අතුරුගිරිය එස්. වික්‍රමආරච්චි 



පුවත්පතක පළකරන ලද මංගල යෝජනාවකට අනුව දැනහඳුනාගත් බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ පවුල් දෙකක් සිය ප්‍රථම හමුවීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය තෝරා ගැනීම නිසා සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව පසුගිය දිනෙක අසන්නට ලැබිණ.
අගනුවරට ආසන්න ප්‍රදේශයක පදිංචි මාපිය යුවළක් සිය පුත්‍රයා සඳහා මනාලියක් සොයා ගැනීමට පුවත්පතක මංගල යෝජනාවක් පළකර ඇත.
ඒ සඳහා ලැබුණු පිළිතුරු රාශියක් අතුරෙන් දකුණු ලකේ අගනුවරාසන්න ප්‍රදේශයක පදිංචි පවුලක තරුණියක සම්බන්ධව ලැබුණු යෝජනාවක් තරුණයාගේ සහ පවුලේ සැමගේ කැමැත්ත මත තෝරා ගත්තේය.


දෙපාර්ශවයම දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව මුහුණට මුහුණ හමුවී කතාබහ කිරීමට දෙපිරිස කතිකාකර ගත්හ.
 පවතින අධික ඉන්ධන මිල සහ අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් ආදියෙහි පිරිවැය සලකා බැලූ මනාලයාගේ පියා, කිලෝ මීටර එකසිය ගාණක් දුර නොගොස් ඉන් අඩක ප්‍රමාණයක් ගොස් දෙපිරිසටම සමාන දුරකින් තිබෙන අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදී දෙපාර්ශවය හමුවෙමු යැයි මනාලියගේ පාර්ශවය⁣ට යෝජනා කර ඇත.
එම යෝජනාව හිස් මුදුනෙන් පිළිගත් මනාලියගේ පියාද එම යෝජනාවට එක පයින් කැමතිවී තිබේ.
 ඒ අනුව දෙපිරිසගේ එකඟත්වය මත ඉකුත් නිවාඩු දිනයක සවස් කාලයක් ඒ සඳහා යොදාගෙන ඇත.
යොදාගත් පරිදි මනාලයාගේ පාර්ශවයේ පිරිස කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිස ටික දුරක් ගමන් කරනවිට තරුණියගේ පාර්ශවයෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත.
එයින් කියැවී ඇත්තේ එසේ දෙපැත්තෙන් පැමිණෙන දෙපිරිසට බැසීමට සිදුවන්නේ දෙපැත්තේ තිබෙන සේවා ප්‍රදේශ දෙකට බැවින් දෙපිරිසට එහිදී හමුවිය නොහැකි බවත්, තමන් තවමත් මගට නොබැස්ස බවත්, ඒ නිසා දැන් ඔහොම දිගටම පැමිණ පින්නදූව හුවමාරුවෙන් පිටවී තම නිවෙසටම පැමිණෙන ලෙසත් රෑබෝවන නිසා තමන් රාත්‍රී භෝජනය ද සූදානම් කරන බවත්ය.
 මනාලයාගේ පාර්ශවයේ පිරිසටද කාරණය සිහිපත්වී ඇත්තේ එවිටය.
අතරමගදී තේ එකක් පමණක් බී අඩු වියදමෙන් වැඩේ කරගන්න හිතාගෙන පාරට බැස්සද, දැන් තවත් කිලෝ මීටර පනහක් හැටක් පැට්‍රෝල් පුච්චගෙන යාමටත්, රාත්‍රී කෑමට ආරාධනා ලැබීම නිසා ඊට සරිලන පැහැදුම් මල්ලක් ගෙන යාමට තවත් රුපියල් හාරපන්දාහක් වියදම් කරන්නටත් සිදුවීමෙන් මනාලයාගේ පියා ට හීන් දාඩියත් දැම්මාලු‍.