සිය නිවස සොරුන් බිඳ දේපොළ පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගිය පුද්ගලයකුගේ කුඩය පොලීසිය ළඟදී සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා විය.


වාර්තාවූ අන්දමට සිද්ධිය මෙසේය.

නිවසේ කිසිවකුත් නොසිටි ගිලන් රථ රියැදුරකුගේ නිවෙසට ඇතුළු වී ඇති සොරුන් නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇත.
එය දැනගත් නිවෙස් හිමියා මේ බැව් පැමිණිලි කිරීමට බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ නගරයක පිහිටි පොලිස් ස්ථානයක් වෙත ගොස් ඇත.
එදින උදෑසන සිට ඇදහැළුණු වර්ෂාව නිසා කුඩයක් ද ඉහළාගෙන ගොස් ඇති මොහු කුඩය පැත්තකින් තබා සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එය අදාළ පොලිස් නිලධාරීන් සටහන් කර ගැනීමෙන් පසු ආපසු යෑමට කුඩය තැබූ තැනට ගොස් බලන විට ඔහුට තරු පෙනුනේ කුඩය ද තැබූ තැනින් අතුරුදන් වී තිබූ නිසාය.

සෑම තැනම බැලූවත් කුඩය නැත. බැරිම තැන පොලිස් නිලධාරීන්ට මේ බව දැන්වූ විට එක පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ ඔහොම තමයි  ඕයි, දැං නගරයේ, ගමේ විතරක් නෙවෙයි පොලීසිය ඇතුළෙත් හොරු ඉන්නවා කියායි.

ඒ කියමනින් තවත් කුඩය හොයන එක බොරු වැඩක් බව තේරුම්ගත් ඔහු වැස්සේ තෙමීගෙන පොලීසියේ සිට යන විට මගදී හමුවී ඇති මිතුරු පොලිස් නිලධාරියකු මොකද වැස්සේ තෙමීගෙන යැයි විමසා ඇත.

අනේ සර්, ගේ හොරු බිඳලා. ඒක පැමිණිලි කරන්න කුඩයකුත් ඉල්ලාගෙන පොලීසියට ආවේ. කුඬේ පොලීසිය ඇතුළෙදී හොරු අරගෙන. මට සිද්ධ වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් යැයි කියමින් වැස්සෙ තෙමි තෙමී ඔහු ආපසු ගොස් ඇත.