ එකතු වූහ. තමන්ට සිදුවීමට යන අභාග්‍යවත් අනාගතයේ මූලිකයා බ්‍රෙස්ගර්ඞ්ල් ගැන ඔවුන්ගේ දැඩි අවධානය යොමු විය. කිහිප වතාවක් කළ අවවාද නොපිළිගනු ලැබූයෙන් ඔහුගේ රැකියාව ද නැතිව ගියේය. ඒ කාලයේ මෙරට ආණ්ඩුකාරයා වූ ස්ටබ්ස්ට කළ පැමිණිල්ලක් අනුව 1937 අප්‍රේල් 24 වැනිදා සවස හයට පෙර ඔහු ලංකාවෙන් පිටමං කිරීමට නියෝග නිකුත් විය. එම නියෝගය මෙසේය. 


“අපවත් වූ වික්ටෝරියා මහ රාජිණිය විසින් 1896 ඔක්තෝබර් 26 වැනිදා කරනු ලැබුවා වූ නියෝගයෙහි 3 වැනි කොටසෙහි 3 වගන්තිය පරිදි මා හට ලැබී ඇති බලය අනුව ලංකාණ්ඩුකාර මා විසින් මාක් ඇන්ටනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් වන නුඹට 1937 අප්‍රේල් මස 24 වැනිදා සවස හයට ප්‍රථම ලංකාද්වීපයෙන් පිටත් වීමට අණ කරන බව දන්වමි.”


පිටුවහල් කිරීමේ නියෝගය අතට පත් වූ බ්‍රෙස්ගර්ඞ්ල් කෙළින්ම ගියේ ඇන්.ඇම්. හමුවීමටය. දෙදෙනා අතර දිගු කතාබහක් ඇති විය. සමසමාජ පක්‍ෂයේ නායකයන් මූලිකයන් රහසිගත කතාබහක යෙදුණි. “ඕන දේකට මම ලෑස්තියි”


ඔහු. පොලිස් මූලස්ථානයට ගමන් ගති. එහි ප්‍රධානියා හමු විය. “මම අපේ රටට යන්න ලෑස්තියි.” වට කරගෙන සිටි පොලිස් ලොක්කෝ සැනසුම් සුසුම් පිට කළහ.


“මට එකක් අහන්න තියෙනවා. මේ නියෝගයට විරුද්ධව කරන්න පුළුවන් දෙයක් එහෙම තියෙනවාද?”


“මේක ආණ්ඩුකාරවරයාගේ නියෝගයක්. කාටවත් එයිට ඉහළින් යන්න බැහැ.”


“හොඳයි ආවේ නැත්නම්?”


“එහෙම වුණොත් හිරබාරෙට අරගෙන පිටුවහල් කරනවා.”


“හරි මම වේලාවට එන්නම්”


ඔහු කෙළින්ම ගියේ පිටකොටුවේ සාප්පුවකටය. ලොකු ඇඳුම් බෑගයක් මිලදී ගත්තේය. කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණු මුල්ට්‍රාල් යාත්‍රාවට ඔස්ටේ්‍රලියාව බලා යන්නට තවත් පැය 48ක කාලයක් ඉතිරිව තිබිණ.
අප්‍රේල් 24 වැනිදා කොළඹ වරාය අසල අතිමහත් මහජන සන්නිපාතයකි. ඔවුන් පිටමං කිරීමට පොලිසිය උත්සාහ ගෙන නොතිබුණි. ඇන්. ඇම්. ලෙස්ලි ගුණවර්ධනත් සමඟ එතැනට පැමිණියේය.


නිසැකවම තවත් සුළු මොහොතකින් බ්‍රෙස්ගර්ඞ්ල් පැමිණෙනු ඇතැයි සියල්ලෝම සිතූහ. මුල්ට්‍රාල් නෞකාව නැංගුරම් මුදාහරිමින් ගමනට සැරසුණි. අවසන් තත්පරයත් ගෙවී ගියේය. එහෙත් ඔහු පැමිණියේ නැත.


“ආණ්ඩුකාරයාගේ රෙගුලාසි කඩකරපු බ්‍රෙස්ට්ගර්ඞ්ල්ට ජය වේවා! ඇන්. ඇම්. හඬ නැගීය. මහජනතාව අවදි වූහ.


“ජය වේවා!! ජය වේවා!!


එය එකම හඬක මහා දෝංකාරයකි.


කම්කරුවෝ වීදි බසිමින් කොළොම්පුරය දෙවනත් කරන්නට පටන් ගත්හ. පොලිස් ලොක්කන්, රහස් පොලිසිය පිස්සු බල්ලන් මෙන් ඒ මේ අත දිවූහ.


ආපසු සිය රටට කැඳවාගෙන යෑමට නොහැකි වූ මුල්ට්‍රාර් නෞකාව කොළඹ වරායෙන් පිටමං විය.


1937 අප්‍රේල් මස 30 වැනිදා නිකුත් වූ සමසමාජ පත්‍රයේ විශේෂ කලාපයේ සිරස්තලය වූයේ “ආණ්ඩුකාරයට අබ බ්‍රෙස්ගර්ඞ්ල් කෝ” යන්නය.