රත්නපුර ඇලපාත මාර්ගය කොත්තබැවිල තෙක් දිවෙන පෞද්ගලික  බස්රථයක කොන්දොස්තර සිය නිවෙසේදී තම සනිපාරක්‍ෂක කටයුතු ඉටුකරගැනීමට කාල වේලාවක් නොමැතිවීමෙන් එය දරාගෙනම සුපුරුදු රැකියාවට පිටත්ව ගොස් ඇත. පාසල් දිනක් වූ එදින උදෑසන සිටම තමා රාජකාරි කළ බස්රථයට මගීන් ගෙන් අඩුවක් නොවීය. අවශ්‍යතාව තිබුණද සනීපාරක්‍ෂක කටයුතු පමා කර සිය කාර්යයේ සියැලූනි. මේ කොන්දොස්තරවරයා බස් රථය ගමනාන්තයට පැමිණි පසුව මද විරාමයේදී ශාරීරකෘත්‍ය සඳහා බස් නැවතුම්පල පිහිටි වැසිකිලියට ඇතුලූ වූයේය. අනතුරුව ශාරීරකෘත්‍ය නිමාකර ඔහු හැඳ සිටි දිගු කලිසම රැඳවූ ස්ථානයෙන් යළි ඇඟලාගන්නට සූදානම් වූවත් එය රැඳවූ ස්ථානයේ නොතිබුණි. එයින් ඔහු අන්දමන්ද විය. අවසානයේ කොන්දොස්තර හිතට ධෛර්ය උපදවා කෑගසා තමාට සිදූවූ විපත කියා ඇත. අසා සිටි අයකු කලිසමක් රැගෙන දොර අසලට ගමන් කර ඇත. පිටතට පැමිණි කොන්දොස්තරවරයා කියා සිටියේ තම කලිසම රැගෙන ගිය අයකු මුදල් හා ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇති බවයි.