(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
තමා සේවය කළ බස් රථයටම යටවී පාදය කැඞීගිය බව කියන කොන්දොස්තරවරයකු (5) කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මොරටුව පොලිස් රථවාහන අංශය කියයි.


මෙසේ තුවාල ලබා ඇත්තේ මොරටුව කොළඹ මාර්ගයේ ධාවනය කළ බස්රථ කොන්දොස්තරවරයෙකි. අදාළ බස් රථය පැදවූ සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.


මොරටුව දුම්රියපොළ ඉදිරිපිට බුදු මැදුර වටකොට ඇති වැට අසල රැඳීසිටිමින් රියැදුරන් සහ යහලූවන් සමග විහිලූ තහලූ කරමින් බුදු මැදුරේ වැටේ එල්ලී සිටි බව කියන තුවාලකරු තමා සේවය කරන බස්රථය තමා අසළින් ධාවනය වෙනු දැක නොමැති බව කියන පොලිසිය එම අවස්ථාවේ තුවාලකරුගේ පාදය බස් රථයට යටවී ඇති බව පවසයි.


ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස රථවාහන අංශ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක වයි.කේ. රංජිත් ජයන්ත මහතා සහ නිලධාරීහු  පරීක්‍ෂණ පවත්වති.