උදේ පාන්දර කොළඹ බලායන රුහුණු කුමාරි දුම්රියට පාසල් යන වයසේ තරුණයෝ තිදෙනෙක් ගොඩවූහ. ඔවුන් ඇඳ සිටියේ පාසල් නිල ඇඳුම් නොව විලාසිතාවට බර ඇඳුම්ය.
එක් කාන්තා මැදිරියක මැදිවියේ කාන්තාවක සමඟ වාඩි වී සිටි පියකරු පෙනුමෙන් යුත් දැරියක දුටු එක් තරුණයකු ඇය හා සිනාසුණාය. ඇයද සිනාසී අසල වූ කාන්තාව දෙසද බැලූවාය.
මොහොතකට පසු තරුණයා තම අතෙහි තිබූ ඉංග‍්‍රීසි පුවත්පතෙහි වූ ඡායාරූපයක් ඇයට පෙන්වා ඉඟි මැරීය. එහි වූයේ වැලන්ටයින් දිනය සංකේතවත් කරන යොවුන් තරුණයකු හා තරුණියකගේ සිප වැළඳ ගැනීමකි.
මොහොතකින් දැරිය අසල සිටි කාන්තාව තම අත වූ කුඩයෙන් තරුණයාට පහරක් එල්ල කළත් එය වැදුණේ පත්තර පිටුවටය.
මේ ඇයගේ මව බව සිතූ තරුණයා සිය යහළුවන්ද සමග දුම්රිය මැදිරි පසුකරගෙන දිවීම අපූරු දැක්මක් විය.