(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සියනෑවේ යුවළකි. කුඩා දියණිය සමග වෙන්නප්පුව ප‍්‍රදේශයේ මිතුරකුගේ නිවසේ සාදයකට ගියේ මිතුරාගේ බලවත් ආරාධනය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි වූ නිසාවෙනි. සැමියා වෑන් රිය පදවා ගෙන ගියත් සාදය අවසන් වනවිට ඔහුට රිය පැදවීමට අපහසු විය. සිරිත් පරිද මෙවන් අවස්ථාවලදී බිරිය සුක්කානම අතට ගැනීම පුරුද්දකි. ඒ අනුව අලූයම දෙකට පමණ ඇය ක‍්‍රියාත්මක වූවාය.


මග තොට හරියට නොදත් ඇය මිතුරාගේ නිවසේ සිට ප‍්‍රධාන පාරට පැමිණ හරවන්නේ වමටද දකුණටදැයි සැමියාගෙන් විමසුවේ වැඩි හොඳටය. වමට හරවන්න, වමට හරවන්න සැමියා බිරියට උපදෙස් දුන්නේය. බමන මතින් පසුවෙන සැමියා ඉදිරි අසුනේ තද නින්දේය.


දියණිය පසුපස අසුනේ නිදි දෙව් දුව වැළඳගෙනය. බිරිය සැමියාගේ උපදෙස් පරිදි වමට හැරවූ රිය ඉදිරියට ධාවනය කරන්නට වූවාය. පැයක් හමාරක් ගතවිය. අඳුරේ වුවත් පාර දෙපස ඇයට වෙනසක් දැනිණි. සැමියා කී මග නිවැරදි විය යුතු නිසා ඇය ඒ ගැන නොවිමසාම ගමන් කළාය.
ඇය කලබලවූයේ තමන් පුත්තලම නගරය සමීපයට පැමිණ ඇති බව දැන්වීම් පුවරුවක් මගින් දැකීමෙනි. ඒවනවිට පාන්දර පහත් පසුවී තිබිණි. ඇය සැමියා අවදි කර මේ ගැන කීවාය.


බිරියගේ වදන් සමග ඔහුගේ මත දුරුවිය. දෑස් පිසදා බලද්දී ඇය නිවැරදි බව තේරුම් ගියේය. වරද සිදුවී හමාරය. කළ හැකි දෙයක් නැත. රිය ආපසු හරවන්නට සැමියා බිරියට උපදෙස් දුන්නේය.


ළඟම තිබූ ඉන්ධන හලකින් ඉන්ධන පුරවාගත් සැමියා රිය අතට ගත්තේ තමන්ගේ බීමත්කම නිසා සිදුවූ වරද හරිගස්සන්නටය. නිවෙස බලා එනතුරුම බිරියගේ දෙස් දෙවොල් අසමින් සැමියා රිය පැදවූයේ වදනක්වත් නොදොඩාය.