(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)
ඕනෑම තකතීරු වැඩක් කර තැනට සුදුසු නුවණ පාවිච්චි කර ඉන් බේරි පලායන සටකපටි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් සෑම ගමක ම වාගේ සිටිති. පස්දුන් කොරළයේ පිටිසර ගමක ජීවත්වූ සිල්වා ද එවැනි අපූර්ව කපටි පුද්ගලයෙකි. ත්‍රිරෝද රථවලට ‘පුංචි දඟකාරි’, ‘මෙම රථයට යහපතක්ම වේවා’ වැනි වැකි ඇතුලත් ස්ටිකර් අලෙවි කිරීම රැකියාව කරගත් නිසා ඔහු ස්ටිකර් සිල්වා නම් විය.


දිනක් සිල්වා ත්‍රිරෝද රථ ලස්සන කිරීමට අවශ්‍ය උපකරණ සහිතව තොරොම්බල් කරත්තයක් මෙන් සැරසී නගරය පුරාම ඇවිද ගියත් වැඩක්  නොවුණ නිසා අසල ඇති හෝටලයට ගොඩවුණේ දැණුනු බඩගින්න වැඩිකම නිසා බනිස් ගෙඩියක් කා තේ කෝප්පයක් බීමටය.


ඇණවුම් කළ සැනින් බනිස් අඩංගු තැටියක් වේටර්වරයා, සිල්වා අසල තැබුවේය. එක බනිස් ගෙඩියක් කා අහවර වුවත් තවත් බනිසක්, දෙකක් කෑමේ ආසාව ඇතිවූ මුත් එතරම් මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට ලෝබකමක් ඇතිවූ සිල්වා වට පිට බැලුවේ වේටර්වරයා අසලක ඇතිදැයි සිතමිනි.


ඔහු පිළිබඳව එතරම් උනන්දුවක් දක්වනනෙකු හෝටලයේ නැතිබව වටහා ගත් සිල්වා තවත් බනිස් ගෙඩි දෙක තුනකම යට පැත්තෙන් කවුළුවක් හාරා ඇතුළත ගලවාගෙන කෑමට ගත් අතර ඒ සියල්ලම කවුළුව පැත්ත යටට සිටින සේ තැටියේ තබා තේ එකක්ද ගෙන්වා බීවේය. වේටර්වරයා පැමිණ බනිස් එකයි ප්ලෙන්ටියයි නේද මහත්තයා යනුවෙන් පවසා අදාළ මුදල හඬ නගා කීය.
සිල්වා මුදල ගෙවීමට කවුන්ටරයේ සිටි හෝටලයේ අයිතිකරු වෙත ගිය අතර වේටර් බනිස් තැටියද රැගෙන ඉදිරියට යන විට කලබලයෙන් තේ බීමට පැමිණි අයෙකුගේ ඇගේ හැපී බනිස් තැටිය බිමට වැටිණි. පොත්ත පමණක් ඉතිරිවූ බනිස් කීපය දුටු වේටර්වරයා එය අහුලාගෙන හෝටලයේ අයිතිකරුවෙත ගියේ බලන්න මහත්තයා මේ මිනිහා මහා කපටියෙක්, බනිස් තුනක් යටින් හිල්කරල කාලා. දැන් එක බනිස් ගෙඩියකට බිල ගෙවන්නයි යනවා කියා මහා හයියෙන් කෑ ගැසීය.


හෝටලයේ අයිතිකරුද සිල්වා දෙස උකුසු බැල්මක් හෙලුවත් සිල්වා එය ගනණකට නොගෙන මෙසේ කීය.


“මේ වේටර් උන්නැහැ. තමුසෙට වැඩක් නැහැ, මම බනිස් කාපු ක්‍රමය මොකක්ද කියන්න. ඒ තමයි මගේ බනිස් කන ක්‍රමය තමුසෙට තියෙන්නෙ හිල් හොයන්න නොවේ බනිස් කීයක් කාලද කියල බලල ඒකට බිල කීයද කියල කියන එක විතරයි. “වේටර්වරයාගේ කට වැසිණි” බනිස් හතරයි ප්ලේන්ටියයි උස් හඬින් නැවත ඇසිණි. සිල්වා බිල ගෙවා ඇසක් පුංචි කර වේටර් දෙස බලා කට කොනකින් සිනාසී එළියට බැස්සේය.