පෝද්දල සරත් ආනන්ද ගමගේ 



අසල්වැසි නිවසක පැවැත්වෙන මංගල උත්සවයකට අකුල් හෙළීමට ගිය පුද්ගලයකු අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇතැයි කියන පුවතක් ගැන ගාලු‍ පුරයේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
හේ ගමේ කැපීපෙනෙන පුද්ගලයෙකි. මිල මුදල් යාන වාහන මෙන්ම තනතුරු තානාන්තර වලින්ද පොහොසත් අයෙකි. නිතර සමාජ ක්‍රියාකාරී වැඩවල යෙදෙන මොහු සමිති සමාගම් කිහිපයකම තනතුරුද හොබවන්නේය. තමා පමණක් කැපී පෙනෙන්නට නිරන්තරයෙන්ම උත්සුක වන මොහු අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්නකුයැයි කියා මතයක්ද සමාජයේ ගොඩනැගී ඇත.
මේ අතර පසුගිය දිනෙක මොහු පදිංචි නිවස ආසන්නයේ නිවසක මංගල උත්සවයක් සංවිධානය කෙරෙමින් තිබුණේය. එහි මංගල උත්සවය නගරයේ ප්‍රසිද්ධ හෝටලයක පැවැත්වීමටත් මනාලිය නිවසට කැන්දාගෙන පැමිණීම නිමිත්තෙන් නිවසේද උත්සවයක් සංවිධානය කෙරුණි.
මංගල උත්සවය පැවැත්වෙන දිනට දින දෙකකට පෙර අර සමාජක්‍රියාකාරිකයා ඔහුගේ නිවස ඉදිරිපිට මාර්ගයට ගෙවත්තේ සිට පස් තොගයක් ගෙනවිත් දමන්නට පටන් ගත්තේය. එම මාර්ගය ගුරු පාරක් වූ බැවින් මාර්ගයට පස් දැමීම ගැටලු‍වක් නොවීය. ඔහු අසල්වාසීන්ට පවසා ඇත්තේ මාර්ගය සේදී ගොස් ඇතිනිසා තමා පස්දමා පිළිසකර කරනවා කියාය. මේ පස් දැමීම නිසා මේ දිනවල පවතින වැස්සත් එක්ක මාර්ගය මඩවී අපිරිසිදු වීමට නියමිත බැවින් මංගල සාදය පැවැති නිවසේ ඇත්තෝ කලබලයට පත්වූහ. ඔවුන් විසින් යම් පුද්ගලයකු අනවසරයෙන් මාර්ගයට පස්දමනවා යැයි ප්‍රාදේශීය සභාවට හා පොලීසියට පැමිණිලි කළේය. 


පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරියෙක් සහ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙක් අදාළ ස්ථානයට පැමිණියහ. ඒහිදී ප්‍රාදේශීය සභා තාක්ෂණ නිලධාරියා පැවසුවේ සභාව සතු මාර්ගයට නීත්‍යනුකූල අවසරයකින් තොරව පස් දැමීම නීතිවිරෝධී කටයුත්තක් බවයි. පොලිස් නිලධාරියා කියා සිටියේ අසල්වැසි නිවසක මංගල උත්සවයක් පැවැත්වෙන අවස්ථාවේ මෙසේ පස් දැමීම ඔවුන්ට කරනු ලබන අරියාදුවක් බවයි. එබැවින් වහාම මාර්ගයට දැමූ පස් තොගය නැවත ගෙවත්තට ඇද ගන්නා ලෙස නියෝග කළේය. එසේ නොකරන්නේ නම් නීතියෙන් කටයුතු කිරීමට සිදුවෙන බවත් ඔවුහු දැනුම් දුන්හ.
වෙනත් කළ හැක්කක් නොවූ බැවින් ඉන්පසු මෙම පුද්ගලයා මාර්ගයට දමා තිබූ පස් තොගය නැවතත් තම ගෙවත්තට ගෙනැවිත් දමන්නට පටන් ගත්තේය. ඒ කටයුත්ත ආරම්භ කර සුළු මොහොතකින් ධාරානිපාත වැස්සක් ඇද හැලු‍නේය. පස් මතට ජලය එක්වීමෙන් අනතුරුව පස්ගොඩ මඩ ගොඩක් බවට පත්වීම නිසා එතැන් සිට ඔහුට මඩ ඇදීමට සිදුවිය.
 අන් සතුටට බාධා කිරීමට ගොස් මඩක් අනාගෙන නෑ මේ පුද්ගලයාගේ සැබෑ මුහුණ මේ සිද්ධියත් සමග හෙළිදරව්වීම නිසා ඔහුට වෙනදා තිබුණු සමාජ ගෞරවයද හේදී ගොස් ඇතැයි කියනු ලැබේ.