පෝද්දල සරත් ආනන්ද ගමගේ
කලාවෙන් සාහිත්‍යයෙන් මහා මෙහෙවරක් කරන්නෙකැයි කියමින් ‘‘මං පොර” වී සිටින පුද්ගලයකුගේ සීතාම්බර සළු ඔහුගේ බිරිය හා දරුවන් විසින්ම ගලවා දැමූ පුවතක් ගැන ගාලු පුරවරයේ පොලිසියකින් පසුගියදා වාර්තා විය.
මෙම පුද්ගලයා විවාහක දරුවන්ද සිටින වියපත් තැනැත්තෙකි. පිය පරම්පරාව ගැන පම්පෝරි ගසන්නෙකි. හෙතෙම දේශපාලනය, ඉතිහාසය, සාහිත්‍යය, රඟපෑම, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය යන සියලු විෂයයන් ප්‍රගුණ කළ බවද කියන්නෙකි.
කෙටියෙන් කියතොත් ඔහු සකළකලා වල්ලභයෙකි. තමා ගැන නිතරම පාරම්බාන මේ තැනැත්තා මුහුණු පොතේ ඔහු නමින් ‘‘පේජ්” එකක්ද නිර්මාණය කරගෙන ඇත. මේවායේ පළකරන ඇතැම් පුවත් සාවද්‍ය බව හෙළිකරන පුද්ගලයන්ට මඩ අවලාද නගමින් ඔවුන්ගේ චරිත ඝාතනය කරන්නෙකැයි කියාද මොහු ප්‍රසිද්ධය.
ළඟදී දිනක මේ පේජ් එකේ පළකෙරුණු සාවද්‍ය පුවතකට උරණවූ ඔහුගේ පුත්‍රයකු හෙතෙම පාවිච්චි කළ ජංගම දුරකථනය උදුරාගෙන ඇත. එය ඔහුට ලබාදී ඇත්තේද එම පුත්‍රයා විසිනි. මින් උරණ වූ මෙම පුද්ගලයා පුතා විසින් තමාගේ ජංගම දුරකථනය පැහැර ගත්තා යැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පැමිණිල්ල විභාග කිරීම සඳහා දෙපාර්ශ්වයම පොලිසියට කැඳවීය. මෙහිදී චෝදනාවට ලක්වූ පුත්‍රයා පැමිණිලිකරුගේ බිරිය වන ඔහුගේ අම්මාත් පවුලේ අනෙක් සහෝදරයන්ද කැටුව පොලිසියට පැමිණියහ. දරුවන් තමන්ට සලකන්නේ නැතිබව හැඟවීමේ චේතනාවෙන් පැමිණිලිකරු පැමිණ සිටියේ පරණ හම්පඩ ගැසුණු ඇඳුමකින් සැරසීය.
පැමිණිල්ල විභාග කළ නිලධාරියා මුලින්ම විමසා ඇත්තේ ඔහුගේ ඇඳුම පිළිබඳවය. එහිදී ඔහු කියා සිටියේ තමා ඇඳුම් පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවය. ඔහු වටිනා ඇඳුමින් සැරසී මුහුණු පොතට එකතු කර ඇති ඡායාරූප නිලධාරියාට පෙන්වමින් ඔහු කියන්නේ බොරු යැයි දරුවෝ පෙන්වා දී ඇත.
එහිදී ජංගම දුරකථනය පැහැර ගත්තා යැයි චෝදනාවට ලක්වූ පුත්‍රයා පවසා සිටියේ එය තමා විසින් මිලටගෙන ඔහුට පරිත්‍යාග කළ එකක් බවත්, එමගින් පුද්ගලයන්ට අපහාස කරමින් මුහුණු පොතේ පුවත් පළකරන නිසා එය නැවත ලබාගත් බවය.
ඔහු සමාජයට බොරු මුහුණක් පෙන්වමින් සාන්තුවරයකු ලෙස හැසිරුණද, නිවෙසේදී හැසිරෙන්නේ යක්ෂ වෙස්ගෙන යැයි බිරිය හා දරුවෝ නිලධාරියාට පෙන්වා දුන්හ. පැරණි සිදුවීම් මතක් කරමින් බිරිය හා දරුවන් ඔවුන්ට පහරදී ඇති අවස්ථාද එහිදී මතක් කර ඇත. බිරියට බෝතලයකින් පහර දී තුවාල පවා සිදුකර ඇති බවද එහිදී හෙහෙළිදරව් වී තිබේ. ඔහු ගොණුකර ඇති ජංගම දුරකථනය පැහැර ගැනීමේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති විමර්ශන නිලධාරියා, මෙතන හෙළිවූ කරුණු අනුව ඔහුට විරුද්ධව කාන්තා හිංසනය පිළිබඳව නඩුවක් පැවරිය හැකි බවද පෙන්වා දී ඇත.
පුතාට චෝදනා නගමින් සිංහයකු ලෙස පැමිණි තාත්තා අන්තිමට චූදිතයෙකු ලෙස චෝදනාවට ලක්වී සුනඛ සෙයියාවෙන් පොලිසියෙන් පිටව ගිය බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd