ඔහු අනුරාධපුර නගරයේ පදිංචි මැදිවියේ  අයෙකි. රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට  රෝහල් ගතවීමට සිදුවිය. ආවතේව කිරීමට පවුලේ කිසිවකු නොවූ හෙයින් ඥාතීන් විසින්  පෞද්ගලික උපස්ථායක සේවාවක නියුතු සාත්තු සේවකයෙක් ඊට යොදවනු ලැබීය. මේ සඳහා දින පහක කාල සීමාවට ඔහුට පවුලේ ඥාතීන් විසින් රුපියල් හයදහසක් ද ගෙවා දමනු ලැබීය. සාත්තු සේවකයා රෝගියාට ඉතා ලෙන්ගතුකමින් යුතුව සැළකුවේය. ආහාර පානද වෙනත් අවශ්‍යතාද ලබාදී යුතුකම් ඉට කළේය. ඔහු ගැන රෝගියාට විශ්වාසයක් ගොඩනැඟිණි. දිනයක් ගතවනවිට  රෝගියා දෙස  ඉතා විමසිල්ලෙන් සිටි සේවකයා ඔහු ඇමතුවේය. ලොකුමහත්තයා, ඔය අතේ තියෙන රන් මුද්ද ළඟ තියාගන්න එපා. නින්ද ගිය වෙලාවක කවුරු හරි ගනීවි.  ඕක වටිනා එකක් නේ?. ඒක නම් ඇත්ත. ඒත් මේක ගලවලා කොහේ තියන්නද?”රෝගියා සාත්තු සේවකයා ගෙන් විමසුවේය. කොහේවත් තියන්න එපා.  ඕක ගලවලා මට දෙන්න. මං පරෙස්සම් කර දෙන්නම්” යැයි සාත්තු සේවකයා කීය. රෝගියා ඔහුගේ වචනය පිළිගත්තේය. කිසිදු සැකයකින් තොරව  මුද්ද ගලවා සාත්තු සේවකයාට දුන්නේය. තුන්වැනි දිනය අවසානයේ ඔහු රෝගියා අමතා කීවේ  තන්තිරිමලේ පදිංචි තමාට  හදිසි අවශ්‍යතාවක් යෙදී ඇති නිසා ගෙදර යාමට සිදුව ඇති බවයි. තමන් වෙනුවට වෙනත් අයකුව නවතා ගොස් පසුදින පැමිණෙන  බව කී මේ සාත්තු සේවකයා රෝහලෙන් නික්ම ගියේය. එහෙත් ඔහු ආපසු ආවේ නැත. රුපියල් 75,000ක් වටිනා රත්රන් මුදුව කෛරාටික ලෙස මේ උපස්ථායකයා රැගෙන ගොස් ඇතැයි රෝගියාට වැටහිණ. ඔහු පොලිසියට මේ ගැන පැමිණිලි කළේය.පොලීසිය පරීක්‍ෂණ පවත්වා සැකකරු (14) අත්අඩංගුවට ගත්තේය. රත්රන් මුද්ද ගැන සෙවීමට අනුරාධපුර පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.